කුහකකම්වල සීමාවක් තිබිය යුතුය. සියල්ල මුදල මතම තීරණය කිරීමේ අවාසනාවන්ත ප්‍රතිඵල මේ මොහොතේත් අපි අත්දකිමින් සිටින්නෙමු. එදා සිරිමාවෝ මැතිනිය මෙරට ආර්ථිකය මෙරට ජනතාව මතම ගොඩනගන්නට ගත් උත්සාහය පරාද කළේ ලාංකිකයන් ජේ.ආර්ව අතිදැවැන්ත බහුතරයකින් ජයග්‍රහණය කරවමිනි. සිරිමාවෝ මැතිනිය එදා ලාංකිකයන් ආහාරයට ගන්නේ කුමක්ද එය ලාංකිකයින්ම වගා කළ දෙයක් විය යුතුය යන්න සිය දේශපාලන ශීර්ෂය කරගත් අයෙකි. අවසානයේ ඇයට වැරුදුණේ (හෝ වැරුද්දුවේ) එතැනය. සල්ලි කොළ උඩ සියල්ල පාවාදෙන රටකට එවන් &අපේ කියනා හැඟීම* නොගැළපෙනවා විය යුතුය. මේ ලියැවිල්ලද උඩින් අතපතාගාන්නේ නම් ඉන් ඔබට දැනෙන ස්පර්ශයද එවැන්නක් විය හැක. එහෙත් බුද්ධිමත් පාඨක ඔබ එසේ නොකරනු ඇතැයි සිතන්නෙමු.
මානව ඉතිහාසය ගොඩ නැගී ඇත්තේ බලශක්තිය මත බව කියුවහොත් යමකු ඊට ප්‍රතිතර්ක ගොඩ නගනු ඇත. එහෙත් හිරැ එළිය දැක අවදි වී හිරැ ගිලීයන විට නින්දට යායුතු ලෙසින් සංස්කරණය කර ඇති මිනිස් සිරැරේ සැබෑ යථාර්ථය එය බව වටහාගත යුතුය. යන්ත්‍රසූත්‍ර සමඟ ගෙවැදී සිටින වර්තමානයේ මේ සියල්ල සහමුලින්ම වෙනස් වුවද ඔබේත් මගේත් මුතුන් මිත්තන් හිරැට වන්දනා කළේ හිරැ සියල්ල තීරණය කරන නිසාවෙනි. පැවැති මහින්ද රාජපක්ෂ රජයට එකී මෙකී නොකී දහසක් දෑ කියමින් බැණවැදුණු වර්තමාන ආණ්ඩුවේ (එවකට විපක්ෂයේ) බර තුරැම්පුවක් වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයයි. නොරොච්චෝලයට චීනයෙන් කල් ඉකුත් වූ දහජරාවක් ගෙන එනා බව කියමින් එකල විපක්ෂය නැටූ නෙයියාඩගම් අද වෙද්දී එසේ සිදුනොකළා සේ සිටින්නේ නොරොච්චෝලේ නැතිවෙන්නට මේ ලිපිය ලියන්නේ ළාම්පු එළියෙන් නිසා ය. ඉන් අනතුරැව පැමිණියේ සාම්පූර් බලාගාරයේ කතාවයි. සාම්පූර්හි තාපවිදුලි බලාගාරයක් සෑදියයුතු බව යෝජනා සම්මත වූයේ දැන බොහෝ කලෙකට පෙරය. එහෙත් කෙමෙන් කෙමෙන් කල් ඉකුත් කරවමින් පැමිණි එය හුදෙක් පරිසරවේදීන්ගේ මස්තකයේ තබා ගෙලසිඳ දමා අවසන්ය. එවන් තාප විදුලි බලාගාරයකින් මෙරට පරිසරයට අතිදැවැන්ත විනාශයක් සිදුවනබව උකහා දක්වමින් මරා දැමූ සාම්පූර් ව්‍යාපෘතියේ අනාගත පව ගෙවන්නට දැන් මෙරට වැසියන් සූදානම් විය යුතුය. එසේ සූදානම් වීමට යම් පමණකින් හෝ අකැමැත්තක් වේ නම් මේ ලියැවිල්ල අවසානයේ ඒ අකැමැත්ත දුරැව යනු ඇත.
