2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

2024 ඔබට රටට ලොවට කොහොමද?

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 606

ප්‍රභූන්ගේ වංචා දූෂණ එළියට
දික්කසාද සහ පවුල් අවුල් වැඩිවේ

2024 නව වසර ආරම්භය සිදුවෙද්දී සූර්යා තමාට මිත්‍ර රාශි භවනක් වූ ධනු රාශිගතව සිකුරුට අයත් පුවසල නැකතේ ගමන් කරයි. එසේම සඳු ග්‍රහයාද තමාට මිත්‍ර රාශියක් වූ සිංහ රාශියෙහි කේතුට අයත් මා නැකතේ ගමන් කරමින්ද අඟහරු තමාට මිත්‍ර රාශි භවනක් වූ ධනු රාශිගතව කේතුට අයත් මුල නැකතේ ගමන් කරමින්ද සිටී. බුධ ග්‍රහයාද වක්‍ර ගමනින් තමාට සම රාශි භවනක් වූ වෘශ්චික රාශියෙහිද බ්‍රහස්පති තමාට මිත්‍ර රාශි භවනක් වූ මේෂ රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ ගමන් කරමින්ද සිකුරු තමාට සම රාශි භවනක් වූ වෘශ්චික රාශියෙහි සෙනසුරුට අයත් අනුර නැකතේ ගමන් කරමින්ද සිටිනවා ඇත. 

සෙනසුරු තමාට ස්වක්ෂේත්‍ර රාශි භවනක් වූ කුම්භ රාශියේදීත් රාහුට අයත් සියාවස නැකතේ ගමන් කරමින්ද රාහු බ්‍රහස්පතිට අයත් මීන රාශියෙහි බුධට අයත් රේවති නැකතේ ගමන් කරනවා ඇත. යුරේනස් වක්‍ර ගමනින් අඟහරුට අයත් මේෂ රාශියෙහි සිකුරුට අයත් බෙරණ නැකතේද, නැප්චූන් මීන රාශියෙහි ගුරුට අයත් පුවපුටුප නැකතේ ගමන් කරයි. උදා වූ නව වසර තුළදී ඡායා චන්ද්‍ර ග්‍රහණයක්ද, පූර්ණ සූර්ය ග්‍රහණයක්ද, වලයාකාර සූර්ය ග්‍රහණයක්ද, අර්ධ චන්ද්‍ර ග්‍රහණයක්ද සමගින් ග්‍රහණ 4ක්ද ග්‍රහ යුධ සංග්‍රාමයන් වසර තුළදී 18ක්ද සිදුවීමට නියමිත වේ. ප්‍රධාන වශයෙන් බ්‍රහස්පති තමාට සතුරු රාශි භවනක් වූ වෘෂභ රාශියට 2024 මැයි 1 වැනි දින ගමන් කිරීමත් සෙනසුරු 2024 ජූනි මස 30 වැනි දින සිට නොවැම්බර් 15 දක්වා වක්‍රව ගමන් කිරීමක් සිදුවේ.

