චීනයේ තියැන්ජින් නගරයේ කිෂියැන් තායි මාර්ගයේ ඇවිදගෙන යන අතර අංක 22 දරන ස්ථානය මතක තබා ගත යුතුය. එයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් සිය ගණනක් එහි වෙසෙන හෙයින්ය. මේ කතා කරන්නේ මහජන චීනය බිහිවීමෙන් පසු එරට අනුමැතිය ලත් පළමු වෛද්‍ය පීඨය ගැනය. තියැන්ජින් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට එපමණ දීර්ඝ ඉතිහාසයක් තිබේ. සහෝදර මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ එහි යන විට වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු සිසුන් අතර ක‍්‍රිකට් තරගයක් පැවැත්වෙමින් තිබිණ. එක තැනක රගර් ක්‍රීඩා කරන සිසුන්ය. සිසුවියෝ නෙට්බෝල් හෝ බැඩ්මින්ටන් ක‍්‍රීඩා කරමින් සිටිති. ඉගෙන ගන්නා අතරවාරයේ ලැබුණ සුළු අස්වැසිල්ලක නමුත් එහි තිබුණේ චීනයට පමණක් නොව මුළු ලෝකයේ ම නොයෙක් රටවලට පොදු ක‍්‍රීඩා ඉසව්ය. එයට හේතුවක් තිබේ. තියැන්ජින් වෛද්‍ය පීඨයේ ලෝකයේ රටවල් දහ අටක දරුවෝ ඉගෙන ගනිමින් සිටිති. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කර තිබුණ බෙයිජිං සංචාරයේ දී තියැන්ජින් වෛද්‍ය පීඨය නිරීක්ෂණය කරන්නට අවස්ථාවක් වෙන් කර තිබිණ.
චීන තානාපති යී ෂියැංලිංග් මහතාගේ මෙහෙයවීම අනුව මෙම සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ එහි කාර්යභාර නිලධාරී සහන් මහතාය. ක්ෂියැන්බින්ග් මෙරටට එන විට බෙයිජිං විශ්ව විද්‍යාලයෙන් සිංහල ඉගෙන ගත් අතර ඔහුට ලැබුණ සිංහල නම සහන්ය. චීනයේ දී ඔහුගේ නිල නමය. කොළඹින් පිටත්ව චීනයේ චෙන්ඩු ගුවන් තොටුපොළට පැමිණ එම නගරයේ දින දෙකක් ගත කළ මාධ්‍ය නියෝජිත පිරිස පසුව අග නගරය වන බෙයිජිං බලා පිටත්ව ගිය අතර වැඩසටහනේ තිබුණ කාලීන අංගයක් වූයේ තියැන්ජීන් වෛද්‍ය පීඨය දැකබලා ගැනීමේ අවස්ථාවයි.
බෙයිජිං හි නතර වී සිටි කුන්තායි හෝටලයේ සිට දුම්රිය ස්ථානයට පිටත්ව ගියේ විශ්ව විද්‍යාලයේ පසුබිම හා දුම්රිය ගමන ගැන පූර්ව අවබෝධයක් ඇතිවය. බෙයිජිං හි සිට කිලෝ මීටර් දෙකක් එපිටින් දුම්රිය ස්ථානය පිහිටා තිබුණි. එහි තිබුණේ ගුවන්තොටුපොළක ස්වභාවයකි. නිල ඇඳුම් වලින් සැරසුණ “කෝච්චි සේවිකාවෝ” ටිකට් පත් මිල දී ගත් අප පමණක් නොව චීනයේ පුරවැසියන් ද දුම්රියට නංවන ලද්දේ හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත‍්‍රය අනුව ටිකට් පතේ නම සඳහන්දැයි හොඳහැටි බලමින්ය. දුම්රියට බෙයිජිං සිට තියෑන්ජින් යන්නට සැතපුම් 150 කට වඩා දුර ගමන් කරන්නට නියමිත විය. ප‍්‍රවේශ පත‍්‍රය යුවාන් තුන්සිය අසූවකි. රුපියල් වලින් නම් අට දහස් පන්සියයකට ආසන්නය. යන්නට එන්නට රුපියල් දාහත් දහසකි. ඒවා හිතින් ගණන් බලන්නට කලින් දුම්රිය ගමනාන්තයට ඇවිත්ය. වරින්වර දුම්රියේ සැප පහසු ආසනයේ සිට මැදිරියේ ඇති විද්‍යුත් පුවරුවේ ගමනෙහි වේගය සටහන්ව තිබුණා මතකය. නිතරම එය පැයට කිලෝ මීටර් 290 ඉක්මවන වේගයක තිබුණ අතර අප සියලු දෙනා බලා සිටිය දී දෙතුන් වතාවක්ම පැයට කිලෝ මීටර් තුන්සියය සටහන් විය. පැය භාගයකට අඩු කාලයකින් දුම්රිය ගමන අවසන් කළ අතර විශ්ව විද්‍යාල භූමිය වෙත යන්නට තවත් පැය භාගයක පමණ වැය විය.
