බදුල්ල දිස්ත්‍රික්කය දැඩි නාය අවදානම් කලාපයක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගනු ලැබුවේ කලක සිටිය. ඔවුන්ගේ වාර්තා අනුව නිවාස හත් දහසක් සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් සියයට 66.91ක්, නිවාස හත් දහසක් සමඟ නාය අවදානමට ඇතුළත්ව ඇත. අවදානම් මේ කොටසින් සියයට 2.77 ක් දැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙසද, සියයට 16.37 ක් මධ්‍ය අවදානම් ප්‍රදේශ ලෙසද, සියයට 47.76 ක් අඩු අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ නමුත් මෙම දත්ත මාස ගණනාවකට පෙර ලබාගත් ඒවාය. බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ මේ ප්‍රමාණය සියයට 69 ක් බවය.
දැඩි පරිසර හිතකාමියකු වන බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි නොබෝදා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණේ ළඟ ළඟම එන දැඩි අවදානම පිළිබඳව විවිධ අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුම්වත් කරමින් ආපදා තත්ත්වයකදී මුහුණ දීමට වන වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා කිරීමටය.
දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධනය කර තිබූ මෙම සාකච්ඡාවට ප්‍රාදේශීය ලේකම්වරැ, පොලිසිය, යුද හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ, ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, සෞඛ්‍ය, ප්‍රාදේශීය සභා, මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු රාජ්‍ය අංශ රුසක නිලධාරීහු සහභාගී වූහ. දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේ මේ පරිසර විනාශය නතර නොකළහොත් බදුල්ල දිස්ත්‍රික්කය වසර 50කින් විනාශ වන බවය.
මේ කතාව ඇත්තද? අපි දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු .
ඔව්. පරිසරය මෙහෙම විනාශ කළොත් අනිවාර්යයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය පවතින්නේ තවත් අවුරැදු 50 යි කියලා මම තක්සේරු කරලා තියෙනවා.
ඔබ කොහොමද එහෙම කියන්නේ?
මම ඒ නිගමනයට එන්න පෙර ලොකු අධ්‍යයනක් කළා. එකක් තමයි, ජාතික ගොඩනැගිලි පර්ෙය්ෂණ ආයතනයේ සමීක්ෂණ වාර්තා. දෙවැනි එක තමයි මගේ සංචාරවලදි ඇසින් දුටු දේවල් ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය වාර්තා අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් සියයට 66.91ක් නාය අවදානම් තත්ත්වයේ තිබෙනවා. මේක මාස ගණනාවකට පෙර ගත් වර්තාවක්. දැන් සියයට 69ක් පමණ වන බව මගේ විශ්වාසයයි.
වඩාත්ම අවදානම් ප්‍රදේශ මොනවාද?
මහියංගණය හැර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මේ අවදානම තිබෙනවා. හපුතලේ, ඌවපරණගම සහ හාලිඇළ තත්ත්වය වඩාත් දරැණුයි. මහියංගණයේ නාය අවදානම නැති වුණාට මහවැලි ගඟ පිටාර ගැලුවොත් ගංවතුර තර්ජනයක් ඇතිවීමට ඉඩ තිබෙනවා.
ගිය ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා කඳු ගිනිගැනීම් 200 කට වැඩි ප්‍රමාණයක් මේ බදුල්ලේ සිදුකරලා තියෙනවා. මේ කඳු ගිනි තැබීම්වල අවසානයට සිදුවන්නේ මේ මී වදයක් වගේ බද්ද වෙලා තියෙන පස් රත්වෙලා එකින් එක වියෝජනය වීමයි, ලිහීමයි. ලිහෙන නිරාවරණ පස් පොළොවට වැටෙන වැස්ස විසින් සෝදාගෙන යනවා. මේ තිර රෙද්ද ඔයාලා එහාට මෙහාට කරලා බැලුවොත් ඔයාලට පේනවා සශ්‍රීක මහ පොළොව. අද අර කඳු මුදුන තට්ටෙ වගේ පෑදිලා තියෙන බව. බදුලු මාංසය, බදුලු මාතාවගේ මස්, වැලි, පස් දියවෙලා මේ ගංගා ජලයත් සමඟ යනවා. දැන් ඒකත් මිනිස් ක්‍රියාකරම් නිසා සිදුවන ආපදාවක්. මහියංගණය පාලමත් ගලවාගෙන යන හැටියට තමයි වැලි ගොඩ දාන්නේ මැෂින් දාලා. මේකත් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන විනාශයක්.