 චන්ද්‍ර සූර්ය ග්‍රහණ 4ක් 

ලබන්නා වූ 2024 යහපත් වූ ප්‍රතිඵල ඇතිවීමක් සිදු නොවන වසරක් වනු ඇත. එසේම ජනතාවට ආර්ථික අපහසුතා දැඩි ලෙස දැනෙන වසරක් වනු ඇත. යුද්ධ හමුදාව, නාවික හමුදාව, පොලීසිය වැනි ආරක්ෂක අංශ සම්බන්ධව විශේෂ වෙනස්වීම් ඇතිවන වසරක් වේ. රට තුළ දික්කසාදවීම්ද පවුල් ආරවුල්ද වැඩිවන වසරක් වේ. නොසිතූ ලෙස මහජනයා රුස්වන තැන්වල මෙන්ම මගීන් රුඳෙන පොදු ස්ථාන, වාහනවලද පිපිරීම්, ගිනි ගැනීම් වාර්තා වනු ඇත. රට තුළ අපරාධ ක්‍රියා වර්ධනය වන අතර මහජන දේපල ව්‍යාපාරික ස්ථාන අපරාධකරුවන් විසින් පැහැර ගැනීම් ද කුඩා දරුවන්ව පැහැරගැනීම්ද වැඩිවනවා ඇත. මහජනයා පීඩාවට පත්කරමින් කාලගුණික විපර්යාසද ඇතිකරයි. සුළි කුණාටු ඇතිවීමත් හදිසි ජල ගැලීම්ද කඳු නායයෑම්ද ගොඩනැගිලි කඩා වැටීම්ද හේතුවෙන් මිනිස් ජීවිත මෙන්ම දේපලද කෘෂි භෝගද හානිවනවා ඇත. උසස් කුල කාන්තාවකට මාරක ඇතිවන අතර ප්‍රසිද්ධ කාන්තාවකට රංගන ගායන ක්ෂේත්‍රයේ ඉහළ ජනාදරයට පත්වූ කාන්තාවකටද තම ජීවිත ගමනින් සමුදීමට සිදුවන වසරක් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාරක ඇති වන අතර රාජ්‍ය නායකයකුට මෙන්ම උසස් නිල තල දරන්නෙකුට බලාපොරොත්තු රහිත මාරකයක්ද ඇතිවන අතර උසස් ප්‍රභූන් විසින් යම් යම් අක්‍රමවත් ලෙස හොර රහසේ සිදුකළ වංචනික ක්‍රියාවන් එළිදරව් වීමෙන් ඔවුන්ගේ කීර්තිනාමයටද හානිවන වසරක් වෙයි. හදිසි මැතිවරණයක් පැවැත්වීමට සිදුවන අතර පවතින පාලක රජය වෙනස් වන වසරක්ද වෙයි.

ලෝකයට

බලවත් රාජ්‍ය නායකයන්ටද තම රාජ්‍ය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වේ. පාර්ලිමේන්තු සංයුතිය වෙනස් වීමක් සිදුවන වසරක් වේ. මගීන් 100ට වැඩියෙන් රුගත් යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් ජීවිත විනාශයට ලක්වීමක්ද වාර්තා වනු ඇත. රිච්ටර් මාපාංක 7 ඉක්මවූ භූ චලන තුනක් වසර තුළ සිදුවන අතර ගොඩනැගිලි කඩා වැටීම් මෙන්ම ජල ගැලීම්ද ඇතිවීමෙන් මිනිස් ජීවිත දහස් ගණනින් විනාශ වන වසරක් වේ. ප්‍රසිද්ධ ලෝක පූජිත චිත්‍ර ශිල්පියකුට මෙන්ම සංගීතවේදියකුට මාරකද යෙදෙනවා ඇත.

► මේෂ - සැහැල්ලු ජීවිතයක්

ලග්නාධිපති වූ අඟහරු ප්‍රතිස්ථානගතව රවි සමඟ සංයෝග වී ආරම්භ වන්නා වූ නව වසර ඔබට මිශ්‍රඵල උදාකරන වසරක් බවට පත්වනු ඇත.

ගෘහ ජීවිතය : වසර ආරම්භයත් සමඟ වෙනදාට වඩා විනෝදකාමීව කාලය ගත කරන ඔබ සෑම දෙයක්ම සැහැල්ලුවෙන් යුක්තව සිතට නොගෙන කටයුතු කරන අයකු බවට පත්වේ. ඔබගේ කලත්‍රයාට හදිසි ශරීර පීඩා විපත් ගෙන දෙන කාලයක්ද වේ.