ලෝකයේ දියුණු මෙන්ම දියුණු වෙන්නට ඕනෑකමක් ඇති රටවල් සියල්ලම පාහේ දැන් බලශක්ති අවශ්‍යතා මහා පරිසරයටම භාරදී තිබේ. සුළං විදුලිය, සූර්ය බලශක්තිය (මේ කියන්නේ සිරිසේන ජනපතිඳුන් ගෙවල්වල වහලේ සවිකරන්නට යන එක ගැන පමණක් නොවේ), මුහුදු රළ, ස්වාභාවික වායු මෙන් විවිධාකාරයේ ඉසව් ගණනාවක් මෙකී පැලැන්තියේ තිබේ. ගල් අඟුරැ, ඩීසල්, දැවිතෙල් හෝ වගාකරන්නට ඇති වතුර ටික මුහුදට යවනා ජලවිදුලිය මත රටේ අනාගත බලශක්ති අවශ්‍යතාවය බලාපොරොත්තුවීමට වඩා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ගිල්වා දැමීම යහපත් ය. දැන් කතාව මෙය නොවේ. මේ කියූ කතාව අපි ඉගෙන ගත්තේ හයවසර ආරම්භක විද්‍යාව පාඩමේදී ය. එහෙත් වර්තමාන විදුලිබල අමාත්‍යතුමන් එකී පාඩම ඉගෙනගෙන තිබේද යන්න සැක සහිතය. එක්කෝ ඔහු හා ඔහුට උපදෙස් දෙන උන්දැලෑ පාඩම ඉගෙන ගත්තද මේ අහිංසක රට කෙරෙහි ඇති අනාදරය නිසා පාඩම අමතක කර සිය න්‍යායපත්‍රය අනුව කටයුතු කරනවා විය යුතුය. එසේ කියන්නට සාධාරණ හේතුද තිබේ.
රටේ අනාගත බලශක්ති අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ගොඩ නැගිය යුතු විදුලිබලාගාර හා ඒවායින් ලබාගැනීමට සූදානම් වියයුතු විදුලිබල ප්‍රමාණය කොපමණද යන්න තීරණය කරන්නේ මහජන උපයෝගිතා කොමිසම විසිනි. එසේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා එක්ව ඔවුන් තීරණය කරන්නය යෙදෙන්නේ මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයෙන් ලබාගන්නා විදුලි ප්‍රමාණය තවත් ඉහළ යැවිය යුතු බවය. ඒ අනුව සුළං විදුලිය හා සූර්ය බලශක්තිය ලබාගැනීම උදෙසා අවශ්‍ය නීති සම්පාදනය සිදුකෙරේ. 2007 අංක 35 සුනිත්‍ය බලශක්ති පනත හරහා ඒ වෙනුවෙන් නීති යහපත් අයුරින් සම්පාදනය කෙරෙන අතර ඉදිරියේදී ඒ සඳහා සූදානම් වියයුතු බවටද නිර්දේශ ඉදිරිපත් කෙරේ. දැනට මෙරට විදුලිබල අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට හිමි විදුලිබලාගාරවලින් යම් විදුලි ප්‍රමාණයක් නිපදවන අතර ඊට අමතරව ඉතිරි අවශ්‍යතාව පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සිදුවේ. එහිදී ඒකකයකට ගෙවන්නට සිදුවන මුදල පිළිබඳ සාධාරණ ගැටලු පැවතිය හැක. එකී පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා එක් විදුලි ඒකකයකට ගෙවන්නට සිදුවන මුදල සම්බන්ධව ඇති ගැටලුවේ මහජනයාගේ පාර්ශවයේම අපිත් සිටගන්නා බව ලියමින් කාරණාවේ ගැඹුරට යා යුතුය.
