2024 මාර්තු 23 වන සෙනසුරාදා

ලෝකෙට යන උඩරට වෙස් නැටුම

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 595

උඩරට වෙස් නැටුම ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය දා පැවසුවේය. උරුමය උඩරට නර්තන පුහුණු පර් යේෂණ කේන්ද්‍රයේ ‘උරුමයක අස්වැද්දුම’ ජනගත කිරීමට මාතලේ බෞද්ධ මන්දිරයේ දී පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය. උඩුගං බලා යන සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක් අවශ්‍ය  බව කී වික්‍රමනායක මහතා දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් සංස්කෘතික සංගායනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීමට ඇවැසිම කාලය අද එළඹ ඇතැයි ද පැවසීය. 

උඩරට වෙස් නැටුම ද අද වන විට සංදර්ශනයක් පමණක් බවට පත්ව ඒ ඈඳුණු සංස්කෘතික වතාවත් අභාවයට යන බව අපට පෙනේ. මේ ගැන වැඩි විස්තර විමසීමට අපි කතා කළේ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ප්‍රවර්ධන) තිලක් හෙට්ටිආරච්චිටය. 

''උඩරට වෙස් අයත් වන්නේ අස්පර්ශනීය ලෝක උරුම අතරටයි. ලෝක උරුමයක් බවට යම් සංස්කෘතික උරුමයක් පත්කිරීමට අප මුලින්ම යුනෙස්කෝ සංවිධානයට ඒ ගැන යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි. එම යෝජනාව වුණත් හැම අවස්ථාවේදීම ඉදිරිපත් කළ නොහැකියි. යෝජනා බාරගන්නා කාලයට ලබාදිය යුතුයි. නමුත් ඊට පෙර අප මේ ගැන රටේ අස්පර්ශනීය ජාතික උරුම කමිටුවට ඉදිරිපත් කර මේ විෂය ක්ෂේත්‍රයේ ඉතිහාසය, එහි ජාතික වැදගත්කම, ජාත්‍යන්තර උරුමයක් ලෙස ඇති වැදගත්කම, වර්තමාන තත්ත්වය ආදී කරුණු ගැන සොයා බලා විස්තර වාර්තාවක් සකස් කළ යුතු වෙනවා. ඒ සඳහා වැඩ කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. 

දැනටත් අපේ අස්පර්ශනීය ලෝක උරුම බවට පත්වූ විනාශ වී යන සංස්කෘතික උරුම දෙකක් තිබෙනවා. ඒ දුම්බර පැදුරු රටා සහ අපේ රූකඩ කලාවයි.'' 

මේ වනවිට උඩරට නැටුම් ද සම්ප්‍රදායික වත් පිළිවෙත්වලින් ටිකින් ටික ඉවත් වී සංකර නැටුම් රට ආක්‍රමණය කරමින් පවතින බව පෙනේ. මුදල් ගැනම සලකා උඩරට නැටුම වෙනස් කර ඉදිරිපත් කරන ආකාරයද උත්සවවලදී දැකගත හැකිය. එවන් තත්ත්වයක් යටතේ මේ කලාව අස්පර්ශනීය ලෝක උරුමයක් බවට යෝජනා කිරීම කාලෝචිත ය. 

උඩරට නැටුම් යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර රාජධානිය පාදක කරගෙන   ආරම්භ වූ නැටුම් සම්ප්‍රදායකි. පසුකාලීනව එය දිවයිනේ සෑම ප්‍රදේශයකම පුළුල්ව පැතිරී ගියේය. නිත්තවෙල, අමුණුගම, තිත්තපජ්ජල හා තල්ගහගොඩ කියලා සාම්ප්‍රදායික උඩරට ගායන වාදන පරම්පරා 4ක් පවතී. නිත්තවෙල ගුණයා, චිත්‍රසේන, පීටර් සූරසේන ආදී නැට්ටුවෝ උඩරට වෙස් නැටුම ජාත්‍යන්තර වේදිකාවට රුගෙන යාමට දායක වූහ. 

පුරාණෝක්ති අනුව උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉන්දියානු යකැදුරන් පිරිසක් විසින් පවත්වන ලද කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මයක් මගින් යැයි විශ්වාස කෙරේ.

