2024 මාර්තු 02 වන සෙනසුරාදා

පාකහේවාහැටෙන් රටම කතාකරන අපිමානා කඩදාසි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 105

ඉහළ සිට පහළට රටේ හැමතැන කර්මාන්ත ඇරුඹිය යුතු යුගය උදා වී තිබේ. ආර්ථික වශයෙන් ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටීමට අප නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුමය. මෙම අරමුණ මුදුන් පමුණුවා ගැනීමේ අටියෙන් වෙහෙස වී වැඩ කරන පිරිසක් පිළිබඳ දැන කියා ගැනීමට අපට අවකාශය උදා විය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබුණේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඩිලිනි මදුශානි කුරුප්පු (සහකාර අධ්‍යක්ෂ - ක්‍රම සම්පාදන) මේ හා සම්බන්ධව අප දැනුවත් කළාය.

ඒ අනුව පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙම ව්‍යාපෘතිය දියත් කරනුයේ, අඩු ආදායම්ලාභී ප්‍රජාව ඉලක්ක කර ගනිමිනි. මෙම ව්‍යාපෘතිය යටතේ ආක්‍රමණික ශාකයක් වන අලිමානා ශාකය භාවිතයෙන් ස්වභාවික කඩදාසි නිෂ්පාදනය පාතහේවාහැට ප්‍රදේශවාසීහු විසින් සිදු කරගෙන යනු ලබති.

අලිමානා යනු ආක්‍රමණික තෘණ විශේෂයකි. ගිනි තණ ශාකය (Gunia Grass) නමින් ද මෙම ශාකය හඳුන්වනු ලබන අතර මෙම ශාකයේ නිජබිම පැපුවා නිව්ගිනියාව බව කියැවේ. අලිමානා මෙම ප්‍රදේශය තුළ පහසුවයෙන් සපයා ගත හැකිය. කඩදාසි නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ ශාකයේ අලිමානා පත්‍රයි. ඒ අනුව ශාකයේ මල් පල දරන්නට පෙර නොමේරූ පත්‍ර අත් කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත වේ.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වෙත අලිමානා කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය හඳුන්වා දෙනු ලබන්නේ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේය. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් තුනක් මූලික කොටගෙන පළමුව මෙම ව්‍යාපෘතිය ඇරුඹුණි.

පළමුව තෝරාගත් ව්‍යවසායකයන් සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම සිදුවිය. මෙම පුහුණු වැඩසටහන යටතේ තාක්ෂණික පුහුණුව ලබා දීමට අමතරව මෙම ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනයට ද පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කොට තිබේ. පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි මහත්මිය ඇතුළු නිලධාරීහු විශාල වශයෙන් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා විශාල කැප කිරීමක් සිදු කළහ.

“මුලින්ම මේ කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේදී එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් අසූදාහක මුදලක් (80000.00) වැය කරලා උපකරණ ලබාදීමට කටයුතු කළා. මෙහිදී සියයට පනහේ දායකත්වය අපි ලබා දුන්නා. ඒ නිසා අවම පිරිවැයක් ව්‍යවසායකයන් හට දරන්න වුණේ. ඒ වගේම ගැටලුවක් ඇති නොවන ලෙස බල ප්‍රදේශයේ ස්වාභාවික ලෙස වැවෙන සම්පතක් අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගන්න හැකියාව පවතින නිසා කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට පහසු වී තිබෙනවා. මේ දේශීය නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ දක්වා ගෙන යමින් දේශීය ආර්ථික ශක්තියක් ලබාදීම අපේ ප්‍රධාන අරමුණයි."

මේ වන විට අලිමානා කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව සිදුවෙමින් පවතී. පසුගිය වසරවලදී සිදුවීම් කිහිපයක් නිසාවෙන් පාතහේවාහැට අලිමානා කඩදාසි ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත්තේය. පාර්ලිමේන්තුවේදී ද අලිමානා කඩදාසි සංවාදයක් නිර්මාණය විය. අග්‍රාමාත්‍යවරයා ද සිය ආරක්ෂක සුබ පැතුම් පත් සහ ලේඛන වෙනුවෙන් අලිමානා කඩදාසිවලින් නිර්මිත දින පොත් කැලැන්ඩර භාවිත කළේය.