ඩීසල් හා ගල් අඟුරැ පරිසරයට අහිතකර බව අලුතින් ලියන්නට ඕනෑ නැත. එහෙත් කළුවරේ සිටිනවාට හෝ ප්‍රකෝටි ගණනින් ගෙවා විදෙස් රටවලින් විදුලිය ගන්නවාට හෝ වඩා මේ කාරණා දෙක යහපත් වනු ඇත. මේ කාරණා දෙකෙන් පූර්ණ වශයෙන් තොරව මෙරටට විදුලිය දෙන්නට කිසිදු රජයකට අවම තරමින් ඉදිරි වසර 20ක කාලය තුළ හැකියාවක් නැත. මේ විස්ස බොහෝ විට සියයක් හමාරක් දක්වා දිගුවිය හැක. එසේනම්, ඔබත් මමත් වටහාගත යුතු වන්නේ මෙරට හරිත වර්ණයද ආරක්ෂා කරගනිමින්, රටේ ආර්ථිකයද නොමරා, ජනතාවද කළුවරේ නොතබා බලශක්ති ක්ෂේත්‍රයේ කළයුතු හොඳම වෙනස නම් පුනර්ජනනීය බලශක්ති අංගය තවත් වැඩිදියුණු කිරීම බවය.
මේ අනුව දැනට මාස කිහිපයකට පෙර සිට විදුලිබල මණ්ඩලය &මෙරට* කුඩා පරිමාණ ආයෝජක පැලැන්තියෙන් ඉල්ලුම්පත් කැඳවූයේ රටේ විවිධ ස්ථානවල කුඩා ප්‍රමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවා ඒවා හරහා ජාතික පද්ධතියට විදුලිය සැපයීමේ එක්තරා ආකාරයක වෙළඳ ගනුදෙනුවක් වෙනුවෙනි. මෙහිදී අපි &මෙරට* යන්න ඉස්මතුකරන්නට හේතුවූ කාරණය ඉදිරියේදී පැහැදිලිවනු ඇති අතර දැනට එය සිහියේ තබාගැනීම වැදගත්ය. ඒ අනුව මෙගාවොට් පහක් දක්වා වන කුඩා පරිමාණ විදුලි බලාගාර වෙනුවෙන් මෙකී අයදුම්පත් කැඳවූ අතර ඒ වෙනුවෙන් එක් මෙගාවොට් එකකට රැපියල් එකලක්ෂ පහළොස්දහසක ආපසු නොගෙවන මුදලක් ගෙවන්නටද නියෝග කෙරැණි. මෙහිදී මෙකී මෙගාවොට් කතාන්දරය පොදු පාඨකයාට නොවැටහෙනවා විය යුතුය. එය තරමක් පැහැදිලි කරන්නේ නම් පොදු විදුලිය මනිනු ලබන්නේ මෙකී ඒකකයෙනි. ඔබ ඔබේ නිවෙසට විදුලිය ලබාගත් පසු ඔබට බිලක් පැමිණෙන අතර එහිදී ඔබ භාවිතාකළ විදුලි ප්‍රමාණය මැනෙන්නේ මෙකී මෙගාවොට්වලට වඩා පහළින් ඇති කිලෝවොට් වලිනි. කිලෝවොට් එකක් යනු අඟලේ බටයකින්, බටය පුරවා වතුර පැමිණෙන ප්‍රමාණය යැයි සැලකුව හොත් ඔබ අඟලේ බටයෙන්, බටය පුරවා, පැයක් තිස්සේ ගෙදරට වතුර ගත් පසු ගෙවන්නට වන බිලට විදුලිබල මණ්ඩලයේ මනුකියවන මහත්තයා පවසන්නේ &කිලෝවොට් පැය එකක්* යනුවෙනි. මෙගාවොට් එකක් යනු ඉහත කී ආකාරයේ අඟලේ බට දාහකින් වතුර ගැනීම හා සමාන ක්‍රියාවලියකි. මන්දයත් මෙගාවොට් එකක් යනු කිලෝවොට් දහසකි. නැවතත් අපගේ ප්‍රධාන මාතෘකාවට ගියහොත්, විදුලිබල මණ්ඩලය සූර්යකෝෂ භාවිතයෙන් අඟලේ බට දහසකින් වතුර (එනම් මෙගාවොට් එක බැගින්) ලබාදිය හැක්කන්ගෙන් මෙලෙස ඉල්ලුම්පත් කැඳැවිණි. දැනට විදුලිබල මණ්ඩලයට මෙගාවොට් 1800කට පමණ ඉල්ලුම්පත් ලැබීම් තිබේ. ඒ අනුව ආසන්න වශයෙන් රැපියල් මිලියන 200ක් හෙවත් කෝටි විස්සක පමණ &නැවත නොගෙවන* මුදලක් කුඩා පරිමාණ ආයෝජකයන්ගෙන් එක්කාසුකරගන්නට සමත්ව ඇත. ගැටලුව එය නොවේ. දැන් විදුලිබල ඇමැතිවරයා හදිසියේ මේ කාරණයේ වෙනසක් සිදුකිරීමය.