එසේ ඉන්දියානු යකැදුරන් මෙරටට පැමිණියේ කුවේණිය විසින් විජය රජුට සිදුකළ දිවි දෝෂය ඔහුගෙන් පසු පඬුවස් දෙව් රජුට වැළඳී ඔහු අසාධ්‍ය වූ අවස්ථාවේ සුවපත් කිරීමටය. රජු යකැදුරන්ට පැවසුවේ රාත්‍රී නින්දට ගිය විට දිවියෙක් තමාට පහර දෙනු නිතර නිතරම සිහිනෙන් පෙනෙමින් තමා බියපත් කරන බවය. එය ඇතිවූයේ විජය රජුගේ බිසව වූ කුවේනියගේ ඉන්ද්‍රජාලික මායාවක් නිසා බව විශ්වාස කෙරිණි. ඉන්දියානු යකැදුරෝ එය සුවපත් කිරීමට කොහොඹා කංකාරිය නම් ශාන්තිකර්මය නැටූහ. ඉන් පසු රෝගය සම්පූර්ණයෙන්ම සුව විය. මෙම නර්තනය ඉදිරිපත් කරන ලද්දේ වෙනම කුලයක පිරිසක් විසිනි. ඔවුන් පාරම්පරිකව  ශ්‍රී දළදා මාලිගාවේ නින්දගම් ලැබූ රාජකාරි කළ අතර ශ්‍රී දළදා පෙරහරේදී නැටුම් ඉදිරිපත් කිරීමට වරම් ලැබූහ. විදේශිකයන් පවා ඉතා ප්‍රිය කරන උඩරට වෙස් නැටුම අලංකාර ඇඳුමකින් සමන්විතය. එය හඳුන්වන්නේ වෙස් ඇඳුම් කට්ටලය ලෙසිනි. වෙස් ඇඳුම් නිකම් ආවාට ගියාට අඳින ඇඳුමක් නොවේ. නැටුම් ශිල්පය ඉගෙන නිම කරන දරුවන්ට ආගමික වත් පිළිවෙත්වලට අනුව වෙස් තැබීම සිදුකර මුල් වරට වෙස් ඇඳුම ඇන්දවීම සිදු කෙරේ. එය හඳුන්වන්නේ වෙස් තැබීම යනුවෙනි.

උඩරට රජවරුන්ගේ අනුබලය යටතේ පැවත ආ මෙම සාම්ප්‍රදායික නැටුම් ක්‍රමයේ ජනප්‍රියත්වය බ්‍රිතාන්‍ය පාලන සමයත් සමඟ තරමක් දුරට හීන විය. වර්තමානයේදී එය නැවත උද්‍යෝගිමත් වී වේදිකාවට ගැලපෙන ලෙස හැඩගස්වා ඇති අතර ශ්‍රී ලංකාවේ මූලික සංස්කෘතික අංගයක් ලෙස කැපී පෙනේ.   

නර්තන කලා ශිල්පයේ දැක්වෙන්නේ වෙස් ඇඳුම් කට්ටලය දෙවිවරු විසිහතර දෙනකුගේ ඇඳුම් ආයිත්තම්වලින් සකස්වුවක් බවයි. නුවර ඇසළ පෙරහරේ ඉතාමත් විචිත්‍රවත් නර්තන අංගය වන්නේ ද වෙස් නැටුමයි. වෙස් නැට්ටුවන් හට දළදා පෙරහරෙහි කංකාරි දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ 19 වැනි සියවසෙහි අග භාගයේ සිටය.  

උඩරට නැට්ටුවා ශීර්ෂාභරණයද සහිත ආකර්ශනීය ඇදුම් කට්ටලයකින් සැරසෙයි. නැට්ටුවාගේ පපු පෙදෙස ආවරණය කෙරෙන්නේ අලංකාර පබළු ආභරණයකිනි.  ශීර්ෂාභරණය ලෝහවලින් නිර්මිත නළල් පටියකින් යුතුව නැට්ටුවා වඩාත් උසට පෙනෙන පරිදි නිර්මාණය කර තිබේ. මේ ඇඳුම් කට්ටලයට කිංකිණි නිකුත් කරන ගෙජ්ජි ද ඇතුළත්ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කරන අන්දමට වෙස් ඇඳුමේ යට කොටස සකස් වෙන්නේ ගුජරාටි ජාතිකයන් සාම්ප්‍රදායික ධෝතිය අඳින ක්‍රමයටය. වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය තෙයි​යම් නැටුමේදී යොදාගන්නා බව මහාචාර්ය මුදියන්සේ දිසානායක සඳහන් කර සිටී. 

