2017 ජුනි 10 වන සෙනසුරාදා

මහ රෑ ගංවතුරේ ජීවිත රැසක් බේරූ බුද්ධ පුත්‍රයෝ

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

දිවයිනේ පළාත් රැසකට පසුගිය දින කීපය තුළදී ඇතිවූ නායයෑම් සහ ගංවතුර තර්ජන හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි විය. බොහෝ පිරිසක් උන්හිටි තැන් නැතිවී විනාශ වී යාමෙන් අසරණ වූහ. තවත් පිරිසක් පස්වලට යටවී අතුරුදන් වී ගියහ. මේ විපතේදී තම ජීවිත අවදානම පවා නොතකා ගංවතුරට කොටුවී සිටි ජනතාවගේ දිවි බේරාගත් බුද්ධ පුත්‍රයන් තිදෙනකු ගැන වාර්තා වෙයි. ගිංගඟ උතුරා පිටාර ගලා ඒම නිසා ගංවතුරට හසුවී යටවෙමින් තිබූ ගාල්ල බද්දේගම ගම්මානයක ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ගම්වාසීන් පිරිසක් උන්වහන්සේලා විසින් මෙසේ බේරාගැනීමට සමත්ව වූහ.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගම දකුණ ග්‍රාමසේවා වසමේ ගම්මුන් රැසක් ගිංඟගේ උතුරා ගිය ජලයට හසුවී සිටියහ. බද්දේගම ගනේගම ඉන්ද්‍රසාර ධර්මායතනයේ වැඩවසන මාධුගැට සීවලි (28), භජ්පිටියේ ධම්මික (32), මාජුවාන ඉන්ද්‍රසාර විද්‍යායතන පිරිවෙන් කුඩාවේ සිරිසුදස්සි යන බුද්ධ පුත්‍රයින් තෙනම මෙසේ ගිංගඟේ ජල රකුසා පරාජය කර ජල රකුසාගෙන් ගම්වැසියන් බේරාගත්හ.

බද්දේගම ගනේගම දකුණ ග්‍රාමසේවා වසමේ බොහෝ පිරිසක් කුලිවැඩ කරමින් ජීවිකාව ගැටගසා ගනිති. ඇතැම්හු තේ වගාව කරති. අහිංසක ගම්වැසියන් පිරිසක් ජීවත්වෙන මෙම ගම්මානයේ ජනතාවගේ වගාවන්, නිවාස දේපල සියල්ල ගිංගඟේ උතුරා ගිය ජලයට හසුවීමෙන් විනාශ වී තිබේ.

අප ගාල්ල බද්දේගම ගනේගම ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී ගනේගම ගම්වාසීන්ට ගංවතුරෙන් සිදුව ඇති විපත හැබැහින් දැකගැනීමට ලැබිණ. ගංවතුර ගලා දින කීපයක් ගතවුවද ගමට ඒ වනවිටද විදුලිය නොතිබිණි. ගමේ මර්ග, නිවාස ජලයෙන් යටවී තිබූ අතර, නිවාස තුළ තිබූ දේපල ජලයට හසුවී විනාශ වී තිබිණ. තේ වගාවන් ද ගංවතුරට හසුව විනාශ වී ඇත.

ගංවතුරට හසුවූ ගම්වැසියන් බේරාගත් බුද්ධ පුත්‍රයින් සොයා අපි බද්දේගම ගනේගම ඉන්ද්‍රසාර ධර්මායතන පිරිවෙණට ගියෙමු.
එම බිහිසුණු අත්දැකීම මාධුගැට සීවලි හිමියෝ මෙසේ විස්තර කළහ.

අලුයම වර්ෂාව ඇඳහැලෙමින් තිබුණා. අලුයම 1ට පමණ අම්මා මට කතා කරලා කිව්වා නෙලුව පැත්තට හොඳටම වහිනවා බද්දේගම ගනේගම අප පිරිවෙන් අසල ගමේ අයට දැනුම් දෙන්න ප්‍රවේශමෙන් ඉන්න කියලා. එදා අප විහරස්ථානයේ පින්කමක් තිබුණා. පසුව මම ධම්මික හිමි සහ සිරිසුදස්සි හිමියන් සමඟ එකතුවී වැස්සේම පන්සලට පහළ ගනේගම ගමට ගියා. ඒ යනවිටත් ගිංගඟ පිටාර ගලමින් තිබුණේ. ගම්මානයේ නිවාස රැසක් ජලයෙන් යටවී ගිහින් ගම්මුන් කර කියාගත නොහැකිව කුඩා දරුවන් සමඟ නිවෙස් තුළ කොටුවී අසරණව හිටියා.