අවිවාහක අයට මංගල යෝජනා තවදුරටත් ප්‍රමාද වෙයි. නිවස අලංකාරය කිරීමට විසිතුරු භාණ්ඩ මිලදී ගැනීම්ද නිවසේ අලුත්වැඩියාවන්ද සිදුකරනවා ඇත. විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන වසරක්ද වේ. නීතිමය ගැටලුවකටද මැදිවිය හැකිය.

ආර්ථිකය : මෙම වසර තුළ ඔබට නව ආදායම් මාර්ග ඇතිවන අතර ඔබ කරන රැකියාවල දියුණුවක් නව රැකියා අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වීමත් සිදුවේ. නව ව්‍යාපාර ආරම්භයටද ශුභ වන වසරකි.

සෞඛ්‍යය : මෙම වසර තුළ සෙම් රෝග පීඩා මතු වන අතර පපුවේ මහන්සිය පවතින අය අනිවාර්යයෙන් පරිස්සම් විය යුතුය.

► වෘෂභ - දේපළ මිලදී ගැනීම් 

ලග්නාධිපති වූ සිකුරු සත්වැන්නෙහි තැන්පත් වෙමින්ද සෙනසුරු දසවැන්නේ තැන්පත් වෙමින් මාලවි යෝග බලයද ගෙන දෙමින් උදාවූ නව වසර ඔබට යහපත් මෙන්ම අයහපත් වූ ඵලද ගෙන දෙනු ඇත.

ගෘහ ජීවිතය : අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වුවද හදිසි ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකිය යුතුවේ. තමන් සමඟ සම්බන්ධකම් පවත්වනු ලබන අය සමගද හිත් අමනාපකම් ඇතිවනු ඇත. තමාගේ කලත්‍රයාටද හදිසි විපත් ගෙන දෙනවා ඇත.

ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමටද යහපත් වන්නාවූ කාලයක් වේ. ආගමික කටයුතුවලට වැඩිපුර නැඹුරු වන කාලයක් ද වේ. ගංගා මුහුදු ආශ්‍රිතව දිය නෑම් කිරීමේදී පරිස්සම් විය යුතු අතර ජල අනතුරුද ඇතිවන්නාවූත් කාලයක්ද වේ. ඔබගේ හිත මිතුරන් නිසා ඔබට යම් යම් අපහසුතා කරදර ඇතිවිය හැකි බැවින් මිතුරන් සමග කටයුතු කිරීමේදී විමසිලිමත්වන්න.

ආර්ථිකය : ව්‍යාපාරික කටයුතුවලදී නිතර ඔබට ඉතා යහපත් ඵල උදාකරන වසරක් වන අතර නව ව්‍යාපාර ආරම්භයටද ශුභ වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වූ අයටද තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

සෞඛ්‍යය : වකුගඩු රෝගවලින් පීඩා විඳින අය තම ශරීර සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු අතර උදරයේ පීඩාද ගෙනදෙනු ඇත. හෘද රෝගීන්ද පරිස්සම් විය යුතුයි.

►  මිථුන - ආගමික නැඹුරුව

ලග්නාධිපති වූ බුධ සිකුරු සමග යෝගව රෝගස්ථානයේ තැන්පත් වෙමින් උදාවන්නා වූ නව වසර ඔබට මිශ්‍ර ඵල ගෙන දෙනවා ඇත.

ගෘහ ජීවිතය : අවිවාහක අයට තමන්ගේ සිතට ගැලපෙන අයකු හමුවන වසරක් වන අතර පවුල් දිවියේ සමගියට බාධාවීම්ද ඇතිවන වසරකි. වැඩිපුර ආගමික කටයුතු සඳහා සහභාගි වන වසරක් වන අතර යම් යම් කටයුතුවලට විවිධ වූ අයගෙන් බාධාවක්  එල්ලවනු ඇත. විනෝද කටයුතු සඳහා සහභාගි වීමට අවස්ථාව උදාවනු ඇත. නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් සෑම කටයුත්තකදීම හොඳින් කල්පනාකාරී වන්න.

