2024 මාර්තු 02 වන සෙනසුරාදා

මොකද හලෝ ගොළු?

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 106

ඔබ දිනකට කී වතාවක් 'හලෝ' කියනවා දැයි සිතාබලා ඇද්ද? ඔබ පමණක් නොව නූතන ලෝකයේ මිනිසුන් දිනකට වැඩිපුරම භාවිත කරන වචනය 'හලෝ' විය යුතුය.

දුරකථන බස් වහරට 'හලෝ' යන්න එකතු වූයේ දුරකථනය සොයාගත් ග්‍රෙහැම් බෙල් සිය මුල්ම ඇමතුමෙන් පෙම්වතිය වූ හලෝට 'හලෝ' කියූ නිසා යැයි කතාවක් තිබුණත් පසුව හෙළි වූයේ එය බොරුවක් බවය. බෙල්ට හලෝ කියා පෙම්වතියක් නොසිටි අතර ඔහු මුල්ම ඇමතුම යොමු කළේ සිය මිතුරකු වූ වොට්සන්ටය.

1922 අගෝස්තු 02දා ග්‍රෙහැම් බෙල් මියගිය අතර අවමංගල්‍ය උත්සවය පැවති දිනයේ ඔහුට උපහාර පිණිස උතුරු ඇමෙරිකාවේ සියලුම දුරකථන ක්‍රියාවිරහිත කළ අතර මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිව තිබුණේ සිරි ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක ද දුරකථන අක්‍රීයව පවතින බවකි. එහෙත් ඒ යම් කිසිවකුට උපහාර පිණිස නම් නොවේ.

පුරවැසියකු තම අවශ්‍යතාවක් සඳහා රාජ්‍ය ආයතනයක දුරකථන අංකයකට ඇමතුමක් දුන් විට එය 'ගොළු'ව තිබීම බරපතළ කාරණයකි. අනෙක් අතට පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනයකි.

මීට දශක කිහිපයකට ඉහත - ජංගම දුරකථන නැති අවදියේ නම් රාජ්‍ය ආයතනවලට ඇමතුමක් ගැනීම, කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අසීරු කාරණයක් විය. ඊට පොදු හේතුවක් වූයේ සේවක සේවිකාවන් කාර්යාල දුරකථනවලට 'එල්ලී' තම පෞද්ගලික කතා කරගෙන යාම නිසාය.

ඒ කාලේ දුරකථන ඇමතුමක් සම්බන්ධ කර ගැනීමට ටෙලිෆෝන් ඔපරේටර්වරියන් නොහොත් දුරකථන ක්‍රියාකාරිනියන් අවශ්‍ය විය. 'දවස' පුවත්පත ඔවුන් සඳහා භාවිත කළේ 'හලෝ ළඳුන්' යන යෙදුමය.

වර්තමානයේ නම් ආයතනවල සිටින පිළිගැනීමේ නිලධාරිනියන්ටම 'හලෝ' රාජකාරිය ද බාර වී ඇත.

'හලෝ' කියන විධි කිහිපයකි. නිකම්ම 'හලෝ' කීම ගොඩේය. 'හෙලෝ' කීම පොෂ්ය. 'හලෝව්' කියන අය ද සිටිති.

ඇතැම් හලෝ ළඳුන් හලෝ කියන විධිය ඉතා මිහිරිය. එවැනි 'හලෝ'වක් අසන්නකුට ඇගේ 'කට කන්නට' සිතෙයි. නැත්නම් සිටින තැනකට ගොස් සිප ගන්නට සිතෙයි.

එහෙත් සමහර හලෝ ළඳුන් හලෝ කියන විට අසන්නාට ඇගේ ''අම්මා සනීපෙන්දැ''යි අසන්නට සිතෙයි.

ඉංග්‍රීසියෙන් 'හලෝ' කීම සහ සිංහලෙන් 'හලෝ' කියා දෙකක් නැතත් උච්චාරණය අනුව ඉහත කී ආකාරයේ වෙනස්කම් දැකගත හැකිය.