එය මෙසේ පැහැදිලි කළ හැක. මෙතෙක් කලක් පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සඳහා ඔවුනට එක් විදුලි ඒකකයක් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කළේ මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය හා සුනිත්‍ය බලශක්ති අධිකාරියයි. ඒ අනුව තාප විදුලි බලාගාර සඳහා එක් අගයකුත්, සුළං විදුලි බලාගාර සඳහා තවත් අගයකුත්, සූර්ය විදුලිබලාගාර සඳහා තවත් අගයකුත් වශයෙන් &සාධාරණ* අගයක් ලබාදුනි. වෙසෙසින්ම මෙහි සඳහන් කළයුත්තේ මෙම අගය හුදෙක් අහසින් කඩාපාත්වූ අගයක් නොව සෑම කරැණක්ම සළකාබලාගත් තීරණයක ප්‍රතිඵලයක් වූ අගයකි. දැනට අනෙක් විදුලි ක්‍රමවේදයන් මොහොතකට පසෙකින් තබා ප්‍රස්තූතය වූ සූර්ය බලශක්ති කාරණය දෙසට යන්නේ නම්, එකල ඔවුනට එක් විදුලි ඒකකයක් එනම් කිලෝවොට් පැයක් (අඟලේ බටයෙන් පැයක්පුරා වතුර ලබාදීමට) ගෙවනු ලැබූ මුදල රැපියල් 23.10කි. මෙය අදාළ විදුලි බලාගාර හිමියන් ඉල්ලූ මුදල නොව රජය විසින් ලබාදීමට තීරණය කළ මුදලය. මෙකී මුදල ලබාදීමට තීරණය කිරීමේදී ඒ වෙනුවෙන් වන සියලුම කාරණා සළකා බැලුණි. යන්ත්‍ර සූත්‍රවල ගුණාත්මකභාවය, එසේම සූර්ය පැනල පිහිටුවන්නට යන ඉඩම්වල ස්වභාවය, බලාගාරයේ සිට ජාතික පද්ධතිය දක්වා රුහැන් ඇදීමට ගෙවන්නට වන අගය ආදී භෞතික කාරණාවල සිට බලාගාරයේ ආරක්ෂාවට යොදවන සිකියුරිටි මහත්තයාගේ වැටුප දක්වා කාරණා සිතා බැලුණි. ඒ අතීතයේදී ය. වර්තමානය කරා මෙකී සිදුවීම පැමිණිමේදී විදුලිබල මණ්ඩලයෙන් හා වගකිවයුතු තැනැත්තන් විසින් සූර්ය විදුලිබලාගාර හිමි කුඩා පරිමාණ ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කළේ ඒකකයට ගෙවන්නට අවශ්‍යවන මුදලේ යම් අඩුකිරීමක් සිදුකරදෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලාංකික ආයෝජකයෝ සිය යන්ත්‍රසූත්‍ර ආදියට වැයවන මුදල ගැන සලකා බලා ඒවායේ ගෝලීය මිල අඩුවූ බැවින් එක් විදුලි ඒකකයක අගය රැපියල් 18. 60ක් දක්වා පහත දමන්නට කැමැත්ත ප්‍රකාශ කළහ.
