2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 118

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක්  අපි ඔයාලට  දෙනවා...

1. නයි මිරිස් වවමු

කාලෙන් කාලෙට එක එක ව්‍යාපාර අවස්ථා පිළිබඳ පොඩි පොඩි රැලි නිර්මාණය වෙනවා. මේ දවස්වල එහෙම නිර්මාණය වුණු රැල්ලක් තමයි නයි මිරිස් වගාව. ඔව් ඇත්තටම නයි මිරිස් කියන්නෙ වෙළෙඳපොළක් තියෙන වගාවක්. හැබැයි වැඩේ අවබෝධයෙන් පරිස්සමට කරන්න ඕනෑ. පසුගිය කාලේ අන්තර්ජාතික සහ දේශීය වශයෙන් නයි මිරිස් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම නිසා තමා මේ වගාවට කට්ටිය පිස්සු වැටුණේ. ඉතින් නිසි ජල සැපයුමක් සහිතව නයි මිරිස් වගා කිරීමට ගොවීන් පෙළඹුණා. මේ නිසා, මේ වෙනකොට නයි මිරිස් තනි වගාවක් ලෙස පැතිර යමින් තියෙනවා.‍

අන්තර්ජාලයේ තියෙන තොරතුරු බලාගෙන ගොඩ දෙනෙක් මේ වැඩේ දැන් කරන්න උත්සාහ දරනවා. උත්සාහය හොඳයි. ඒත් විශේෂඥ උපදෙස්වලින් තොරව මේ වැඩේ කරන්න යන්න එපා. ප්‍රදේශයේ කෘෂි නිලධාරිතුමාව සම්බන්ධ කර ගන්න. වැඩේ කරන්න ඉස්සර වෙළෙඳපොළ සහ වෙළෙඳුන් වෙත ගිහිල්ලා අදහසක් ලබා ගන්න.

2. හඳුන්කූරු හදමු 

මේ දවස්වල බොහොම ජනප්‍රිය ස්වයංරැකියාවක් තමා හඳුන්කූරු හැදීම. හඳුන්කූරුවලට තියෙන විශාල ඉල්ලුම නිසා, මේක තරමක් ලාභදායී ව්‍යාපාරයක්. සීමිත ප්‍රාග්ධනය සහ උපකරණ සමඟ මේ වැඩේට අතගහන්න පුළුවන්.  මූලික පුහුණුවක් තිබීම නම් ගොඩක් වැදගත්. අද වෙනකොට ගොඩක් පුහුණු වැඩසටහන් රට පුරා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර, ව්‍යවසායකත්ව වගේ විෂයන් භාර නිලධාරීන් හමුවෙලා දැනගන්නත් පුළුවන්. ගෘහාශ්‍රිත කර්මාන්තයක් විදිහට ගෘහණියට වගේම කාන්තා සමිති සංවිධාන විදිහටත් මේ වැඩේට අත ගහන්න පුළුවන්.

කොහොම වුණත් නිවැරදි අලෙවිකරණ උපාය මාර්ග තිබීම නම් බොහොම වැදහත්. ගොඩක් දෙනෙක් මේ ව්‍යාපාර අතරමග අතහරින්නෙ මේ පිළිබඳ දැනුමක් නැති නිසා. හඳුන්කූරු සම්බන්ධ තරගකාරී වෙළෙඳපොළක් තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැනගෙන ගැනුම්කරුවන් හොයාගෙන වැඩේට අතගහන එක තමා හොඳ. වැඩේ නැගලා ගියොත් මධ්‍ය පරිමාණ වශයෙන් හඳුන්කූරු නිෂ්පාදනය වෙනුවෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු හඳුන්කූරු නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගන්න.