2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

මොකක්ද මේ NVQ?

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 557

වෘත්තිය අධ්‍යාපනය ලබාගැනීමේදී NVQ  ගැන නිතර කියවෙනවා. මේ ඉංග්‍රිසි අකුරු තුනෙන් කියවෙන්නේ ජාතික වෘත්තිය සුදුසුකම් යන්නයි. තාක්ෂණික හෝ කාර්මික ක්ෂේත්‍රයේ රුකියාවක් ලබා ගැනීමේදී  හිමිකරගෙන ඇති NVQ සහතිකයට ලැබෙන්නේ ලොකු අගයක්. අපි කොහොමද මේ ජාතික වෘත්තිය සුදුසුකම් ලබාගන්නෙ. ලබාගන්න පුළුවන් වන්නේ කුමන NVQ මට්ටමද?  ඒ ආකාරයට NVQ මට්ටම ලබාගන්න හදාරන්න ඕන මොන පාඨමාලාද? 

කිසියම් අපේක්ෂකයෙකුට තමන්ගේ නිපුණතා ප්‍රමිතීන්වල සුදුසුකම් පිළිබඳව සාක්ෂි සහිතව ඔප්පු කරන්න හැකියාවක් තිබේ නම් එවිට එම අපේක්ෂකයා (පූර්ව ඉගෙනීම හඳුනා ගැනීම - RPL) තුළින් ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ) සහතිකය ලබාගැනීමට සුදුසුකම් ලබනවා.

NVQ සහතිකය ලබාගැනීමේ අනිත් ක්‍රමය වන්නේ සුදුසුකම්වලට අදාළ හැකියාව පදනම් කරගත් වෘත්තිය පුහුණු පාඨමාලාවක් ඉගෙන ගැනීම ඇරඹීමයි. රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල ක්‍රියාත්මක වෘත්තීය පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වීමෙන් මෙම සුදුසුකම ලබාගැනීමට පුළුවන්.

NVQ ම්ට්ටම් Level 1 සිට 7 දක්වා වන මට්ටම් 7 කින් සමන්විතයි. කිසිදු වෘත්තීය දැනුමක් නැතිනම් NVQ 1 ඉඳලම පටන්ගත යුතුයි. මූලික සුදුසුකම් තමන් සතු නම් NVQ මැද මට්ටමකින් පටන්ගෙන අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා NVQ සහතිකය ලබාගන්න   පුළුවන්. NVQ හි 07 වැනි මට්ටම ප්‍රථම උපාධි සුදුසුකමට සමාන වෙනවා. වෙනත් ඕනෑම ප්‍රථම උපාධි වැඩසටහනක් මෙන්ම NVQ 07 වැනි මට්ටම සම්පූර්ණ කිරීමෙන් පසු ශිෂ්‍යයින්ට විද්‍යාපති හෝ වෙනත් ඕනෑම පශ්චාත් උපාධි වැඩසටහනක් සඳහා ඇතුළත්වීමට පුළුවන්. NVQ 05 වැනි මට්ටම සමත්වූවන් හට ශ්‍රී ලංකාවේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) හෝ වෙනත් විදේශ විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමටද හැකියාව තිබෙනවා.

මේ වනවිට NVQ සහතික විවිධ වෘත්තිය විෂයයන් රාශියක් සම්බන්ධව නිකුත් කරනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, විදුලි හා ඉලෙක්ටොනික, කෘෂි හා ආහාර තාක්ෂණ, ඇඟලුම්, ඉදිකිරීම්, නිෂ්පාදන තාක්ෂණ, ජීව වෛද්‍ය, රෑපලාවණ්‍ය, සිනමා හා කලා, කළමනාකරණ, යාන්ත්‍රික තාක්ෂණ, සංචාරක හා සේවා වැනි විශාල ක්‍ෂේත්‍ර ප්‍රමාණයක් එයට ඇතුළත් වෙනවා. මෙම පාඨමාලා හදාරන විට සමහර රාජ්‍ය ආයතන සිසුන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබාදීමත් සිදු කරනවා. තවත් සමහර පාඨමාලා වෘත්තිය පුහුණු අධිකාරිය මගින් නොමිලේ පවත්වනවා. සමහර පාඨමාලා හදාරණ සිසුන්ට දීමනාවක් ලබාදීමත් සිදු කරනවා. රජයේ කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල පූර්ණකාලීන පාඨමාලා නොමිලයේ පැවැත්වෙනවා.

මෙම පාඨමාලා පිළිබඳ තොරතුරු ඒ ආයතනවලින් වගේම ඔවුන්ගේ වෙබ්අඩවිවලිනුත් ලබාගැනීමට පුළුවන්.

• වෘත්තිය පුහුණු අධිකාරිය (VTA) - http://www.vtasl.gov.lk
• කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්ථමේන්තුව (DTET) – http://www.dtet.gov.lk 
• තරුණ සේවා සභාව (NYSC) – http://nysc.lk 
• ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) - http://www.naita.gov.lk 
• ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (LAVTC) - http://www.lavtc.lk 
• වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය - http://www.univotec.ac.lk 
• තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව (TVEC) - http://www.tvec.gov.lk 
• තරුණ කටයුතු අමාත්‍යාංශය - http://www.youthmin.gov.lk 
• ජාතික යොවුන් සේනාංකය - http://www.youthcorps.lk

NVQ පාඨමාලාවල ජනප්‍රියතාව නිසා විවිධ පුද්ගලයින් වංචනික ආකාරයෙන් පාඨමාලා පවත්වාගෙන යන බව වාර්තා වෙනවා. ඒ නිසා පාඨමාලාවක් හදාරන්න කලින් එය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබපු එකක්දැයි තහවුරු කරගැනීමට අමතක කරන්න එපා. 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00