2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ව්‍යාපාර දියුණු කරන්න සුපිරි මඟපෙන්වීමක්

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

රටක දියුණුව රඳාපවතින මූලිකම සාධකය ලෙස එරට කර්මාන්ත අංශය හඳුන්වන්න පුළුවන්. කර්මාන්ත ආරම්භ කරන්නෙ ව්‍යවසායකයන්. ව්‍යවසායකයන් කර්මාන්ත ආරම්භ කිරීමත් සමඟ රට තුළ නව රැකියා අවස්ථා උත්පාදනය වෙනවා. කර්මාන්ත වැඩිවන රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා වගේම රටවැසියන්ගෙ ජීවන තත්ත්වයත් ඉහළ යනවා.

ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කියන්නෙ රට තුළ නව ව්‍යවසායකයන් සහ නව කර්මාන්ත ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී ආයතනයක්. ඔවුන් නව ව්‍යවසායකයන් වෙනුවෙන් බොහෝ දෑ සිදුකරමින් ඉන්නවා. අපි විටින් විට ඔබට ඒ පිළිබඳ තොරතුරු ඔබත් එක්ක බෙදා ගත්තා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව අංශය මගින් ව්‍යවසායක ඔබ වෙත ලබා දෙන සුවිශේෂී අවස්ථා කිහිපයක් පිළිබඳව. 

මේ කතාබහට අප සමඟ සම්බන්ධ වුණා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව අංශයේ අධ්‍යක්ෂ රේණුක ජයලත් මහත්මිය. අපේ කතාබහ ඇරඹුණේ නව ව්‍යවසායකයන් වෙත IDB ආයතනය ලබා දෙන පහසුකම් පිළිබඳ සංවාදයකින්.
“පාසල්, විශ්වවිද්‍යාල හැරගිය දරුවන්ට, විදේශගතවෙලා ඉඳලා ලංකාවට එන අයට වගේම හමුදා සේවයෙන් ඉවත් වුණු අයටත් අපි එක්ක එකතු වෙන්න පුළුවන්. අපි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා ‘තිරසර ව්‍යවසායකත්ව සංවර්ධන ප්‍රවේශය’ (Sustainable Entrepreneurship Development Approach) නමින් වැඩසටහනක්."

රේණුක ජයලාල් මහත්මිය පෙන්වා දෙන ආකාරයට මෙය ආරම්භක වැඩසටහනක් (Start-up Program). ව්‍යවසායකයන් බවට පත්වීමට කැමැත්තෙන් පසුවන පිරිස් වෙත මෙහිදී දැනුම සම්පාදනය කෙරෙනවා. මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වන පිරිස් වෙත දින 10 පුහුණු වැඩසටහනක් සඳහා අවස්ථාව උදාවෙනවා.

“අපි ව්‍යාපාර සම්බන්ධ සම්පූර්ණ අවබෝධයක් ලබා දෙනවා. ඒ අයගේ ව්‍යාපාර සැලසුම් සකස් කරවනවා. ව්‍යාපාර තුළදී තමා ළඟා කරගත යුතු අරමුණු, වසරෙන් වසරට ඒ අය සාධනය කරගත යුතු ඉලක්ක සකස් කරනවා. ඒ වගේම ව්‍යාපාර සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා ගැනීමට උදව් කරනවා"

නව ව්‍යවසායකයක් ආරම්භ කිරීමේ කැමැත්තෙන් පසුවෙනවා නම් මෙම වැඩසටහන ඔබට අතිශය වැදගත් බව සහතිකයි. තමන්ගෙ ව්‍යාපාර සඳහා විෂය ප්‍රවීණයන්ගේ සහයෝගය මේ වැඩසටහන හරහා ලබාගන්න පුළුවන්.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අත දීමට සූදානමින් සිටින්නෙ ආරම්භකයන්ට පමණක්ම නොවෙයි. දැනට ව්‍යවසාය පවත්වාගෙන යන ව්‍යවසායකයන්ටත් ඔවුන් අත දීමට සූදානමින් ඉන්නවා. ඒ සඳහා සැලසුම් කර ඇති වැඩසටහන "Sustainable Entrepreneurship Development Approach – scale up”