තියෑන්ජින් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ෆෙයි හෙන් මහතා ආරම්භයේ දී එහි පසුබිම විස්තරාත්මකව දැක්වීය. අනතුරුව හෙතෙම ඕනෑම ප‍්‍රශ්නයක් අහන්න යැයි කියා සිටි අතර දොරටු හැර පීඨයේ සියලුම අංශ වෙත ගොස් නිරීක්ෂණය කරන්නට හා පින්තූර ගන්නට අවසර දුන්නේය.
තියැන්ජින් විශ්ව විද්‍යාලය අපට වැදගත් වෙන්නේ මෙරට සිසු සිසුවියන් තුන්සියයක් පමණ එහි ඉගෙනනිමින් සිටින හෙයින්ය. 2017 වසර වෙනුවෙන් අලුතින් බඳවාගත් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සිසුන් හැත්තෑ එක් දෙනෙක් වූහ. කලින් වසරේ හතළිස් හයදෙනකු තෝරා ගෙන තිබූ අතර ඔවුහු එහි ඉගෙන ගනිමින් සිටියහ. පිරිස දෙගුණයක් කළේ ඇයි යනුවෙන් අප නැගූ ප‍්‍රශ්නයට උත්තර දුන්නේ “ශ‍්‍රී ලංකාව අපට සමීප රටක්. ඒ වගේම සෑහෙන ප‍්‍රමාණයක් ඇතුළු වෙන්න ඉල්ලනවා. අපිට ඉඩ තියෙන්නේ මෙපමණයි. නැත්නම් ලංකාවේ දරැවන්ට තවත් ඉඩ දෙන්න කැමතියි” මහාචාර්යවරයා කියා සිටියේය. මෙම සියලු දෙනා මවුපියන්ගෙන් ඈත්ව විශාල මුදලක් ගෙවමින් චීනයේ දී වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටිති. ශ්‍රී ලංකාවෙන් මෙම වෛද්‍ය පීඨයට තෝරා ගන්නා දරුවකුට අවම වශයෙන් අවුරුද්දකට අමෙරිකානු ඩොලර් 6,500 ක් ගෙවන්නට සිදුවෙයි. වසරින් වසර එය ඉහළට නැගේ. මේ සා විශාල මුදලක් ගෙවා චීනයට එන්නේ ඉගෙනගන්නටය.
