2024 ජනවාරි 20 වන සෙනසුරාදා

ඔස්ට්‍රේලියාවේ රූ රැජිනට ඇඳුම් නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 66

ඔහු නමින් කුෂාන් නාමල් ජයසිංහ ය. මේ වන විට ඔහු ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේය. පසුගියදා පැවැති Miss Tourism තරගාවලියට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිරූපිකාවකගේ ඇඳුම් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකිකයකු වූ කුෂාන් නාමල් ජයසිංහට අවස්ථාව ලැබුණි.

''ඇත්තටම මේක මට ලැබුණු ගොඩක් වටිනා අවස්ථාවක්. ඒ වගේම ඒ තරගය මම ඇඳුම් නිර්මාණය කළ ඇයට ජයග්‍රහණය කරන්නට ලැබීම ගැනත් ලොකු සතුටක් තියෙනවා. මුලින්ම කාර්ලි (Karlee) මාව Intergram හරහා සම්බන්ධ කර ගත්තා. ඒ හරහා කාර්ලි මුලින්ම එයාගේ ජාතික ඇඳුම (National costume) නිර්මාණය කරන්න පුළුවන්ද කියල ඇහුවා. ඊටපස්සෙ මම ලංකාවට ගිහින් සති දෙකකට විතර පස්සෙ ආයෙමත් මාව සම්බන්ධ කරගෙන ඇයගේ සැන්දෑ ඇඳුමක් (evening wear) කරන්න පුළුවන් ද කියල ඇහුවා. මේ තරගය මැලේසියාවේදී 2023 අවුරුද්දෙ නොවැම්බර් මාසෙදි පැවැත්වුණා. ඒ අනුව ඇයගේ ඒ ඇඳුම් දෙකම මම නිර්මාණය කළා. ඒ තරගයෙන් ඇය හොඳම පස්දෙනා අතරට තේරුණා. ඒ අතරින් ඇයට 'Miss Tourism Global' සම්මානය හිමිවුණා.'' යැයි කුෂාන් නාමල් දේශයට පැවසීය

ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් මේ තරගයට ඉදිරිපත් වූයේ Karlee Davis ය. කුෂාන් ලංකාවේද ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ අයෙකි. පළමු වරට කුෂාන් ඔස්ට්‍රේලියාවේ සංචාරය කළේ 2019 වසරේදීය. ශ්‍රී ලංකාවේ වසර දහයක පමණ කාලයක් ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙසින් කටයුතු කළ කුෂාන් තම උපාධිය ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගියේය. ඔහු ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙසින් කලා ක්ෂේත්‍රයට යොමුවූයේ නිරෝෂා පෙරේරා හරහාය. පසුව ඔහු ප්‍රවීණ කලාකාරිනියක වූ මාලනී ෆොන්සේකා නිළි රැජිනගේ පෞද්ගලික ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙසින් වසර හතරක කාලයක් කටයුතු කළේය. එතැන් සිට ගෙවුණු වසර දහය පුරාවට ලංකාවේ ජනප්‍රිය, ප්‍රසිද්ධ ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් ළඟින් ඇසුරු කරමින් ඔවුන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙසින් කුෂාන් කටයුතු කළේය. ඒ අතරතුර ඔහු තම උපාධිය සම්පූර්ණ කිරීම සඳහා මෙල්බර්න් බලා ගියේය.

''මගේ ගම මාතර. මම ඉගෙන ගත්තේ මාතර රාහුල විදුහලෙන්. පුංචි කාලේ ඉඳන් මම ඇඳුම් නිර්මාණ ශිල්පයට ගොඩක් ආසා කළා. උසස් පෙළ අවසන් කළ සැණින් මම ඒ සම්බන්ධ ඩිප්ලෝමාවක් කළා. උසස් පෙළට ගණිතය විෂය ධාරාව හැදෑරුවා. ගණිතය විෂයෙන් උසස් පෙළ කරපු මම මේ ක්ෂේත්‍රයට යොමුවෙනවට මුලදි ගෙදරින් අකැමැති වුණා. ලංකාවෙ මෙය ලොකුවට පිළිගැනීමක් තියෙන ක්ෂේත්‍රයක් නෙවෙයි. නමුත් ලංකාවෙන් පිටට ගියාට පස්සෙ මේක ජාත්‍යන්තරව පිළිගත් ක්ෂේත්‍රයක්. රැකියාවක්. ඒකට හරි තේරුම් ගැනීමක්, අධ්‍යාපනයක් තවමත් ලංකාවේ නැහැ. කොහොම හරි ගෙදරින් අකැමැති වෙද්දිත් මම උසස් පෙළ අවසන් කරලා අවුරුදු එකහමාරක ඩිප්ලෝමාවක් කළා. ඒක කරද්දි මට නිරෝෂා පෙරේරාව මුණගැහුණා. ඒ වෙද්දි ඇය එක්තරා නාළිකාවක පැවැති තරගාවලියක නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එහි අවසන් තරගය දා අඳින්න ඇඳුම් තුනක් මට නිර්මාණය කරන්න අවස්ථාව ලබා දුන්නා. එදායින් පසුව වසර දහයක් මම කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් එක්ක වැඩ කළා.'' යැයි කුෂාන් නාමල් ජයසිංහ වැඩිදුරටත් පැවසීය.