බදුලු මාංසය මෙහින් ගඟට ගලනවා. ගඟේ තල්ලු වෙලා යනවා ගඟේ චාලකයත් එක්ක. ඒ චාලකේ එක්ක ගඟ පණ නැතිවෙලා තියෙනවා නිධි සාදනය වීම නිසා. නිධි සාදනය වෙලා ගඟ පණ නැති වුවහොත් 2011 දී වගේ මහියංගණය ගංවතුරෙන් යටවෙලා යනවා. දැන් මහියංගණය වැලි දිගටම හාරනවා ගඟ ගලන්නේ නෑ. මහියංගණෙන් ගන්නවා, මනම්පිටියෙන් ගන්නවා. මේ ඔක්කොම බදුලු මාංසය, බදුලු දිස්ත්‍රික් මාංසය. එහෙමනම් අපේ ලංකාවේ මම මේ සැරේත් දිසාපති සම්මේලනයේදීත්, ජනාධිපතිතුමාගේ පරිසර රුස්වීමේදීත් මම කිව්වා වාරිමාර්ග දෙපාර්තුමේන්තුවල ජලය කළමණාකරණය කරන්න කියලා. ඒකට ජලය කළමණාකරණය කරන්න ජලය තියෙන්න ඕන. අද තියෙන ආපදාව මොකක්ද? ඒ ජලය නැතිකම දැන් අද කන්දකැටිය ගොවීන්ට, බත්මැඬිල්ල ගොවීන්ට ජලය නැතුව යුද්ධයක්. හැබැයි ඉතින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මොනවා කරන්නද? ඉතින් එතන යුද්ධයක්. පවතින සාධක ස්වභාවික සාධක සම්බන්ධයෙන් සහ මානවයා විසින් කරනු ලැබූ පොදු සාධක හේතුවෙන් මේ රාජකාරියේ යෙදෙන ඉංජිනේරැවන් හට කළ කුමක්ද හැක්කේ? බලය අතට ගත්තු නිහඬතාවයේ මානසිකත්වයක් තුළ හැසිරෙන තත්ත්වයක් තුළ අමුණ කඩලා වතුර ගෙනියනවනම්, මැෂින් වලින් විදල කළුගලට ඩයිනමයිට් ගහනවනම්, මේ විදියට වැලි ගොඩදානවා නම් කැළෑ ගිනි තියනවනම් අපට රාජකාරියක් කිරීමෙන් එහා පැත්තට ගියපු වගකීම් ඉටු කිරීමෙන් එහා පැත්තට ගියපු යුතුකමක් තියෙනවා.
ඔබ කිව්වා ගංගා දිගේ ඇවිදගෙන යනවා කියලා ඇයි ඒ ?
ඔව්. මම උමා ඔය දිගේ ඇවිදගෙන ගියා. බදුලු ඔය දිගේ තරමක් දුරට ඇවිදගෙන ගියා. මෙහිදී මිනිසුන් විසින්ම පරිසරයට කරන හානිය මගේ ඇස් දෙකින්ම දැකගන්න ලැබුණා. උමා ඔය දිගේ අනවසර ඉදිකිරිම් බදුලුඔයේ කුඹල්වෙල සිට මෙහාට දිගටම වැසිකිළි හරවලා තියෙන්නේ බදුලු ඔයට. අනවසර ඉදිකිරීම් දිගටම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මස්මඩුවල අපද්‍රව්‍ය සියල්ල දාන්නෙත් බදුලු ඔයට.
තේ වතු සුද්දාගෙන් පස්සේ තේ වතුවල පාලනය අයාලේ යාම නිසා සිදුවන පරිසර හානිය ගැනත් ඔබ කිව්වා......?
බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි ප්‍රමාණයක ඉඩම් අයිතිය තිබෙන්නේ වතු ආර්ථිකය තුළ. මේ වතු ආර්ථිකය 1972 ආණ්ඩුගත කිරීමත් එක්ක වතු කළමනාකරණය බිඳ වැටුණු බව ඔයගොල්ලන්ට අපිට කියන්න දෙයක් නෑ. මොකද, වත්ත වත්තේ ප්‍රමුඛතාවයන්ට වඩා දුන්නා ගස්කොළන් කපාගෙන යන්න. වත්තේ ගල් බැමි ආරක්ෂා කිරීමට තියෙන තැන පාර කැපුවා. ගස් කැපුවා. වත්තේ ගල් ටික නැතිවෙලා ගියා. ඒ ගල් ටික අරන් ගියා මිනිස්සු. ඒ වත්තේ ජල උල්පත්, ජල පහර වැළකිලා ගොඩවුණා. වතුර හිතූ හිතූ තැන් වලින් ගමන් කළා. වත්තේ බොහොමයක් තැන් වල තියෙන්නේ පාළු තැන්. වත්තේ තියෙන ගස් හාරසීය පන්සීය කපන්න වතු සමාගම් වලින් අවසර දීල තියෙනවා. මහ පොළොවට එන්නත් කළේ දේශීය ශාක නොවෙයි, විදේශීය ශාක.
ජයිකා වාර්තාවට අනුව මීරියබැද්දේ පොළොව මතුපිටත් ගඟ ගැලුවා. පොළොවේ මව් පාෂාණය උඩිනුත් ගඟ ගැලුවා. මේ දෙකට මැදි වෙච්ච පස් විතරක් නොවෙයි අර්ධ විශ්කම්භය අඩි 15 ක් වෙච්ච ගල් පවා පරඬැල් වගේ ගහගෙන ගියා.