වෛද්‍ය ශිෂ්‍යාවක වන නිලක්ෂි සිල්වා තියැන්ජින් වෛද්‍ය පීඨයේ තැනින් තැන සිදු කරන කාර්යය අපට පැහැදිලි කරන්නට භාරව සිටියාය. ඇයගෙන් පමණක් නොව කොළඹ, මාතලේ, මහනුවර, ගාල්ල සහ මාතර ඇතුළු නන් දෙසින් පැමිණ වෛද්‍යවෘත්තිය ඉගෙන ගන්නා පිරිසගෙන් විමසන විට ඉතා සංකීර්ණ හා පැවරුම් සහිත අමාරු ඉගෙනුමක යෙදෙන බව උත්තර වශයෙන් ලැබුණි. දරුවන් ගේ ඉගෙනුම ගැන සොයා බලන්නට මාපියන්ට ඉඩක් තිබීම සුදුසුය. පීඨාධිපති මහාචාර්ය ෆෙයි හෙන් මහතා අප සමඟ ප‍්‍රකාශ කළේ ඉදිරියේ දී එයට පහසුකම් ඇති කරන බවය. එමගින් වෛද්‍ය පීඨය ඉගෙනගන්නා වෛද්‍ය ශිෂ්‍යන්ගේ ගෙදර සමග සම්බන්ධ කෙරේ. “අපේ අදහස මෙම දරුවන්ගේ මාපියන්ට තම දරුවන් ඉගෙනගන්නා අන්දම දැනගන්න අවස්ථාවක් දෙන්න. ඒ මොකද මව්පියන් මේ අය තියැන්ජින්වලට එවන්නේ විශාල මුදල් ප‍්‍රමාණයක් වියදම් කරලා. ඒ අයගේ හිතේ විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් තියෙනවා. සැතපුම් දස දහස් ගණනක් එහා ඉන්නා මේ අය කරන්නේ මොනවා ද කියා පංති කාමරයේ සවි කරන කැමරාවක් මගින් බලාගන්න ඉඩ දෙන එක තමයි අපේ අරමුණ.” හෙතෙම කියා සිටියේය. මේ අනුව තියැන්ජින් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනගන්නට දරුවන් යවන මව්පියන්ට නුදුරු කාලයේ දී තමන්ගේ පරිගණකයෙන් වෛද්‍ය පීඨයට ප‍්‍රවේශ වී එහි ඇති ආරක්ෂිත මුර පදයක් යොදා කෙළින්ම දරුවා ගැන බලාගෙන ඉන්නට හැකි වනු ඇත. එය කොපමණ දියුණු තත්ත්වයක්ද?
ශ‍්‍රී ලංකාවේ දරුවන් වෛද්‍ය පීඨයට හෝ වෙනත් විශ්ව විද්‍යාලයක ඉගෙන ගනිමින් කරන්නේ මොනවාද? පෝස්ටර් ඇලවීමය, පිකටිං හා පෙළපාළි යැමය. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන්ට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තහනම් කිරීම හෝ අධ්‍යාපනය විකිණීමට විරුද්ධව පෙළපාළි යන්නට සිදු වී තිබේ. වෛද්‍ය සිසුහු පවා මෑතක සිට විරෝධතාවලට එක් වී සිටිති. එයට හේතුව ප‍්‍රතිපත්ති ගැටලුය. අධ්‍යාපනය නිදහස් බව දක්වන නමුත් පෙරපාසලේ සිට ටියුෂන්ය. සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙන්නට ඉගෙනගන්නා සිසු සිසුවියන් අතිරේක පන්ති දෙක තුනකට යන අතර ගුරුවරු නිවෙසටම ගෙන්වාගෙන ඉගෙනගනිති.
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය අවසන් කරන සියලුම දරුවන්ට තියැන්ජින් වෛද්‍ය විද්‍යාලයට යන්නට හැකියාවක් නැත. විශ්ව විද්‍යාලයකට ඇතුළු වෙන්නට මූලික සුදුසුකම් අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පමණක් නොව වෛද්‍ය සභාවේ ද නිර්දේශ නැත්නම් කිසිවකු බඳවා ගන්නේ නැත. සෑම දරුවකුම පෞද්ගලිකව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරන අතර අධ්‍යයන කටයුතු සඳහා තෝරා ගන්නේ එයින් පසුවය. තෝරාගන්නා වෛද්‍ය ශිෂ්‍යන්ට වෛද්‍ය පීඨයේම නවාතැන් තිබේ.