ආර්ථිකය : ව්‍යාපාරික කටයුතුවල නිරත ඔබට හදිසි පසුබැසීම්ද පාඩුද අත්වන වසරක් වන අතර රැකියා ස්ථානයේ මාරුවීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. විශාල අන්දමේ වියදම් දැරීමේදී මුදල් අනවශ්‍ය ලෙස වැයවී යා හැකි බැවින් ඒ ගැන සොයාබලා වියදම් කරන්න.

සෞඛ්‍යය : ස්නායු පීඩාද හෘදය ආශ්‍රිත පීඩාද ගෙන දෙන වසරක් වනු ඇත.

► කටක - අහිමි වූ දෙය අතට

ලග්නාධිපති වූ සඳු දෙවන භාවයේ තැන්පත්වද බ්‍රහස්පති දසවැන්නේ තැන්පත් වෙමින්ද සෙනසුරු අටවැන්න තැන්පත්වද උදාවූ නව වසර ඔබට යහපත් ඵල උදා නොකරනු ඇත.

ගෘහ ජීවිතය : විවිධ වූ පාර්ශ්වවලින් ඔබට නොයෙක් කරදර ඇතිවනු ඇත. යම් යම් කටයුතුවලට බාධා ඇතිවෙයි. විශේෂයෙන් ඉඩකඩම් රථවාහන මෙම වකවානුව තුළ මිලදී නොගත යුතුය. 

හදිසි ණය ගැනීම්ද නොකළ යුතු අතර ඔබගේ ස්වාමියාට හෝ භාර්යාවට ඉතා අයහපත් වූ වසරක් වන අතර හදිසි අනතුරු හා ලෙඩ රෝග බහුල වන වසරකි. ඔබ රැකියාවක් කරන්නේ නම් එම රැකියාවන් අහිමි වී යා හැකි වසරක්ද වේ.

ආර්ථිකය : ඔබගේ ව්‍යාපාරික කටයුතු මෙන්ම රැකියාවන්හිදී පසුබැසීම්ද ව්‍යාපාර කඩා වැටීම්ද සිදුවන අතර නොයෙක් හේතු නිසා ණය වන්නටද සිදුවෙයි. අනවශ්‍ය ලෙස ධන හානි වීම් සිදුවන අතර වියදම් පාලනය කරගත යුතු වසරක් වේ. ඔබට ඔබගේ ළඟින් සිටින හිතමිතුරන්ගෙන් විශේෂ උදව් උපකාරද හිමිවන අතර ඔබට අහිමි වූ යම් දෙයක් ලබාගත හැකිවන වසරක්ද වේ.

සෞඛ්‍යය : පෙනහළු හා හෘදය ආශ්‍රිත රෝගාබාධ ඇති අය පරිස්සම් විය යුතුයි.

► සිංහ - දරුවකු නිසා සතුට

ලග්නාධිපති වූ රවි අඟහරු සමඟ පස්වන භාවයේ තැන්පත් වෙමින්ද සෙනසුරු හත්වැන්නේ තැන්පත් වෙමින්ද උදා වූ නව වසර ඔබට යහපත් ඵල ගෙන දෙනු ඇත.

ගෘහ ජීවිතය : අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත්වනු ඇත. තම මතයට ක්‍රියා කරමින් විවිධ ජයග්‍රහණ අත්කර ගත හැකිවන අතර ඔබගේ උත්සාහය මත වැඩකටයුතු රාශියක් ඉෂ්ඨ කරගත හැකිවේ. 

අවිවාහක අයට මංගල යෝජනා ස්ථීර වීමත් පවුල් දිවියේ සමගිය වර්ධනය වීමත් සිදුවන අතර තම දරුවකුගේ ජයග්‍රහණයක් හේතුවෙන් සිත් සතුට ගෙන දෙන වසරක් වේ. අධ්‍යාපන කටයුතුවලදී තරගවලින් ජය ලබයි.