%උඩරට වෙස් නර්තනයේ අද්‍යතන විශේෂතා පිළිබඳ විශ්ලේෂණයක්^ ලෙසින් කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට (2021) පර් යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ ආර්.ඒ. මධුසංක භාග්‍ය සඳහන් කරන්නේ මෙහි අතීතයේ දකින්න ලැබුණු අධ්‍යාත්මික ලක්ෂණ අද වන විට පිරිහී ගොස් ඇති බවය;

''“වෙස්” යන්නෙහි අර්ථය වේශය හෙවත් උපකල්පිත පෙනුම යන්නයි. මෙහිදී උඩරට නර්තන ශිල්පීන්ගේ මතය වෙස් ඇඳුම යනු මලය රජුගේ සිව් සැටක් ආභරණ කට්ටලයෙන් හරි අඩක් බවත් එය කොහොඹා දෙවියන්ගේ ඇඳුම් කට්ටලය බවත්ය. එනිසා වෙස් ඇඳුම හා වෙස් නර්තනය තුළ ඇදහිලි හා විශ්වාස සමඟ බැඳුණු පූජාර්ථයක් ගැබ් වී ඇත. අංගසම්පූර්ණ වෙස් ඇඳුමින් සැරසුණු ශිල්පියා “යක් දෙස්සා” ලෙස හඳුන්වයි. අතීතයේදී කොහොඹා කංකාරිය, වලියකුම, කඩවර කංකාරිය ආදී උඩරට ශාන්තිකර්මවලට පමණක් වෙස් ඇඳුම හා වෙස් නැටුම භාවිත කර ඇති අතර මෙය තාණ්ඩව ලක්ෂණවලින් යුතු පුරුෂ පාර්ශ්වය පමණක් ඉදිරිපත් කරන නර්තනයකි. යටත් විජිත සමයේදී ඇති වූ සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් නිසා වෙස් නර්තනය පෙර තත්ත්වයෙන් මිදී විනෝදාස්වාදය මුල් වූ නර්තන ක්‍රමයක් ලෙස පරිවර්තනය වී ඇත. අද්‍යතනය වන විට මෙහි මූලික භාවිතයන් හා හර පද්ධතීන් ගිලිහී හුදෙක් පෙරහර, ප්‍රභූන් පිළිගැනීමට හා ප්‍රාසාංගික වේදිකා නර්තනයක් හා සංචාරක ප්‍රවර්ධන අංගයක් වී ඇත.''

ආරම්භයේදී පිරිමින්ට පමණක් පුහුණු වීමට අවසර තිබූ උඩරට නැටුම් සම්ප්‍රදාය මේ වන විටදී කාන්තාවන් අතරද ව්‍යාප්ත වී ඇති බව දක්නට ලැබේ.  ඒ සඳහාම විශේෂයෙන් ආරම්භ කරන ලද අධ්‍යයනායතන කිහිපයක්ද ශ්‍රී ලංකාව තුළ දැකගත හැකිය. නමුත් ගැහැනු නැට්ටුවන් උදෙසාම වෙන් වූ වෙස් ඇඳුම් කට්ටලයක් නොමැති අතර පිරිමි නැට්ටුවන්ගේ ඇඳුම් කට්ටලය ගැහැනු නැට්ටුවකුට ගැලපෙන ලෙස වෙනස් කර භාවිත කිරීම ඇරඹී ඇත. 

වෙස් නැටුම සංදර්ශන ඉල්ලුමට ලබාදීම ද අවශ්‍යය. පුරාණයේ මෙන් නින්දගම්වලින් සරලව යැපීමට වෙස් නැට්ටුවන්ට අද නොහැකි බැවිනි. එසේම අද වනවිට උඩරට මෙන්ම පහතරටත් වෙස් නැටුම උගන්වන අතර එය පාසල්වල සහ විශ්වවිද්‍යාවල විෂය මාලාවට ද ඇතුළත්ය. කෙසේ වුවත් මේ සෑම අවස්ථාවකදීම එහි සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීම ද අවශ්‍ය වේ. 

වර්ෂ 2018 දී රූකඩ නැටුම් කලාව ද 2021 දී අපේ සම්ප්‍රදායික ගැමි අත්කම් සම්ප්‍රදායක් වන දුම්බර රටා අස්පර්ශනීය ලෝක උරුමයක් ලෙසට යුනෙස්කෝ සංවිධානය පිළිගෙන තිබේ.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙනි

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00