කුෂාන් පහ වසර ඉගෙනුම ලබන අතරතුර ලංකාවට පැමිණියේය. කුඩා කල සිට ඔහු හැදී වැඩුණේ සෞදි අරාබියේය. ඒ රටේ ද ඇඳුම් නිර්මාණ කර්මාන්තය ඉතා ඉහළින් පැවතිණි. එරට මිනිසුන් අතේ මුදල් ගැවසිණි. ඔවුහු වැඩි වශයෙන් සුඛෝපභෝගී විලාසිතා (Luxury fashion) සඳහා වියදම් කළහ. කුඩා කල සිටම කුෂාන් මේ විලාසිතා දුටුවේය. ඒ නිසාම එකල සිටම ඔහුගේ කැමැත්ත විලාසිතා කර්මාන්තය වෙත ඇදී ගියේය. එකල ඔහු ප්‍රිය කළ කිසිදු නිර්මාණ ශිල්පියකු ඔහු ලංකාවට පැමිණෙන විට සිටියේ නැත. නමුත් ඔහු ඇඳුම් නිර්මාණ ශිල්පය ගැන ඉගෙනීමට ඇලුම් කළේය. වසර ගණනාවක්ම මේ සම්බන්ධයෙන් හැදෑරීම පිළිබඳ කුෂාන් සොයා බැලීය. නමුත් අවසානයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා මෙල්බර්න් යාම කුෂාන්ගේ තීරණය විය. 
මෙල්බර්න් ගිය කුෂාන් තම උපාධිය සම්පූර්ණ කළේය. 2022 වසරේදී ඔහු Melbourne fashion week සඳහා තේරුණේය. ඒ සඳහා සුදුස්සන් තෝරාගන්නා ලද්දේ බෙල්බර්න් සභාව (Melbourne Council) විසිනි. ''Melbourne fashion week'' යනු කිසිවකුට මුදල් ගෙවා ඇතුළත් විය හැකි තරගයක් නොවේ. බෙල්බර්න් සභාව මගින් සම්මුඛ පරීක්ෂණ කිහිපයක්ම පවත්වා fashion week තරගයට තෝරා පත්කර ගැනීම් සිදු කරයි. 2022 වසරේදී කුෂාන් නාමල් ජයසිංහ ද මෙල්බර්න් සභාව මගින් තෝරාගනු ලැබුවේ එලෙසය. 2022 වසරේදී එම තරගය සඳහා දකුණු ආසියානු රටවලින් සහභාගි වූ එකම තරගකරුවා වූයේ කුෂාන් ය. ඉන්දියාව යනු ලංකාවට වඩා ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් සිටින රටකි. එවැනි රටකින් ද මෙම තරගයට සුදුසුකම් ලත් තරගකරුවකු එම වසරේදී සිටියේ නැත. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ ඇඳුම් නිර්මාණ කලාවට විශාල කීර්තියක් අත්කර දුන් අවස්ථාවකි.

