2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ආයෙත් දෙන්න යන ලංසි අරන් ගිය පුරාවස්තු

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 122

ලංසි කියලා කටවහරට කියන්නේ ලන්දේසි හෙවත් ඕලන්ද ජාතිකයෝ වෙති. ඔවුන්ගේ රට ඕලන්දය හෙවත් නෙදර්ලන්තයයි. වර්ෂ 1658 දී ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කරගත් ලන්දේසීහු 1765 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ දී කොළඹ සිට පැමිණ මහනුවර නගරය වටකළහ. එවිට රජ ඇතුළු පිරිස අගනුවරින් පලාගිය අතර ලන්දේසින් රජමාලිගාව සහ දළදා මාලිගය වටලා වටිනා භාණ්ඩ රාශියක් කොල්ල කන ලදී. පසුගියදා මෙරටට ඕලන්ද රාජ්‍ය නියෝජිත පිරිසක් පැමිණියේ එසේ කොල්ලකා ගෙන යන ලද පුරාවස්තු කිහිපයක් මෙරටට බාරදීමේ ගිවිසුම් අත්සන් කිරීමටයි. එසේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් පසුගිය 28දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

මේ වනවිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හයක් මෙම ගිවිසුම මඟින් නැවත මෙරටට භාරදීමට නියමිතය.

නෙදර්ලන්ත රජය මෑතකදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ 17, 18 සියවස්වලදී යටත්විජිත රටවල්වලින් කොල්ල කා ගන්නා ලද පුරාවස්තුවලින් කොටසක් ආපසු බාරදීමටය.  

එම ප්‍රතිපත්තිමය තීරණයට අනුව භාණ්ඩ කිහිපයක් නැවත ශ්‍රී ලංකාවට බාර දෙන බවට 2023 ජූලි මස 6 වන දින ගැසට් නිවේදනයක් මගින් නෙදර්ලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඉදිරි මාස කීපය තුළ දී මෙම පුරාවස්තු අප රටට ලැබෙනු ඇත. ඒවා පිටරටවල සියවස් දෙකහමාරක්  තිස්සේ ආරක්ෂිතව පැවතුණා සේ ආරක්ෂා කර ගැනීමටත් අපේ බලධාරින්ගේ යුතුකමකි.

මේවා මේ වනවිටත් නෙදර්ලන්තයේ කෞතුකාගාරවල තැන්පත් කර ඇත්තේ ඉතා ආරක්ෂිතවය. සමහරු පවස්නේ මෙම භාණ්ඩ නැවත මෙරටට බාරදුන් විට ඒවායේ ආරක්ෂාව බිඳ වැටෙන බවයි. එම අදහසට මුල්වන  සිදුවීම් රාශියක් පසුගිය මෑත අතීතයේ දී  මෙරට සිදු වී තිබේ. ජාතික කෞතුකාගාරයේ තැන්පත් කළ කඩු ඇතුළු භාණ්ඩ කිහිපයක් හදිසියේ හොරු අරන් යාම, දැලිවල කොටවෙහෙර විහාරයේ තිබු රනින් කළ පුරාණ කරඬුව ඇතුළු පුරාවස්තු අතුරුදන් වීම සිදුවීම දෙකක් පමණි. කෞතුකාගාරයේ භාණ්ඩ හොරු ගෙන යාම සම්බන්ධයෙන් කන්ගැට්ටා නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලද බවට වාර්තා පළ විය. නමුත් පුරාවස්තුවලට වූ දෙයක් නැත.  කොළඹ ජනාධිපති මන්දිරයේ සවිකර තිබූ බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් අගනා සිතුවමක් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ දී අතුරුදන් විය. එය පසුව ලන්ඩන් නුවර වෙන්දේසියකට තබා තිබියදී හමුවිය.

ඉන් පෙනෙන්නේ ලංකාව නිදන් හොරුන්ට සහ පුරාවස්තු කොල්ලකරුවන්ට පාරාදීසයක් බවයි. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ප්‍රකාශ කර ඇත්තේ දිනපතා පුරාවස්තු වැනසීමේ නඩු ලේඛන 10කට පමණ අත්සන් කිරීමට සිදුවූ බවය. පෞරාණික උරුමයන් සොරකම් කිරීම සහ පුරාවස්තු හා ස්මාරක විනාශ කිරීම් ගැන දිනපතා අසන්නට ලැබේ.  එම හොරුන් අත්අඩංගුවට ගැනීම් ද සිදුවේ. නමුත් ඔවුන්ට ඇප ලබාදුන් පසුව යළිත් සිදුකරන්නේ එම හොරකමම විය හැකිය.
යුරෝපයේ ඕලන්දය හැරුණු විට බ්‍රිතාන්‍යයේ අපේ පුරාවස්තු රාශියක් මෙන්ම විශාල පුස්කොළ පොත් එකතුවක් ද තිබේ. ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අපේ තාරා දෙවඟන පිළිරුව සංචාරකයන් අතර ඉතා ප්‍රකටය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග කලකට පෙර  ජාතික කෞතුකාගාරයේදී පිටරටවල තිබෙන අපේ සංස්කෘතික දේපල ගැන දේශනයක් කරමින් ඕලන්ද කාලේ රැගෙන ගිය පුරාවස්තු සහ වෙනත් රටවල තිබෙන පුරාවස්තු ගැන මෙසේ සඳහන් කළේය.
“වර්ෂ 1658දී ලන්දේසීන් අපේ මුහුදුබඩ පළාත් යටත් කරගත්තා. ඕලන්දයේ කෞතුකාගාරවල අපේ පුරාවස්තු රාශියක් තිබෙනවා. ඔවුන් මෙරට මුහුදුබඩ පාලනය කළ  කාලයේම ඒවා කොල්ලකාගෙන අරන් ගියා. ලන්දේසීන් 1765දී මහනුවර නගරය ආක්‍රමණය කළා. එහිදී උඩරට රාජ මාලිගය ආශ්‍රිතව පැවති කාලතුවක්කු, ආභරණ, කඩු වගේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ හමුදා විසින් අත්පත් කර ගත්තා. ඊටපසු පහතරට ප්‍රදේශවල විහාර හා පෞද්ගලික අයිතිය යටතේ පැවති භාණ්ඩත් ඔවුන් එකතු කරගෙන තිබෙනවා. ඒවා අතරින් විශාල පුරාවස්තු ප්‍රමාණයක් එවකට ඕලන්දයට පටවා තිබෙනවා.