ආර්ථිකය : සේවා ස්ථානයේ යම් යම් බාධා වීම් ඇති වන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටින්න. නව රැකියා අවස්ථා උදාවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට යහපත් වසරක් වේ.
සෞඛ්‍යය : හෘදය හා උදර රෝග මතුවනු ඇත.

► කන්‍යා - අත්සන පරිස්සමෙන්

ලග්නාධිපති බුධ තුන්වැන්න සිකුරු සමග යෝගවෙමින්ද ලග්නගතව කේතු තැන්පත් වෙමින්ද උදා වූ නව වසර ඔබට එතරම් යහපත් නොවන වසරකි.

ගෘහ ජීවිතය : නිතර කේන්ති ගති ඇතිවන අතර පිටස්තර අයගේ ප්‍රශ්නද තමා වෙත පැමිණෙන නිසා කල්පනාකාරී විය යුතුය. තමන් විසින්ම කළ දෙයකින් අමාරුවේ වැටෙන කාලයක්ද වේ. ඔබගේ විවාහ අපේක්ෂාවන් කඩා බිඳ වැටෙන කාලයක් වන අතර ඔබ විවාහක අයකු නම් ඔබගේ කලත්‍රයාට හදිසි විපත් මාරක ගෙන දෙන වසරක් වේ. යම් යම් කටයුතුවලදී ලිපි ලේඛනවලට අත්සන් තැබීමක් කරන්නේ නම් ඉතා පරිස්සම් විය යුතු අතර ඒ හේතුවෙන්ම ඔබට කරදර ඇතිවන කාලයක්ද වේ. මෙම වසර තුළ ඔබ ඔබගේ නෑදෑයන්ගෙන් දුරස් වී සිටීමට උත්සාහ දරනු ඇත.

ආර්ථිකය : ඔබ කරගෙන යන රැකියාව ඒ අයුරින්ම කරගෙන යාමට හැකිවන අතර විදේශ ගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ වන වසරක්ද වේ.

සෞඛ්‍යය : හිසේ ඇතිවන රෝගාබාධ හා ඇස්වල පීඩාද මතුවන වසරක් වනු ඇත.

► තුලා - නිතර සතුටින්

ලග්නාධිපති වූ සිකුරු දෙවැන්නේ බුධ සමග යෝග වෙමින් උදා වූ නව වසර යහපත් ඵල උදාකරයි.

ගෘහ ජීවිතය : යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වන වසරක් වන අතර නිතර සතුටින් කාලය ගත කරනවා ඇත. ඔබගේ නිවසේ අලංකාර කටයුතු සිදුවෙමින් විසිතුරු දේවල් මිලදී ගැනීම්ද සිදුකරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත ඔබට උදාසීන ගති ඇතිවන අතර දුර ගමන් විදේශ ගමන් ද යෙදෙන වසරක් වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර පවුල් දිවියේ සමගියද පවතිනවා ඇත.

ආර්ථිකය : විශාල ලෙස මුදල් වියදම් කිරීමේදී කල්පනාකාරී විය යුතු අතර ව්‍යාපාරික කටයුතුවලින් දියුණුවද ඇතිවන අතර සේවා ස්ථානයේදී අන් අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කරන වසරක්ද වේ.

සෞඛ්‍යය : මුත්‍රා රෝගාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත.

► වෘශ්චික - නව ව්‍යාපාර අරඹයි

ලග්නාධිපති දෙවැන්නේ රවි සමග තැන්පත් වෙමින් උදා වූ නව වසර ඔබට යහපත් ඵල ගෙන දෙනු ඇත.