''එම තරගයේදී මම සීගිරිය ආශ්‍රිත නිර්මාණ ඉදිරිපත් කළා. එහිදී ඒ සඳහා විශාල ඇගයීම් ලැබුණා. Karlee Davis ටත් මාව යෝජනා කරල තිබුණේ මෙල්බර්න් සභාව විසින්. Miss Tourism තරගයට Karlee තේරුණාට පස්සේ ඒ වෙනුවෙන් ඇඳුම් නිර්මාණ ශිල්පියකු ගැන සොයද්දී මෙල්බර්න් සභාව මාව යෝජනා කරල තිබුණා. Karlee මට කතා කළා. ඔය අතරේ මම ලංකාවේ බොහෝ රංගන ශිල්පිනියන්ව ආශ්‍රය කරනවා. මම ඔවුන් එක්ක මේ ගැන කතා කළා. ඒ වෙද්දි මට කවදාවත් ලංකාව නියෝජනය කරපු Miss Sri Lanka කෙනකුට ඇඳුමක් නිර්මාණය කරල තිබුණේ නැහැ. එවැනි අවස්ථාවක් මට ලැබිලා තිබුණෙ නැහැ. ඒ අතර මට ඔස්ට්‍රේලියානු කාන්තාවකට ඇඳුම් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා ඒ හැම කලාකාරියක්ම මේ අපූරු අවස්ථාව උපරිමයෙන්ම කරන්න කියල ආශිර්වාද කළා. සුබ පැතුවා. ඔස්ට්‍රේලියාව කියන්නෙ මහද්වීපයක්. එවැනි තැනක් නියෝජනය කරන තරගකාරියකගේ ඇඳුමක් නිර්මාණය කිරීම ලොකු අවස්ථාවක්. ඒ නිසා මම Karlee ගේ ඇඳුම් නිර්මාණ දෙක කරන්න බාරගත්තා.'' යැයි කුෂාන් නාමල් දේශයට වැඩිදුරටත් පැවසීය.

Karlee ගේ ජාතික ඇඳුම නිර්මාණය කිරීමේදී කුෂාන් රටේ අනන්‍යතාවය සම්බන්ධයෙන් සැලකිලිමත් වූයේය. එහිදී ඒ රටේ කතාවක් කිව යුතු වේ. Karlee හා කුෂාන් මුණගැසී ඒ සම්බන්ධයෙන් කතාබහ කළහ. ඔස්ට්‍රේලියාවේ කොරල්පර ජාතික වස්තුවක් සේ සැලකේ. ඒ නිසාම එයින් කතාවක් කියැවෙන සේ ඇඳුමින් කොරල්පර නියෝජනය කර තිබිණි. එහිදී කොරල්පරවල සිටින මසුන්, මුහුදු අශ්වයන් ආදිය එලෙසින්ම එම්බ්‍රොයිඩර් කරනු ලැබීය. එම කොරල්, මුහුදේ රුලි පෙනෙන අන්දමින් මුහුද දුටු මොහොතේම ඒ කතාව කියැවෙන ලෙසින් ඇඳුම නිර්මාණය විය. Karlee ගේ සවස් යාමේ ඇඳුම නිර්මාණය කරද්දී ඇයගේ පෙනුම, සුන්දරත්වය ඉස්මතු වන ලෙසට ඇඳුම නිර්මාණය විය. Karlee ඉතා සුන්දර සුදු පැහැති තරුණියකි. ඒ නිසාම ඇයට ගැලපෙන සේ රතු පැහැති අපූරු ඇඳුමක් කුෂාන් ඒ සඳහා නිර්මාණය කළේය.

''මගේ ඇඳුම් නිර්මාණ දෙකටම Karlee ගොඩක් සතුටු වුණා. ඔස්ට්‍රේලියාවේ වගේ රටක ඒ වගේ තරගයක් දිනපු කෙනෙක් නොමිලේ ඡායාරූපවලට පෙනී සිටින්නේ නැහැ. නමුත් තවමත් ඇය මට ඒ හැම ඡායාරූපයක්ම නොමිලේ කරල දෙනවා. ඒ තරමට අපේ හිතවත්කම ගොඩක් ප්‍රබලයි. එයාගේ ජයග්‍රහණයට ලොකු බලපෑමක් වුණේ ඇඳුම කියලයි Karlee කියන්නෙ. සති දෙකක් ඇතුළත අපි නිර්මාණය කරපු ඒ ඇඳුම් දෙකට එයා ගොඩක් කැමැති වුණා. මේ දිනුමත් සමඟ ඉදිරි තරගවලට ඉදිරිපත් වන තරුණියන්ගෙන් විශාල ඉල්ලුමක් මට දැන් තියෙනවා. ඉතින් ඒ ගැන සතුටුයි.'' යැයි ද කුෂාන් නාමල් ජයසිංහ පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00