2017 ජුනි 17 වන සෙනසුරාදා

කළු කුමාර තෙල හිඳිද්දී භූතයෙක් කෑගැහුවා

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 550

“ඒ වාගේ අසාධ්‍ය රෝගීන් සුවපත් කරන්න යොදාගන්නා ඖෂධ මොනවාද?”යි දිසානායක මහතාගෙන් විමසූ විට දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ඒ වාගේ ඖෂධ තෙල් ගොඩාක් තියෙනවා. අපේ වෙදකමේ හැටියට ඒවා කියන්නේ නෑනේ. සන්නි බස්ස තෛලය, කළුකුමාර තෛලය වාගේ බෙහෙත් හරිම බලගතුයි. තුන් දොස්වලින් හටගන්නා රෝග හැත්තෑවක් මේ සන්නි බස්සේ තෛලයෙන් සනීප කරන්න පුළුවන්. සිංහල පැය හයක් ඇතුළත සනීප කරන්න ඒ තෛලයෙන් බැරිවුණොත් වෙදකම අත්අරින්න තමයි අපට කියලා තියෙන්නේ. ඒ කියන්නේ රෝගියා මැරෙනවා. මේ තෛලය සිඳගන්න මළමකුළු, බිම්මුල්, නොච්චි වාගේ ඖෂධ පැළෑටි තිස් පහක් තියෙනවා. සමහර පැලෑටිවල මුල් නම් මුල්. කොළ නම් කොළ. තව කස්තුරි හා ගංජාත් මේ තෙල සිඳින්න ගන්ඩ ඕන.”

“අතපය හිරිවැටීම, කොරවීම, බීරි සන්නිය, දත් කැක්කුම වාගේ රෝගවලට මේ සන්නි බස්සේ තෙල යොදාගන්නවා. කළුකුමාර තෛලයත් මහා බලගතු තෙලක්. භූත බලවේග මඟින් හටගන්නා රෝගවලට යොදා ගන්නවා. ඔය බඩදරු අම්මලාට බබා හම්බවෙන්න පමා නම් මවගේ කම්මුලේ, කිහිල්ලේ, ඉකිලිවල කියන තුන් තැනේ මේ තෙල් ගෑවාම බබා ලැබෙනවා. මේ ගමේ බොහෝ අයට මං ඒ ප්‍රතිකාරය කරලා තියෙනවා.

පිළිකා රෝගයටත් අපේ පාරම්පරික වෙදකමේ ප්‍රතිකාර තියෙනවා. අපේ වෙද පොත්වල හැටියට පිළිකා රෝග වර්ග 4484ක් තියෙනවා. බෙහෙත් කඳට දීලා, තෙල් ගාලා, තවලා පිළිකාවේ මුල් මුලින්ම මරන්න ඕන. ඊට පස්සේ තමයි ප්‍රතිකාරවලට යන්න ඕන. ඔය පොතුහැර පැත්තේ අසාධ්‍ය පිළිකා රෝගියෙකුත් මම වෙදකම් කරලා සනීප කළා.”
ඇතැම් වකුගඩු රෝග බටහිර නවීන වෛද්‍ය විද්‍යාවටත් සුවපත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපේ පාරම්පරික වෙදකමෙන් එවැනි රෝගත් සුවපත් කරන්න පුළුවන් කියා ඔබ කියනවා. ඒ ගැනත් කථාකරමු නේද?

“මේ වනවිට මම වකුගඩු රෝගීන් දස දෙනකු විතර නිට්ටාවටම සනීප කරලා තියෙනවා. පුහුල් කල්කය කියන බේතක් තමයි මම දෙන්නේ. දවස් හතළිහක් බොන්න බෙහෙතක් දෙනවා. ඊට පස්සේ තව කැඳක් දෙනවා බොන්ඩ. ඔය අතර වෙනත් ප්‍රතිකාරත් කරනවා. ඊට පසුව වෛද්‍යවරයකු ළඟට ගිහින් පරීක්ෂා කරගන්න කියනවා. මගෙන් ප්‍රතිකාර ගත්ත අය වෛද්‍යවරයාගෙන් පරීක්ෂා කරගෙන ඇවිත් කියනවා දැන් රෝගයක් නෑ කියලා.”