ගෘහ ජීවිතය : ලබාගත නොහැකිව තිබූ දෙයක් ඔබ සතු කරගත හැකිවනු ඇත. අලුතින් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටියේ නම් එය ඉටුවේ. නිවසට කොටසක් එක් කිරීමක් සිදුකිරීමටද යහපත් වන වසරක්ය. ඔබ ඔබගේ උත්සාහයෙන්ම කටයුතු රුසක් සාර්ථක බවට පත් කරගන්නා වූත් වසරක් වේ. අධ්‍යාපන කටයුතුවලට විදේශ ගතවීමට අපේක්ෂා කළ අයකු නම් තම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත හැකිවන වසරක්ද වේ. අවිවාහක අයගේ මංගල සිහිනය තවදුරටත් ප්‍රමාද වන අතර යම් බැඳීම් බිඳී යන කාලයක්ද වේ. පවුල් දිවියේ සමගිය ශක්තිමත් වනු ඇත.

ආර්ථිකය : ව්‍යාපාරික කටයුතුවල නිතර වන ඔබට යහපත් ඵල උදාවන අතර නව ව්‍යාපාර ආරම්භයටද යහපත් වසරක් වෙයි. රැකියාව වෙනස් කිරීමට අපේක්ෂාවෙන් සිටියේ නම් වෙනත් රැකියාවක් කරා යාමට සමත් වේ.

සෞඛ්‍යය : හෘදය ආශ්‍රිතව පීඩා විඳින අය පරිස්සම් වන්න.

► ධනු - විදේශ ගමන්

ලග්නාධිපති වූ බ්‍රහස්පති පස්වැන්නේ තැන්පත් වෙමින් උදා වූ මෙම නව වසර ඔබට යහපත් ඵල උදාකරනු ඇත.

ගෘහ ජීවිතය : ඔබ අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් සිටින වසරක්ද වේ. ඔබ ඉඩමක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එම අපේක්ෂාව ඉටුකරගත හැකිවනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වන වසරක් වන අතර දරුඵල අපේක්ෂාවෙන් සිටියේ නම් එම බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකිවනු ඇත. තමාගේ හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර විදේශ ගතවීමේ අපේක්ෂාද ඉටුවන්නා වූ වසරක් බවට පත්වනු ඇත.

ආර්ථිකය : රැකියා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යන වසරක් වන අතර වෙනත් ස්ථානයකට මාරුවක් අපේක්ෂා කළේ නම් එම අපේක්ෂාවන් ඉෂ්ඨ වන වසරකි. ව්‍යාපාරික කටයුතුවලටද යහපත්ය.

සෞඛ්‍යය : උගුර ගෙල ඇස් ආශ්‍රිත රෝග පීඩා මතුවනු ඇත.

► මකර - රැකියාවේ උසස්වීම්

ලග්නාධිපති වූ සෙනසුරු දෙවැන්නේ තැන්පත් වෙමින්ද, සඳු අටවැන්නේ තැන්පත් වෙමින්ද උදා වූ නව වසර ඔබට මිශ්‍ර ඵල ගෙන දෙනු ඇත.

ගෘහ ජීවිතය : නිතර සතුටින් සිටීමට හා විනෝද කටයුතු සඳහා වැඩිපුර කාලය ගත කරන වසරක් වේ. යම් යම් කටයුතුවලදී හිතේ දුක් ඇතිවන අතර ඔබගේ නිවසේ අලංකාර කටයුතු වෙනුවෙන් යම් යම් දේ මිලදී ගැනීම්ද කරනු ලබන වසරක් වේ. ගංගා මුහුදු ආශ්‍රිතව කටයුතු කරන අය ඉතා පරිස්සම් විය යුතු අතර ජලයෙන් අනතුරුද යෙදෙනවා ඇත. ආගමික කටයුතුවලට වැඩියෙන් නැඹුරුවන අතර දුර ගමන් විදේශ ගමන් යාමේ අදහස්ද ඉටුවෙයි. ඔබගේ කලත්‍රයාට හදිසි විපත්ද මාරකද ගෙන දෙන වසරක් වනු ඇත.