බදුලු ඔයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ආපදාවක් ළඟ එනවා. ඒක තමයි අසූචි. අපේ ඊකෝලයි ප්‍රතිශතය සියයට 47ක් ජලයේ තියෙනවා කියලා දැනගත්තොත් ඇල්ලෙ සංචාරක ව්‍යාපාරයටත් හානිදායක වෙනවා.
අරීය ජලවහන රටාවක් ඇති මධ්‍ය කඳුකරයේ ප්‍රධාන ගංගා මාර්ග 13 ක් බදුල්ල දිස්ත්‍රික්කයේ කඳුකරයෙන් උපදිනවා නේද? එම රක්ෂිතයන් පිළිබඳව උනන්දු වුණාද ?
තේ වතු ආශ්‍රිත ජල රක්ෂිත 1700 ක් සහ අනෙක් තැන්වල 1199 ක් හඳුනාගත් ජල රක්ෂිත තියෙනවා. මේවා ගැසට් කරන්න අපි කටයුතු කරගෙන යනවා. මම ඉඩම් පරිහරණ නිලධාරින් මේ රක්ෂිත හරහා යවනකොට, මේ රක්ෂිත සියල්ලේම බොහෝ වටිනා කියන ගෙවල් දොරවල් හදලා, මිනිස්සු අද රක්ෂිත නැති ගාණට ඇවිල්ලා.
අද බදුල්ල ඇති ප්‍රධානම ප්‍රශ්නයක් තමයි රක්ෂිතවලට කෙළින්ම බට ගහලා මිනිස්සු වතුර ගන්න එක. පොදු සම්පත තමන්ට අභිමත පරිදි භාවිත කරනවා. කුඹුරට හා ජලයෝජනා ක්‍රමවලට වතුර යාම ඇණහිටලා තියෙනවා. බත්මැඬිල්ල ව්‍යාපාරය කවදාවත් වතුර හිඟයක් ඇති නොවන තැනක්. අද එතැනක් ජල ගැටලුවක්. ජලයට මිනිස්සු උද්ඝෝෂණය කරනවා.
හපුතලේ නගරය ලෝකයේ තිබෙන කුඩා බිමක විසිරැණු ඉතා සුන්දර නගරයක්. එහි අවදානම මොන වගේද?
හපුතලේ නගරය පොම්පෙයි නගරය වගේ පහළට වැටෙයි කියල ආපදා විමර්ශනයේදී අදහසක් ආවා. හපුතලේ නගරය වැටුණොත් හපුතලේ විතරක් නොවෙයි කොස්ලන්ද, මහලන්ද, හල්දුම්මුල්ලටත් වැටෙනවා. ඒවා තණමල්විල පැත්තෙන් නතරවේවි.
එහෙම වුණොත් මාර්ග පහසුකම් නැතිවේවි නේද?
ඔව්. ඒ නිසා බණ්ඩාරවෙල හරහා විකල්ප මාර්ගයක් වහා සොයාබැලිය යුතුයි යන තැනට පත්වෙලා තියෙනවා.
ඔය පරිසර විනාශය පිළිබඳව රාජ්‍ය නිලධාරිනුත් වගකිව යුතුයි නේද?
ඔව්. පොදුවේ මිනිසුන් නිලධාරින් විතරක් නොවෙයි ඇතැම් දේශපාලනඥයන් පවා ප්‍රබලව වගකිව යුතුයි. නිලධාරින්ට කෙළින්ම දොස් කියන්න අමාරැයි. මොකද අපේ රටේ නිලධාරින් රාජකාරිය හරිහැටි කරගෙන යනකොට විවිධ බලපෑම් එනවා.
ඒ කියන්නේ දේශපාලඥයන්ගෙන්ද? ........ ඇයි ඔබ නිහඬ?
මම ඇහුවේ දේශපාලනඥයන්ගෙන්ද?
මාධ්‍යවේදින් වන ඔබ ඒ ගැන දන්නවනේ මම කියන්න ඕන නැහැනේ.
නිලධාරින්ට විශේෂ යමක් කියනවද?
(ඔව්. මේ රටේ සාපේක්ෂතාවයෙන් යුක්තව අනිත් අයට වඩා අපට අවස්ථාවක් හම්බුවෙලා තියෙනවා පින් කරන්න. හැබැයි අනික් කට්ටිය කරන පිනට සල්ලි වියදම් වෙනවා. අපි කරන පුණ්‍යකර්මයට සල්ලි ගෙවනවා. අපි කරන දායකත්වයට, අපි කරන රුකියාවට අපිට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. අපි කරන එක පින්කමක් නම් අපිට විතරක් නෙවෙයි. අපේ විශ්‍රාමයෙන් පස්සේ අපේ අඹුදරුවන්ට සියල්ලටම මේ විශ්‍රාමය ගෙවනවා. අපි එච්චර පින් කරලා තියෙනවා. ඒක නිසා ඒ පින උපරිම වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් කරන්න කියල මගේ ආදරණීය මිතුරු මිතුරියන් වන රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.)
බදුල්ලේ පාලිත ආරියවංශ