වි.ජ.මු. ලොකුබණ්ඩාර ඇමැතිතුමාගේ කාලයේ එතුමාගේ යෝජනාවකට අනුව 'හලෝ' නොකියා 'ආයුබෝවන්' යැයි කීමට පටන් ගැනුණි. මුලදි මෙය අපහසු වූ අතර හලෝ ළඳුන් පිළිතුරු දුන්නේ ''හලෝ ආයුබෝවන් හෝ ආයුබෝවන් හලෝ'' යනුවෙනි.

කෙසේ වෙතත් කෙමෙන් කෙමෙන් ''ගුඩ් මෝනිං'' කියන්නට හුරුව තිබූ උල් කටවල් 'ආයුබෝවන්' කීමටත් හතරුස් වූයේ වි.ජ.මු. ගේ හෙළකමට පින් සිද්දවන්නටය.

දුරකථනය, විශේෂයෙන්ම ජංගම දුරකථනය මිනිසාගේ අමතර ඉන්ද්‍රියයකි. ජංගම දුරකථනය නැති වුවහොත් ජීවිතයම අවුල්ය. මතකය සතුව තිබූ බොහෝ දේ දැන් අප පවරා ඇත්තේ දුරකථනයටය. මෑතකදී තම දුරකථනය නිවසේ අමතකව ආ මගේ මිතුරෙක් ඔහුගේ බිරිඳගේ දුරකථන අංකය විමසුවේ මගෙනි. එය මගේ දුරකථනයේ තිබුණේ ඇය ද මගේ මිතුරියක බැවිනි.

දැන් පොල් කඩන්නාගේ සාක්කුවේත් ජංගම දුරකථනයක් ඇතැයි කීම සරදමක්ම නොවේ.

කලකට ඉහත නම් නිවෙසක දුරකථනයක් තිබීම, ආඩම්බරයට කාරණයක් වූ අතර එය කළ හැකි වූයේ ධනවත් හෝ ප්‍රභූ පැළැන්තියට පමණි. පිට පළාතකට දුරකථන ඇමතුමක් ගැනීම සඳහා තැපැල් කන්තෝරුවල පැය ගණන් තපින්නට වූ කාලයක් තිබූ බව සෙලියුලර් පරපුර නොදනිති. රට පුරා ගෘහස්ථ දුරකථන පැතිර යන්නට වූයේ මංගල සමරවීර, තැපැල් හා විදුලි සංදේශ ඇමැතිව සිටි සමයේය. නිදහස් මතික පුද්ගලයකු වූ මංගලගේ දැක්ම හා දේශපාලනය සිරි ලංකාවට ගැලපුණේ නැත. රටටම දුරකථන බෙදුවත් මංගල සමරවීර මියගිය දිනයේ ඔහුට උපහාර පිණිස මාතර දිසාවේවත් දුරකථන නිහඬ කෙරුණේ නැත. 

දුරකථනය ආඩම්බරයක්ව තිබූ කාලයේ මැදිවියේ පුද්ගලයෙක් රජයේ කාර්යාලයක ප්‍රධාන ලිපිකරු හමුවට ආවේය. ඔහු තමාගේ ගමේ සිට ආ ඥාතියකු යැයි වරදවා වටහා ගත් ප්‍රධාන ලිපිකරු සතියක් පුරා අක්‍රීයව තිබූ දුරකථනයේ රිසිවරය ගෙන කාටදෝ 'බොරු නියෝග' දෙන්නට වූයේ තම ලොකුකම පෙන්වීමටය.

දිග ඇමතුමට පසු ඔහු අමුත්තා දෙස බැලීය.

''ඔව්. මොකද? කොහෙ ඉඳලද?''
''මම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන්. ඔය ෆෝන් එක වැඩ කරන්නෙ නෑ කියපු නිසා හදල දෙන්න ආවෙ.''

I කපිල කුමාර