ආර්ථිකය : රැකියාවේ උසස්වීම් අපේක්ෂා කළ අයට යහපත් ඵල අත්වන අතර නව රැකියා අපේක්ෂා සඳහා බාධා මතුවනු ඇත. ව්‍යාපාර කටයුතුවලදීද ලාභ අඩුවන වසරක් වේ.

සෞඛ්‍යය : සෙම් රෝගාබාධ ඇතිවනු ඇත.

► කුම්භ - නීතිමය ගැටලු

ලග්නාධිපති වූ සෙනසුරු ලග්නගතව තැන්පත් වෙමින් උදාවූ මෙම වසර තුළ යහපත් ඵල වැඩියෙන් අත්වෙන නමුත් අයහපත් ඵලද ගෙන දෙමින්ද ගෙවී යනවා ඇත.

ගෘහ ජීවිතය : තම නෑදෑයන්ගෙන් දුරස් වී කටයුතු කිරීමට පෙළඹෙන වසරක් වේ. විනෝද කටයුතු සඳහා මුදල් වියදම් කිරීම්ද සිදුකරන කාලයක් වන අතර විදේශ ගතවීමේ අපේක්ෂාවන් ඉෂ්ඨ වනු ඇත. තමාගේ කටයුතුවලට විවිධ වූ සතුරු පීඩා ඇතිවීමත්, බාධා වීමත් සිදුවන වසරක් වේ. ඔබ පැවැත්වූ ප්‍රේම සම්බන්ධතාවයන් කැඩී යන අතර පවතින පවුල් දිවිය සමගියෙන් සිටීමට හැකි වසරක් බවට පත්වනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළයුතුය. දේශපාලන කටයුතුවල නිරත අයට ශුභඵල ගෙන දෙනු ඇත.

ආර්ථිකය : රථවාහන ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල ගෙන දෙන අතර ව්‍යාපාරික කටයුතු ආරම්භයටත් යහපත්ය. පවතින ව්‍යාපාර දියුණුවක් සිදුවෙයි. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත.
සෞඛ්‍යය : මුත්‍රා හා උදර රෝගාබාධ තත්ත්වයක් වර්ධනය වන වසරක්ද වේ.

► මීන - හදිසි කේන්තිගති

ලග්නාධිපති දෙවැන්නේ තැන්පත් වෙමින් උදා වූ මෙම වසර ඔබට යහපත් නොවන වසරක් වේ.

ගෘහ ජීවිතය : ඔබ කරන කටයුතු නිෂ්ඵල වන අතර හදිසි කේන්ති ගතිද නිතර ඇතිවේ. ඔබගේ කටයුතුවලට සතුරු උපද්‍රව ඇතිවනු ඇත. ඉඩකඩම් වාහන විකිණීමට යහපත් නොවන අතර පාඩු සහිතව විකිණීමට සිදුවනු ඇත. පවුලේ සාමාජිකයකු දුරස්වීමක් සිදුවේ. පවුල් දිවියේ සමගියට බාධාවීම්ද ඇතිවේ. අවිවාහක අය මංගල යෝජනා සඳහා ඉක්මන් නොවිය යුතුය. යම් යම් කටයුතුවලදී අලස ගති ඇතිවන අතර අධ්‍යාපන කටයුතුවලදීද පසුබැසීම් ඇතිවන වසරක් වේ.

ආර්ථිකය : ව්‍යාපාරික කටයුතුවලින් ලාබ අඩුවන වසරක් වන අතර නව ව්‍යාපාරයට යහපත් නොවේ. රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇතිවීමත් රැකියාව අහිමි වී යාමත් විය හැකිය.

සෞඛ්‍යය : වකුගඩු ආශ්‍රිත රෝග පීඩා වැඩිවනු ඇත.

දේශාභිමානී, කීර්ති ශ්‍රී ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, රාජ්‍ය නැකැත් කමිටු සාමාජික 
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28, ඔලබොඩුව, ගෝනපල.