මේ අතර පසුගිය වෙසක් මාසයේදී මහනුවර KTC වෙළෙඳ සංකීර්ණයේ සැරසිලි සඳහා අලිමානා අභාවිත කිරීමට එහි පාලන අධිකාරිය කටයුතු කොට තිබුණි. අලිමානා පහන්කූඩු පිළිබඳ බොහෝ දෙනකුගේ උනන්දුව ඇතිවූයේ ඒ අනුවය. මේ සමඟම රූපවාහිනී මාධ්‍ය තුළ ද අවස්ථා කිහිපයකදී අලිමානා කඩදාසි පිළිබඳ සංවාදයක් නිර්මාණය වූයේය. එනිසාම බොහෝ දෙනකු උනන්දු වූයේ මෙම කඩදාසි නිෂ්පාදන තාක්ෂණය දැන ගැනීමටය.

“ඇත්තෙන්ම තාක්ෂණය දැනගැනීම හොඳයි. ඒත් අපිට අවශ්‍ය වෙන්නේ වෙළෙඳපොළක්. දැනටමත් අපි වෙළෙඳපොළ අවස්ථා රුසක් හොයාගෙන තියෙනවා. ඒත් අපේ නිෂ්පාදන තව පුළුල් කරන්න පුළුවන් වෙළෙඳපොළ ලැබෙනවා නම්. දැනටමත් අපි සතුව නිෂ්පාදකයන් 59 දෙනෙක් ඉන්නවා. අපිට මාසයක් තුළ නිෂ්පාදනය කළ හැකි කඩදාසි ප්‍රමාණය හතළිස් පන්දහසක්. ඒත් අපිට උපරිම ධාරිතාවයට යන්න වෙළෙඳපොළ අවස්ථා අවශ්‍යයි."

මෙම ව්‍යාපෘතිය තමන්ගේ පෞද්ගලික රාජකාරියක් තරමටම තදින් වැළඳගත් නිලධාරී සමූහයක් වෙති. ඔවුහු මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා වෙහෙස වී වැඩ කරති. නිෂ්පාදකයන් වෙනුවෙන් නිලධාරීහු ද වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීම සඳහා නිරන්තර උත්සාහයක යෙදී සිටිති. සැබැවින්ම එය අගය කළ යුත්තකි.

දැනටමත් අලිමානා කඩදාසි යොදාගෙන අගය එකතු කළ නිෂ්පාදන සිදුකරන පිරිස් මෙම ප්‍රජාව අතර සිටිති. එයා මේ වන විට මෙම ව්‍යාපෘතියේ එක් ප්‍රතිලාභියෙක් නෝට්බුක් ඇතුළු විවිධ අගය එකතු කළ නිෂ්පාදන නිර්මාණාත්මකව සිදු කරමින් සිටිති. ඔහුට නිරන්තර ඇණවුම් ලැබෙමින් පවතී.

කෙසේ වෙතත් පාතහේවාහැට අලිමානා කඩදාසි නිෂ්පාදකයන් වෙළෙඳ ප්‍රජාව වෙතින් සිදුකරන්නේ එක් පොදු ඉල්ලීමකි. ඉල්ලීම් කවර, සුබ පැතුම් පත්, පොත් පත්, විසිතුරු ඇසුරුම් නිෂ්පාදන සඳහා සිය අලිමානා කඩදාසි භාවිත කරන ලෙස මෙම පිරිස කඩදාසි ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සිදුකරන ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිති. සැබැවින්ම ඉතා සාධාරණ ඉල්ලීමකි. එසේම අපනයන වෙළෙඳපොළ ජයගත හැකි අලිමානා කඩදාසි වෙත නැඹුරු වීමට කිසිවකු මැලි විය යුතු නැත.

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00