කොවිඩ් වසංගත සමයේ අලුත් අදහස් එක්ක ආරම්භ කරපු සමහර ව්‍යාපාර මේ වනවිට බොහෝම සාර්ථක වෙලා. දහසක් අභියෝග හමුවේ ආරම්භ කරපු මේ ව්‍යාපාර පිළිබඳ අපි කතා කළ යුතුමයි. ඒ නිසාම අපි ඔබට අද අරගෙන ආවා කොවිඩ් වසංගත සමයේ ආරම්භ කරපු මේ වෙනකොට සැලකියයුතු සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු.
අපි කතා කරන්නෙ Eli Products පිළිබඳව. Eli Products සන්නාමය යටතේ වෙළඳපොළට එන්නෙ රසායන ද්‍රව්‍යවලින් තොර ආහාර නිෂ්පාදන. මේ නිෂ්පාදනවල හිමිකාරිණිය තමයි නිරෝ පීරිස්. ඇය තමන්ගෙ ව්‍යාපාරය අපිට හඳුන්වා දුන්නේ මෙන්න මේ විදිහට.
''අපේ ව්‍යාපාරයේ ස්වභාවය තමයි රසායන ද්‍රව්‍යවලින් තොරව ආහාර නිෂ්පාදනය. රසකාරක සහ වර්ණක වගේ දේවල් යොදා නොගෙන ස්වභාවිකව කල්තියා ගත හැකි ආහාර නිෂ්පාදන අපි සිදුකරනවා. පසුව සෞඛ්‍ය ආරක්ෂිතව නිසි ප්‍රමිතියක් පවත්වාගෙන ඇසුරුම් කරලා අපි ඒ නිෂ්පාදන වෙළඳපොළට මුදාහරිනවා.''
නිරෝ පීරිස් කියන්නෙ කොවිඩ් වසංගතයට කලින් ඡායාරෑප ශිල්පිනියක්. ඒ වගේම ලේඛිකාවක්. නමුත් කොවිඩ් වසංගතය එක්ක ඇගේ රුකියාව අභියෝගයට ලක්වුණා. ඉතින් ඒ අභියෝගය ජයගැනීමේ අරමුණින් තමා ඇය නව ව්‍යාපාරය ගොඩනගන්න පටන් ගත්තෙ.
''අපි කරපු ඡායාරෑපකරණය සහ ලිවීම කියන කාර්යයන් දෙකම එක තැන නතර කරන්න වෙන තත්ත්වයක් නිර්මාණය වුණා. එතැනදී තමා මම හිතුවේ දීර්ඝකාලීනව ඒ කටයුතු සිදුකරන්න බැරි වුණොත් ජීවත්වෙන්න වෙනත් යමක් කරන්න ඕනෑ කියලා. ඉතින් මම එකම එක නිෂ්පාදනයකින් මේ ව්‍යාපාරය පටන් ගත්තා.''
නිරෝගේ පළවෙනි නිෂ්පාදනය Garlic Bread එකක්. ඒ කියන්නෙ සුදුළුණු පාන් ගෙඩියක්. සුපිරි ආහාරයක් විදිහට හඳුන්වන, එක පන්තියකට පමණක් සීමා වූ Garlic Bread සැමට පහසු මිලට ලබාදීම තමා ඇගේ අරමුණ වුණේ.
''පළවෙනි නිෂ්පාදනය එදා වගේම අදත් නිසි ප්‍රමිතියට මම සිදු කරනවා. අද වෙනකොට සමස්ථයක් විදිහට නිෂ්පාදන 21ක් විතර අපි සිදුකරගෙන යනවා.''