සෑම රටකම තිබෙන පුරාවස්තු වෙනත් රටවලට සම්මිශ්‍රණය වෙනවා. ශ්‍රී මහා බෝධියත් මේ රටට ගෙනාවේ ඉන්දියාවෙන්. නමුත් කාලෙකට පස්සේ අපේ තිබෙන පුරාවස්තු අපි කැමැත්තෙන් දෙන්නෙ නැතිව පිටරටවලට බලෙන් අරන් ගියා. ඒක පුරාවස්තු කොල්ලයක්. ඒ තත්ත්වය බොහෝදුරට ඇතිවුණේ 15 වැනි සියවසෙන් පසු අපේ රටට බටහිර යටත්විජිත පාලනය පැමිණි පසුයි. ඒ කාලේ එතෙක් පැවති සංස්කෘතික වස්තු හුවමාරුවට වෙනස්ව බලහත්කාරයෙන් පුරාවස්තු රැගෙන යාමක් සිදුවුණා.

15-16 සියවස් වනවිට බටහිර යුරෝපයේ චින්තන පෙරළියක් ඇතිවුණා. ආගමික බිය නැතිව ගොස් පල්ලිය ප්‍රශ්න කිරීමට පටන්ගත්තා. ඊට පසු ‍ඓතිහාසික දේවල් රසවිඳීමට ඒවා අගය කිරීමට පටන් ගත්තා. ඒ කාලයේ යටත්විජිත රටවල්වල කලා කෘති ඒ රටවලට රැගෙන යාමට පටන් ගත්තා. යුරෝපීය ජාතීන් වන පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතිකයන් ලංකාව, ඉන්දියාව වගේ රටවල පුරාවස්තු නිර්මාණ දැකලා පුදුම වුණා. ලංකාව, ඉන්දියාව වගේ රටවල්වල මේ තරම් දියුණු සංස්කෘතියක් පැවැති බව ඔවුන් කවමදාවත් සිතුවේ නැහැ. ඔවුන් මේ රටවල්වල සංස්කෘතික භාණ්ඩ එකතු කරන්න, ඒවා අගය කරන්න පටන් ගත්තා.

ඕලන්ද ජාතිකයන් පරදවා 1796දී අප රටේ මුහුදුබඩ පළාත් යටත් කර ගත්තේ ඉංග්‍රිසින් විසිනි. හිරු නොබසින අධිරාජ්‍යයක් පිහිටුවීමේ අරමුණ ඇතිව ඔවුහු 1815 දී උඩරට ඇතුළුව මුළු රටම උඩරට ගිවිසුම මගින් යටත් කර ගත්හ. අපේ පුරාවස්තු වැඩිපුරම ප්‍රමාණයක් පිටරටට රැගෙන ගියේ ඉංග්‍රීසින් විසිනි. ඉංග්‍රීසි ජාතිකයන්ට ශාස්ත්‍රීය දේවල් කෙරෙහි ඇල්මක් පැවතුණු අතර පුරාවස්තු  තමන්ගේ ගෙවල්වල තබාගැනීමට ඔවුන්ට කැමැත්තක් තිබුණි. මේ නිසා අපේ සංස්කෘතික වස්තු එංගලන්තයට නැව් මගින් රැගෙන ගියහ. පුස්කොළ පොත් වැනි පැරණි ලේඛනද ඒ අතර විය.

ඕලන්දය හා එංගලන්තය හැරුණුවිට අපේ පුරාවස්තු වැඩිම ප්‍රමාණයක් තිබෙන රට ජර්මනියයි. අපි කවදාවත් ජර්මනියට යටත් වෙලා නොහිටියත්  ජර්මනිය වැදගත් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් පැවැති රටකි. ඔවුන්ට ලංකාව ඇතුළු පෙරදිග රටවල ඉතිහාසය ගැන ලොකු උනන්දුවක් පැවතුණ අතර ඔවුන් ඉංග්‍රීසින් හෝ වෙනස් ජාතීන් හරහා අපේ පුරාවස්තු තම රටට ගෙන්වා ගෙන තිබේ. දැන් කළ යුත්තේ නෙදර්ගන්තයෙන් ලැබෙන පුරාවස්තු සහ මෙරට ඇති අනෙක් පුරාවස්තු ස්මභාරයත් නිසිලෙස ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙලක් සැකසීමයි. 

I කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00