අපට හොඳට පීනන්න පුළුවන්. අපි කරවටක් වතුරේ බැහැලා පීනලා ගිහින් නිවෙස් තුළ සිරවී සිටි කුඩා දරුවන් ගම්මුන් බේරාගෙන ගොඩට ගෙනාවා. සෑහෙන පිරිසකගේ ජීවිත අපට ජල රකුසාගෙන් බේරාගන්න හැකිවුණා. ගමේ පද්මසිරි, සුමේධ අයියලත් අප සමඟ මේ වැඩේට එකතු වුණා.

පසුදින උදේ ගිහින් බලනවිට ගනේගම දකුණ ගම්මානය නිවාස දේපල වගාවන් සමඟ සම්පූර්ණයෙන් ජලයෙන් යට වෙලා. අපට මේ සිදුවීම හරියට හීනයක් වගේ. රෑ විශාල ජල කඳකට බැහැලා සිදුකළ මේ ක්‍රියාව. ගම්වැසියන්ට විපතක් නොවී ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවීම ගැන අපට සතුටුයි.

ගනේගම උඩවකන්දවත්ත සුමේධ සම්පත් (34) මෙසේ කියයි.

මම දරුවන් දෙදෙනාත් බිරිඳත් සමඟ නිවස තුළ සිටින විට රාත්‍රි අධික වැස්සේම ගමේ පන්සලේ සීවලි හාමුදුරැවන් ඇවිත් කිව්වා ගිංගඟ උතුරා පිටාර යනවා ගමේ නිවාස යටවෙනවා. අපි ගිහින් ගමේ ජනතාව බේරාගමු කියා. ඒ අනුව මම තවත් දෙදෙනකු සමඟ එකතුවී හාමුදුරුවන් සමඟ වතුරට බැහැලා පීනලා ගිහින් කට්ටිය බේරාගත්තා. අපගේ කර ළඟට එනතෙක් වතුර පිරී තිබුණා. කොහොම හරි ජලය සමඟ පොරබදා ජනතාව බේරාගත්තා. අපි ජනතාවට කිව්වේ බඩු මුට්ටු අතහැරලා ඇඳිවත පිටින් එන්න කියලා.

ගනේගම කිඹුල්කොටුව ලැම්බට් ජයසූරිය මහතා (61)

සිද්ධිය වූ දින මම බිරිඳ දියණිය සහ ඇගේ අවුරුදු 4, 6 දරු දෙදෙනා නිවසේ හිටියා. එදා රෑ වැස්ස එන්න එන්නම වැඩිවුණා. පස්සේ ගිංගඟ පිටාර ගලමින් අපගේ නිවාස ටික ටික ජලයෙන් යටවෙන්න පටන් ගත්තා.
මේ අතරේ ගමේ පන්සලේ සිවලී හාමුදුරුවෝ තව කිහිපදෙනකු සමඟ ඇවිත් කිව්වා ඉක්මනට ගෙවල්වලින් අයින්වෙන්න ගංවතුර ගලනවා කියා. අපට කරගන්න දෙයක් තිබුණේ නැහැ. සිවලී හාමුදුරැවෝ සහ අනෙක් පිරිස අපිව ඔසවාගෙන ගිහින් ගංවතුරෙන් බේරාගත්තා.

අපගේ වගාවන් නිවාස සියල්ල ජලයෙන් යටවී විනාශ වුණා. මම දැනට පන්සලේ නැවතී ඉන්නේ. බිරිඳ දරුවන් අම්බලන්ගොඩ ඥාති නිවසක ඉන්නේ. ඇත්ත වශයෙන් අපගේ ජීවිත මේ මහ විපතෙන් බේරාදුන් මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා මතු බුදුවෙන්න ඕන මහත්තයෝ.

සේයාරූ / සටහන්  - ඇල්ල ප්‍රසාද් රුක්මල්