මේ වනවිට නැවුම් ඉඟුරුවලින් හදන ඉඟුරු පානය ඇතුළු විවිධ පාන වර්ග, අච්චාරු වර්ග, දෝසි වර්ග ඇතුළු විවිධාකාර නිෂ්පාදන Eli Products සන්නාමය යටතේ වෙළෙඳපොළ තුළ දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම නිෂ්පාදන ඖෂධීය වටිනාකමකින් යුක්තයි. ඒකට හේතුව නම් ශරීර සෞඛ්‍යට හිතකර ආහාර පිළිබඳ නිරෝ තුළ තිබෙන පෞද්ගලික කැමැත්ත.
මේ ව්‍යාපාරය පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් අද වෙනකොට වසර තුනකුත් සම්පූර්ණ වෙලා. මේ ගමන පිළිබඳ නිරෝ පීරිස් අපිත් එක්ක මතකය බෙදාගත්තා.
''මට Colombo City Centre එකේ පොඩි ඉඩක් හම්බ වුණා. අපි මුලින්ම ස්ටෝල් කරා. එතනින් තමයි මම පටන් ගන්න. ඒක ඉතාම හොඳ අවස්ථාවක්. පස්සේ විවිධ තැන්වලට මගේ නිෂ්පාදන අරගෙන ගියා. ඒ තැන්වලින් දැකලා තමා මේ නිෂ්පාදනවලට ඉල්ලුමක් ඇතිවුණේ. පස්සේ Good Market එකෙන් මාව සාමාජිකයෙක් කර ගත්තා. වස විස නැති පරිසර හිතකාමී නිෂ්පාදන සිදුකිරීම නිසා තම ඒ අවස්ථාවක් ලැබුණේ.''
මේ වනවිට කොළඹ විතරක් නෙවෙයි උමන්දාව, නුවර වගේ තැන්වලත්, ඔන්ලයින් මාර්කට්වලත් Eli Products තියෙනවා. Eli Products නිෂ්පාදනාගාරය පිහිටා තිබෙන්නේ තලවතුගොඩ ප්‍රදේශයේ. තවමත් ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන කොටස්කාරිණිය නිරෝ. ඇය තමන්ගේ ශ්‍රමය සහ දැනුම එම කටයුතු වෙනුවෙන් වැය කරනවා. අනික් අය ඇයට අත් උදව් ලබාදෙනවා. ''ඇත්තටම මේ සඳහා ප්‍රවේශය ගත්තේ මම තනියම. එදා තිබුණු පීඩනයත් එක්ක මම තනියෙන් තීරණය කළා මේක කරන්න ඕනෑ කියලා. පස්සේ නිෂ්පාදනය වෙළඳපොළට අරගෙන යනකොට යාළුවෝ ගොඩක් උදව් කළා. මේ හා සම්බන්ධ දැනුම මට පුංචි කාලේ ඉඳන් තිබුණා. ගෑනු දරුවෙක් වුණාම අතේ පයේ වැඩක් දැනගන්න ඕනෑ කියලා අපේ අම්මගෙ තිබුණු විශ්වාසය ඒකට ලොකු හේතුවක් වුණා.''
වයස අවුරුදු 8ක විතර ඉඳන් ඉවුම් පිහුම් සම්බන්ධව තිබූ උනන්දුව සහ කැපවීම, වර්තමාන සාර්ථකත්වයට හේතු වූ බව නිරෝ අපිට කිව්වා. ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) හරහාත් ඇය පසුකාලීව ඇසුරුම්කරණය ආදී ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම ලබාගෙන තිබෙනවා. කොහොම වුණත් අභියෝග හමුවේ ශක්තිමත්ව නැගීසිටිය හැකි බව ඉගෙන ගන්න නිරෝ පීරිස්ගෙ කතාව කාටත් අපූරු ආදර්ශයක්. සුහුඹුල් අවධිය පසුකරමින් මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්ව වැඩෙන්නට පටන්ගෙන තිබෙන මේ ව්‍යාපාරය පිළිබඳ දිනක මුළුරටම කතා කරාවි. එහෙනම් අපි අද ඒ වෙනුවෙන් ලියා තැබුවේ පූර්විකාවක්.