“ඔය වකුගඩු රෝග මර්දනය කිරීමේ ශක්තියක් එදා අපි ගත්තු කෑමවල තිබුණා. අපේ ගම්වල ඒ කෑමෙන්, බීමෙන් වකුගඩු රෝගය ඉබේම පාලනය වුණා. මට මතකයි එදා අපේ අම්මලා පොල්කිරි වෙනුවට කැකිරි ඇට අඹරල තමයි වෑංජනවලට දැම්මේ. ඒක රෝග පාලනය කරන්න හිතාගෙන කරපු දෙයක් නෙමෙයි. ඒ කාලේ පොල් හිඟයි. ඉතින් පොල් කිරි වෙනුවට කැකිරි ඇට අඹරලා ගත්තා. ඒ වාගේම කැකිරි තියෙන කාලයට ඒවා කෑලිවලට කපලා තම්බලා අව්වේ දාලා වේලලා තියා ගන්නවා. වැහි කාලයට ඒවා උයලා ආහාරයට ගත්තා. මේ දේශීය කැකිරිවලට වකුගඩු රෝගය පාලනය කරන්න පුළුවන්. මමත් වකුගඩු රෝගීන්ට බෙහෙත් හදන්න කැකිරි ඇට යොදාගන්නවා. මුලින්ම දෙන්නෙත් කැකිරි ඇටවලින් හදාපු බෙහෙතක්.”

ඔබට නිශ්චය කරගන්න නොහැකි රෝග හඳුනා ගැනීමට අඳුනක් භාවිත කරන බව කීවා. මේ අඳුන හදාගන්නේ කොහොමදැයි?

“අඳුන හදා ගන්නෙත් බේත්වලින්මයි. බෙහෙත් පැළෑටි, වැල්, ගස් ආදියෙහි පස් පංගුවම යොදාගන්නවා. හඳ රාහු අල්ලන දවස්වලට තමයි බෙහෙත් පැළෑටි හරි කොළ, පොතු, මල් හරි ලබාගන්නේ. ඒ වෙලාවටම බෙහෙත් පැළෑටි සොයාගන්න අමාරු නිසා ඊට කලින් හොයාගෙන තියෙන තැන මතක තියාගෙන ඉන්නවා. පැළෑටිය හරි ගස් පඳුරු හරි පේ කරලා තියාගන්න ඕන. බේත් කොළ කඩන්නෙත් පිටි අල්ලට. චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරලා තමයි ඒ කටයුතු සිදුකරන්නේ.”

සොයාගත් බේත් වර්ග අඹරන විට ඇඹරුම් ගල යටට රිදී කාසියක් දානවා. බේත හරියටම හරි ගිහින් නම් ඇඹරුම් ගල පලාගෙන අර රිදී කාසිය පේන්න ඕන. එහෙම පේන්නේ නැත්නම් අඳුන පදම් වෙලා නෑ.

“අඳුන හදා ගත්තට පස්සේ ඒක ජීවම් කරලා අහවල් තැනට යන්ඩ. අහවල් දේ බලන්ඩ කීවාම අංජනම් දේවි ඒ අදහස් ඉෂ්ට කරලා දෙනවා. එක එක වර්ගයේ අඳුන් තියෙනවා. මගේ ළඟ තියෙන්නේ වෙද අඳුන. මේ අඳුනට කම්බිලි මුත්තා (කම්මිලි දෙවියා) තමයි වඩමවන්නේ.”

“ඔය බලගතු තෙල් වර්ග සිඳින විට ආශ්චර්යවත්, අද්භූත සිදුවීම් වෙනවා කියා ඔබ කීවා. ඔබ ලැබූ එවැනි අත්දැකීම් ටිකක් ගැනත් කියමු නේද?”

“දවසක් මහ කළු කුමාර තෛලය සිඳින්න ඖෂධ පේ කරමින් සිටියා. ඔය තෙල සිඳින්න ඖෂධ වර්ග 272ක් ගන්නවා. ඒවා එකින් එක අරන් පේ කරන්න (කැප කිරීම, ශුද්ධත්වයට පත් කිරීම) ඕන. අපි එදා දහතුන් දෙනෙක් හිටියා. ඖෂධ වර්ග පේ කරද්දි තේක්ක ගහ උඩ ඉඳන් හඬක් ආවා “ඕක අල්ලලා විසි කරපන්. මිනිස්සු මරන්නද හදන්නේ කියලා.” ඒ කතාව එතන හිටපු ඔක්කොටම ඇහුණා. අපි හිතුවේ කවුරු හරි කෙනෙක් විහිළුවක්වත් කරනවා ඇති කියලා. ඒ නිසා ටෝච් ගහලා ගහ උඩ බැලුවා. කවුරුත් පේන්න හිටියේ නෑ. තුන් සැරයක් ඒ කතාව කීවා.”

“මට ඖෂධ වර්ග දිහා බැලුවා. එතැන නියම ඖෂධ පැළෑටි වර්ගයක් වෙනුවට ආදේශකයක් තිබ්බා. අර ගහ උඩින්ම ඊට පස්සේ ඇහෙනවා ඕකට ඕන පැළෑටිය වම්බටුවාවෙල ගොඩ අක්කරේ තියෙනවා කියලා. ගිහින් බලද්දි ඇත්තටම තියෙනවා. අපි ඒක ගලවාගෙන ඇවිත් තෙල් සිඳගත්තා. ඔය වාගේ අදෘශ්‍යමාන බලවේග තියෙනවා.”