“අපේ රටේ ව්‍යවසායකයන්ගෙන් ඉතා පොඩි ප්‍රතිශතයක් තමා ඉහළම මට්ටමට ගිහිල්ලා තියෙන්නෙ. බොහෝ අය ඉන්නවා පටන් අරගෙන අවුරුදු දෙකක් තුනක් ගතවෙලා. ඒත් ගමන බොහොම හෙමින් යන්නෙ. ඒ අය දන්නෙ නැහැ ඒ අයගෙ ගැටලුව මොකක්ද කියලා. අපි ඒ අයව අරගෙන බලනවා ඒ අයගේ ගැටලුව මොකක්ද කියලා" 

මෙම ව්‍යවසායකයක් මුහුණ දී සිටින ගැටලුව උපදේශකයන් විසින් හදුනාගනී. උදාරණයක් ලෙස ගැටලුව අලෙවි කිරීම හෝ තාක්ෂණය පිළිබඳ ගැටලුවක් විය හැකියි. ගැටලුව හඳුනා ගැනීමෙන් පසු අදාළ විසඳුම් යෝජනා ඔවුනටම සකසා ගත හැකියි.
“මේක දවස් පහක ප්‍රෝග්‍රෑම් එකක්. තාක්ෂණික ගැටලුවක් තිබෙනවා නම් අපි ඒ පිළිබඳ හොයලා බලලා අදාළ විසඳුම් සහ සහයෝගය ලබා දෙනවා. මූල්‍ය ගැටලුවක් තියෙනවා නම් යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නම් ඒ පිළිබඳ හොයා බලලා ඒවා මිලදී ගැනීමට අවශ්‍ය සහයෝගයන් සැලසුම් ලබා දෙනවා" 

මෙම වැඩසටහන් ද්විත්වයම ව්‍යවසායකයන් වෙත සුබ ආරංචියක් බව සඳහන් කළ යුතුයි. කර්මාන්ත දියුණු කිරීමට වැඩසටහන් ඍජු දායකත්වයක් ලබා දෙනවා. නව රැකියා අවස්ථා උත්පාදනය වෙනවා සේම, නිෂ්පාදන ආර්ථිකය සවිමත් වීම සිද්ධ වෙනවා. “මේ වැඩසටහන් දෙකෙන්ම රටේ නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය සාර්ථක ව්‍යවසායකයන් නිර්මාණය කරනවා. නිෂ්පාදනය වැඩිවීම රටේ අපනයනය සංවර්ධනය. තව පැත්තකින් රැකියාව උත්පාදනය වෙනවා. මේ වැඩසටහන හැම පැත්තකින්ම රටට යහපත් විධියේ බලපෑම් එල්ල කරනවා"

සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශය ව්‍යවසායකයන් වෙත ණය ලබාදීම සඳහා ද වැඩසටහන් කිහිපයක්ම දියත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් සමඟ පුංචි ව්‍යවසායකයන්ට සියයට 6ක ණය ලබාදීමේ වැඩසටහන මේ වන විටත් කාර්මික සංවර්ධන මණ්ඩලය ආරම්භ කොට තිබෙනවා. 

“දැන් මේ වැඩසටහන මාස හත අටක ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මේ ලිපිය කියවන පුංචි ව්‍යවසායකයන්ට පුළුවන් මේ ණය පහසුකම් ලබාගන්න. රුපියල් ලක්ෂ පහක් දක්වා ණය ලබාදීමට කටයුතු කරනවා. කාරක ප්‍රාග්ධනයට හෝ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට මෙම ණය ලැබෙනවා"

පෞද්ගලික බැංකු සමඟ ව්‍යවසායකයන් සඳහා ණය ලබාදීමට සාකච්ඡා සිදුවන බව රේණුකා ජයලත් මහත්මිය අප සමඟ සඳහන් කළා. සමස්තයක් ලෙස මෙම සියලු වැඩසටහන් හා සම්බන්ධ වීමේ අවකාශය දැන් ඔබ වෙත ඇති බව අප සිහිපත් කරනවා. 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00