තියැන්ජින් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවන්නේ 1951 වසරේ දීය. මහජන චීනය ස්ථාපිත කිරීමෙන් පසු වෛද්‍ය විද්‍යාව උගන්වන්නට අනුමැතිය ලැබුණ පළමු වැනි ස්ථානය මෙයයි. මහාචාර්ය ක්ෂියෑන්යී ෂූ ගේ උපදේශකත්වයෙන් එය ඇරඹි අතර අද වන විට එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය නම දහසක් ඉක්වන අතර එයින් සියයට අනූ නමයක්ම මහාචාර්යවරැවීම විශේෂත්වයකි. ඒ හා සමානවම එනම් වෛද්‍ය ශිෂ්‍යයන් 9500 කට වැඩි පිරිසක් අද එහි ඉගෙනුම ලබති. මෙයින් අඩක් වෛද්‍ය උපාධිය වෙනුවෙන් වන අතර තවත් 2000ක් පමණ ශාස්ත‍්‍රපති උපාධි හදාරති. පන්සියයක් පමණ පිරිසක් පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන්නට පැමිණ සිටිති. මේ අතර ඉන්නා දහසක් පමණ දෙනා ලෝකයේ වෙනත් රටවල් වලින් පැමිණ ඉගෙන ගන්නා අය බව දැක්වෙයි. වෛද්‍යවරුන් බිහි කිරීමට අමතරව එකිනෙකට වෙනස් පාඨමාලා පවත්වන්නට සහ හෙද සේවය වෙනුවෙන් පුහුණු කරන්නට ද පීඨයට අවසර ඇත. තියැන්ජීන් අවට මූලික රෝහල් සහ ශික්ෂණ රෝහල් තිහකට වඩා මෙහි ඉගෙනගන්නා දරුවන්ට ප‍්‍රායෝගික අධ්‍යාපනයට ඉඩ සම්පාදනය කර තිබේ. ඒ සියල්ල සැපයෙන්නේ විශේෂ පරිගණක තාක්ෂණ පුහුණුවට අමතරවය. එනම් පළමු වසරේ දී හා අවසන් වසරේ දී වෛද්‍ය සිසුන් විශේෂ පරිගණක වලින් මෙහෙයැවෙන කෘත්‍රිම දේහ වලින් ප‍්‍රායෝගික පුහුණුව ලැබීමය. අධීක්ෂක මහාචාර්යවරයාගේ පරිගණකයට සම්බන්ධ කරන මෙම රොබෝ රෝගීන් මහාචාර්යවරයාගේ නියමය පරිදි හදවතේ ගැස්ම, ශරීර උෂ්ණත්වය, ඉදිමුම හෝ අවයව ක‍්‍රියකාරීත්වය වෙනස් කළ හැකිය. ඒ අනුව ශිෂ්‍යයන්ට රෝග හඳුනාගෙන සිය අධ්‍යයන වාර්තා සකස්කරන්නට සිදුවෙයි. එය නූතන තාක්ෂණය සමඟ වෛද්‍ය පීඨ අධ්‍යයනය සම්බන්ධ කළ අවස්ථාවක් සේ දැකිය හැකිය.
ලෝකයේ වෙනත් රටවලට වඩා ශ‍්‍රී ලංකාවේ දරුවන්ට මෙහි ඉඩකඩ විවෘත බව පීඨාධිපති මහාචාර්ය ෆෙයි හෙන් මහතා අප මාධ්‍යවේදීහු නැගූ ප‍්‍රශ්නයකට උත්තර වශයෙන් කියා සිටියේ එයට හේතුව දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත‍්‍රික බැඳීම බවය.
(චීන සංචාරයකින් පසු)
ගාමිණී සරත් ගොඩකන්ද
gsgodakanda@gmail.com
සේයාරූ I රවි ජයවික‍්‍රමආරච්චි