“තව දවසක් අපි තෙලක් සිඳිමින් හිටියා. තෙල් සිඳිනකොට පිරිත් කියන්න ඕන. පිරිත් කියන අයට පිරිත වැරදුණා. කොහේදෝ හිටපු නයෙක් ඇවිත් මතුවුණා. ඒ අය මට කතා කරලා මේ ගැන කීවා. මම ගිහින් දුම්මල අහුරක් මතුරලා නයා දෙසට වීසි කළා. ඌ යන්න ගියා. සමහර අවස්ථාවල තෙල් මුට්ටිය පෙරළන්න හැදුවා. හරක් වාගේ සත්තු එනවා.  ඔය වාගේ දේවල් සිද්ධ වෙනවා.”

“ඔය බලගතු තෙල් සිඳින විට උඩට වියන් බැඳලා තමයි තෙල් සිඳින්නේ. ඒ වියන අල්ලා ගන්න ශක්තිමත් අය ඉන්න ඕන. අපේ වෙද පොත්වල තියෙන්නේ ටැං කඩාපු (කනු කඩාපු) ඉලන්දාරි දහයක්වත් හොයාගන්න කියලා. තෙල් සිඳිනකොට නොපෙනෙන බලවේග මගින් වියන ඇදලා ගන්නවා. වියනට ගොම වීසි කරනවා. සමහරු මේවා විශ්වාස කරන එකක් නෑ. ඒත් මගේ අත්දැකීම් අතර ඒ සිද්ධි වෙලා තියෙනවා.”

“මාරාන්තික රෝග පවා සනීප කරන මේ තරම් බලගතු තෙල්වර්ග හා වෙදහෙදකම් පාරම්පරික වෙදෙකමේ තියෙනවා කියලා ඔබ කියනවා. ඒත් අද මේ වෙදකමේ බලගතු කම් බිඳිලද?

මේකනේ. අද හැම දෙයක්ම මුදල් මතනේ තීරණය කරන්නේ. තෙල් දාන්න කුප්පි ටිකක් අහුලලා දෙන්න කීවොත් එයා අහන්නේ (උඹ මට කීයක් දෙනවද) කියලා. ඕකයි තත්ත්වය. මේ හෙළ වෙදකමට ශ්‍රමය ගොඩක් ඕන. බෙහෙත් පැළෑටි හොයන්න, තෙල් හිඳින්න වාගේ කටයුතු එදා සහයෝගයෙන්, කට්ටිය එකතු කරගෙන කළේ. බෙහෙත් සඳහා ගන්න ඖෂධ තම්බලා පැහැට දාලා මිරිකාගෙන නැවත රත්කරපු තිරිවානා ගල් තෙල් භාජනයට දාලා පදම් කරගෙන තමයි අවසානයේ රෝගීන්ට දෙන්නේ. මේවා හරියට කළේ නැත්නම් ඒ තෙල්වලින් හෝ කල්කවලින් වැඩක් නෑ.”

“අනික බෙහෙත් පැළෑටි අද හිඟයි. මිලදී ගන්න තියෙන දේවල්වල මිල අධිකයි. කස්තුරි කළඳක් අද රුපියල් දෙලක්ෂ දහදාහක් විතර වෙනවා. ඉන්දියාවෙන් ගෙන්න ගන්න ඕන. කංසා මිල ඉහළයි. ඉතින් මේ නිසා සමහරු නියමිත ප්‍රමාණයට බෙහෙත් වඩියට ඒවා දාන්නේ නෑ. ඖෂධයේ ගුණාත්මක බවක් නෑ. එක තෛලයක් හරියට සිඳිනවා නම් රුපියල් ලක්ෂ පහක් විතර වියදම යනවා. තෙල් බෝතල දෙක තුනකට වඩා ගන්නත් බෑ. ඉතිං සමහරු එහෙන් මෙහෙන් තෙල් ටිකක් හිඳගෙන වෙදකම අද විකුණාගෙන කනවා. අපේ සිංහල වෙදකම ලාභ ගන්න කරන ව්‍යාපාරයක් බවට අද පත් කරගෙන. අපේ කිරි අත්තලා කීවේ වෙදකම් කරලා පනම් අටක්වත් ගන්න හොඳ නෑ කියලා.”
හෙළ වෙදකමේ යටගියාව හා එහි අනුහස් පිළිබඳව ඔහු කී කතා විස්මයත් අපූර්වත්වයත් පිළිබඳව අතීත කියැවීමකට අපට අඬගසයි.

♦ කතාව හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර