2024 මාර්තු 16 වන සෙනසුරාදා

අත නොහැර නැගී සිටි රසෝදයේ මිහිර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

අවදානම් බාරගැනීම සහ පරාජයන් හමුවේ අත නොහැරීම සොල්දාදුවෙක් තුළ වගේම ව්‍යාපාරිකයෙක් තුළත් තිබිය යුතුම ගුණාංග ද්විත්වයක්. මේ ගුණාංගිත්වයෙන් හෙබි අපූරු ව්‍යාපාරිකයෙක් අපිට හමුවුණා. ඇත්තෙන්ම ඔහු කලක ගුවන් හමුදා නිලධාරියෙක්. ඒ වගේම දැන් ඔහු ලංකාවේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාමයකට හිමිකම් කියනවා.

දමින්ද පෙරේරා කියන්නෙ ලංකාවේ ප්‍රමුඛතම කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන Rasoda Dairies (Pvt) Ltd හි සභාපතිවරයා. රසෝදය කියන්නෙ රටම හඳුනන දේශීය වෙළෙඳ සන්නාමයක්. පහුගිය දිනවල කර්මාන්ත ඇගයීම් සම්මාන උළෙලවලදී පවා මේ ව්‍යාපාරය ඇගයීමට ලක්වුණා.

මේ රසෝදය ගොඩනැගුවේ දමින්ද පෙරේරා විසින්. ඇත්තටම මේ කතාව බොහොම අපූරු එකක්. ඒ නිසාම අද අපි ඔහුගේ කතාව ඔබත් සමඟ බෙදාගන්න සූදානම්. මුලින්ම අතීත වත ගොත දැන කියාගන්න ගමන් දමින්ද පෙරේරා මහත්මා එක්ක සංවාදය ආරම්භ කළා.

“මගේ ගම කුරුණෑගල. මූලික අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙන්. වැඩිදුර අධ්‍යාපනයට කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ හැදෑරුවේ විද්‍යා අංශයෙන්. පුංචි කාලෙ ඉඳන්ම තිබුණු හීනය මගේම ව්‍යවසායක් ආරම්භ කිරීම. ඒත් අධ්‍යාපනය ඉවර වෙනකොට රටේ තිබුණු කලබල නිසා මම කැඩට් නිලධාරියෙක් විදියට ගුවන් හමුදාවට එකතු වෙන්න තීරණය කළා."

තමන්ගේ පියා ද වසර 30ක් ගුවන් හමුදා සේවයේ නිරත වූ නිලධාරියෙක් වීම නිසාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ බව ඔහු අප සමඟ සඳහන් කළා. යුද්ධය බිහිසුන් ලෙසින් ඇවිලී යමින් තිබූ 1989 එවැනි කාලසීමාවකදී හමුදා සේවයට එක්වුණත්, ව්‍යවසායක හීනය අතහරින්නට දමින්ද පෙරේරා තරුණයාට අවශ්‍ය වුණේ නැහැ.

“පුහුණුවෙන් පසුව මඩකලපුවෙ දී තමා සේවයට එක්වුණේ. ඒත් මගේ මනසේ දිගටම වැඩ කළේ ව්‍යවසායකත්වය පිළිබඳ අදහස. ඔහු වැඩ කරගෙන යද්දි දවසක් නිවාඩු ආපු අවස්ථාවක යාළුවෙක්ගෙ නිවෙසට යද්දි මම දකිනවා, ගොවියෝ පාරේ කිරි හලලා දානවා. මම ඇහුවා ඇයි මේ කිරි හලලා දාන්නෙ කියලා."

කිරි සඳහා එතරම් ඉල්ලුමක් නොමැති බවත්, කිරි රුගෙන ඒමට පැමිණෙන වාහනය මගහැරපු නිසා එම කිරි හලා දැමූ බවත් මෙහිදී ඔහුට දැනගන්න ලැබෙනවා. තමන්ගේ ජීවිතයේ වටිනාම අදහස ඔහු තුළ ජනිත වෙන්න මේ අවස්ථාවෙ දී.
“ඒක තමා මගේ හැරවුම් ලක්ෂය. ව්‍යාපාරයක් කරන්න වුවමනාව තිබුණට, මේ අදහස මතුවුණේ ඒ සිදුවීමත් එක්ක. ගුවන් හමුදාවේ වසර දොළහක සේවා කාලය අවසන් වන විට මම ව්‍යාපාරයට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගත්තා. පසුව මම ගුවන් හමුදාවෙන් ඉවත් වුණා. 2003 දි තමයි රසෝදය ආරම්භ කරන්නෙ."

දමින්ද පෙරේරා සඳහන් කරන විදිහට ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගන්න සැරසෙන විට බොහෝ දෙනකු මවිතයට පත්වෙලා තියෙනවා. ඉහළ වැටුපක් හිමි හොඳ රුකියාවකට සමුදීලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම අවදානම් බවට වන අනතුරු හැඟවීම හැම අතින්ම ගලා ඇවිල්ලා තියෙනවා.

“ව්‍යාපාරිකයෙක් තුළ තිබිය යුතු මූලිකම ගුණාංගයක් තමයි අවදානම් බාරගැනීමේ හැකියාව. මම ඒ අවදානම බාරගත්තා. කිරි ගොවියෝ පස් හය දෙනකුගෙ, කිරි ලීටර් සීයකින් විතර තමා වැඩේ ආරම්භ කළේ. අයිස් පැකට් සහ යෝගට් තමයි පළමු නිෂ්පාදනය වුණේ. නිෂ්පාදනය සිදු කළේ මහ ගෙදර කුඩා කාමරයක."

රසයේ උදාව යන අර්ථ සහිතව මෙම ව්‍යාපාරය සඳහා නම් තබන්නේ අරිසෙන් අහුබුදු සූරීන් විසින්. කොහොම නමුත් ආරම්භයේදී දමින්ද පෙරේරා සතුව තාක්ෂණය වගේම පහසුකම් තිබුණෙ නැහැ. ආරම්භය අභියෝග සපිරි එකක් බවට පත්වුණා. 
“ආරම්භයේදි ලොකු අභියෝග තිබුණා. අපේ නිෂ්පාදන ප්‍රතික්ෂේප වුණා. අලෙවිකරණ විකුණුම් ක්‍රම දැනගෙන හිටියේ නැහැ. කොහොම හරි ඒ හැමදේටම මුහුණ දෙමින් අපි ඉදිරියට ආවා. අත්දැකීම් තුළින් පන්නරය අරගෙන ඊළඟ පියවර සාර්ථක කර ගැනීම තමා අපේ ක්‍රමය වුණේ."

අත්දැකීම් තුළින් ලද පන්නරය කොතරම්ද කියනව නම් දමින්ද පෙරේරා වසර තුනක් යන විට තමන්ගේ ව්‍යාපාරය සැලකිය යුතු පරිමාවකින් පුළුල් කරගන්නට සමත් වෙනවා. ඒ අනුව වසර තුනක් ඇවෑමෙන් සේවකයන් තිස් දෙනකු පමණ සේවයට එක්වන අතර යන්ත්‍රෝපකරණ කිහිපයක් මේ ව්‍යාපාරයට එකතු වුණා.

“මෙහෙම ඉදිරියට ඇවිල්ලා 2007 වෙනකොට අපි ලංකාවේ දෙවැනි පෙළ සමාගම් අතර විශාල ශක්‍යතාවක් තියෙන ආයතනයක් බවට පත්වුණා. පොඩි කර්මාන්ත ශාලාවක් ඉදි කළා. වාහන 25ක් විතර වැඩ කළා. මම හමුදාවේ හිටපු නිසා උතුරු නැගෙනහිර තමා අපේ වෙළෙඳපොළ තිබුණේ. ඒත් 2008 වගේ වෙනකොට යුද්ධය දරුණු අතට පෙරළුණු නිසා තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තා.

පියවරෙන් පියවර ගොඩනැගුණු ව්‍යාපාරය යුද්ධය උග්‍රවීමත් සමඟ ක්‍රමිකව අර්බුදයක් කරා ගමන් කිරීමට පටන්ගත් බව දමින්ද පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“අපි ඒ පළාත්වල වෙළෙඳපොළ මෙහෙයුම් නතර කළාම, එහේ සේවය කරපු දෙන්නෙක් වෙනත් ආයතනයකට ගිහිල්ල පසුව වවුනියාවෙදි එල්.ටී.ටීය අතින් ඝාතනයට ලක්වුණා. කොහොම හරි අපි උතුරට යන එක නතර කළාට පස්සේ ක්‍රමයෙන් ඉල්ලුම අඩුවෙලා ගිහිල්ලා ව්‍යාපාරය බිඳ වැටෙන්න පටන් ගත්තා. අවසානයේදි 2008 වගේ වෙනකොට ආයතනය නතර කරන්න අපිට සිද්ධ වුණා."

මේ කඩා වැටීම ඇත්තෙන්ම සුළුපටු එකක් බවට පත්වන්නේ නැහැ. ආයතනයට ගෙවිය යුතු ණය වාරික, කළ යුතු දේවල් සියල්ලම සිදු කරන්න වෙනවා. ඒත් මේ කඩා වැටීම, දමින්ද පෙරේරා බිඳ දැමීමට සමත් වෙන්නෙ නැහැ.

“සේවකයන් එකසිය පනහක් විතරක් හිටපු ආයතනයක් කඩා වැටිලා, වාහනවල ජීප්වල ගිය අපට මේ වෙනකොට බස් එකේ යන්න වෙලා තිබුණේ. මගේ මිත්‍රයෙක් හිටියා චාටට් එකවුන්ටන් කෙනෙක්. අපි ඔහුත් එක්ක එකතුවෙලා සිද්ධ වුණු දේ පිළිබඳව අධ්‍යයනයක් කළා. සිද්ධ වුණු දේ වගේම ඒවාට විසඳුමුත් අපි හොයා ගත්තා."

ව්‍යාපාරිකයකු සතු කිසිවක් අත නොහැරීමේ ගුණාංගය මොනවට ප්‍රකට කරමින් දමින්ද පෙරේරා නැවත නැගී සිටින්නට තීරණය කරන්නේ මේ සමඟයි. සැබෑ ව්‍යාපාරිකයෙක් තමන්ට එන අභියෝග හමුවේ පවා ව්‍යාපාර අවස්ථා සොයාගත යුතු බව අද දමින්ද පෙරේරා මහතා අප සමඟ සඳහන් කරනවා.

“මාස නවයක් දහයක් විතර අපේ ආයතනය වහල තිබුණා. අපි නැවත පටන් ගන්නකොට ප්‍රශ්නවලට උත්තරත් එක්ක තමා අපි පටන් ගත්තෙ. උදාහරණයක් විදිහට ඍජුව සිද්ධ වුණු අලෙවිකරණය වෙනුවට ඒජන්සි හරහා බෙදාහැරීම් කරන්න අපි තීරණය කළා. මේ ආරම්භය 2012 පමණ වෙනකොට අපි වයඹ පළාතේ ප්‍රමුඛස්ථානයට පත්වෙන්න හේතු වුණා."

අද ඔබට රටේ ඕනෑම තැනක  සැරිසරද්දි රසෝදය සන්නාමය යටතේ නිෂ්පාදනය වන යෝගට්, කිරි පැකට්, අයිස් ක්‍රීම් ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේ අවකාශය තියෙනවා. ඒ වගේම මේ මේ වන විට රසෝදය කර්මාන්ත ක්ෂේත්‍රයේ පිට පිටම රන් සම්මානයෙන් පිදුම් ලද ආයතනයක්. දැන් මෙම ව්‍යාපාරය සතුව දැවැන්ත කර්මාන්ත ශාලාවක්ද පවතිනවා.

“2018 වගේ වෙනකොට අපි දැවැන්ත විදිහට නැගී සිටින්න සමත් වුණා. මම නෙදර්ලන්තයට ගිහිල්ලා ලෝකෙ තියෙන නවීන තාක්ෂණය අරගෙන ආවා. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි කරන්නත් මට පුළුවන් වුණා. ලංකාවේ මේ විෂය සම්බන්ධ ප්‍රවීණ අත්දැකීම් තියෙන අය අපේ ව්‍යාපාරය ඇතුළට සේවය සඳහා එකතු කරගන්නත් අපි කටයුතු කළා."

දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ වීමේ අවශ්‍යතාවය හඳුනාගත් දමින්ද පෙරේරා ශ්‍රී ලංකාව තුළ සිටින දැවැන්ත ව්‍යාපාරිකයකු බවට පත්වීම සඳහා ආරම්භය ලබාගත්තේ මේ ආකාරයට. පසුගිය වසංගත සමය තුළ පවා නොසැලී තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න සිය තීරණ, දැනුම හේතු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

සැබැවින්ම අප සංවාදය තවත් බොහෝ දුර දිව ගියා. ශ්‍රී ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නැවුම් අදහස් සහිත පැහැදිලි දැක්මක් සහිත ව්‍යාපාරිකයෙක් ලෙසින් දමින්ද පෙරේරා මහතා අවසානයේ අපට හඳුන්වා දිය හැකියි. මේ වන විටත් අපනයන ක්ෂේත්‍රයට අත්පොත් තබා ඇති මෙම දේශීය සන්නාමය දිනක ලොව දිනනු දැකීම අපගේද පැතුමයි.

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00