පාඨක ජනයාගේ දැනගැනීමට යම් අතිරේක කාරණා කිහිපයක් මෙහිලා සඳහන් කළ යුතුය. එනම්, පොදු පරිසරයට හානියකින් තොරව විදුලිය උත්පාදනය කිරීම සඳහා සූර්ය ශක්තිය භාවිතය රටට කොතරම් උචිත වුවද එහිදී වැයවන මූලික වියදම අතිශයින්ම ඉහළ අගයකි. තවත් වැටහෙන්නට කියන්නේ නම් එක මෙගාවොට් එකක බලාගාරයක් සාදන්නට අක්කර 4. 5ක භූමියක් පුරාවට සූර්ය පැනල ඇතිරිය යුතුය. ඒ සඳහා මිලියන 170ක පමණ මුදලක් වියදම් වනු ඇත. මිලියන 170ක් යනු කෝටි 17කි. කෝටි 17ක් බැගින් ඇති ලාංකිකයන් මෙතරම් ප්‍රමාණයක් රටේ සිටීද යන්න දැන් ඔබට සිතෙනු ඇත. නැත. ව්‍යාපාරකයන් යනු රෝල ගසනා පිරිසකි. මේ කෝටි 17න් 16ක්ම බැංකු ණය වේ. කෙසේ හෝ එම උත්සාහය දැරැවේ සූර්ය බලශක්තිය වැනි පාරිසරක වශයෙන් වඩාත් යහපත් කාරණාවක් වෙනුවෙන් බව අමතක කළ යුතු නැත.
ආරම්භක වියදම පැහැදිලිව රටේ විදුලි පාරිභෝගිකයන් වන ඔබට මට අදාළ නොවේ. මෙගාවොට් 1ක් දෙන්නට සාදන විදුලි බලාගාරයක් සෑදීම වෙනුවෙන් කෝටි 100ක් බැරිනම් 200ක් ගියද අපට ගැටලුවක් නොවේ. රටේ පොදු පාරිභෝගිකයාට ගැටලුව වන්නේ අදාළ බලාගාරයෙන් එක් කිලෝවොට් පැය එකක් (අඟලේ බටයෙන් පුරා පැයක්) විදුලිබල මණ්ඩලයට විකුණන අගය පමණි.
මන්දයත් විදුලිබල මණ්ඩලය අදාළ පුද්ගලික ආයතනයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමට වියදම් කරන්නේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වීමය. එකී විදුලි ඒකකයක මිල තීරණය කිරීමේදී බලාගාරය සෑදීම වෙනුවෙන් වැයකරන මුදලටත් වඩා හේතුපාදක වන කාරණයක් තිබේ. එය නම් එක් විදුලි ඒකකයක් සැකසීම වෙනුවෙන් වියදම් වන මුදලයි. එනම්, ඩීසල් විදුලි බලාගාරයකින් පැයක් පුරා අඟලේ බටයෙන් එක දිගට වතුර දීමට රැපියල් 20ක් වැය වෙනවා යැයි සිතන්න. එසේම අදාළ කර්තව්‍ය සඳහාම ගල් අඟුරැවලින් රැපියල් 10ක් වැය වෙනවා යැයි සිතන්න. නමුදු සූර්ය බලශක්තිකරණයේ දී කොපමණ මුදලක් වැයවේද... සරල සාධාරණව බැලුවහොත් මුදලක් වැය නොවේ. එයත් පාඨක ඔබ දැනට මනසේ සටහන් කරගත යුතුය.
මීළඟට ලියැවෙන කාරණය මේ සියල්ලටම වඩා භයානකය. සූර්ය බලශක්තිය කොතරම් ලාභදායී වුවද සූර්ය කෝෂ පැනලය එතරම් සුන්දර නැත. කථාවට කියන්නේ ලොව දරැණුම නිෂ්පාදනයන් අතර සූර්ය කෝෂද ඉදිරියෙන්ම සිටිනා බවය. ඊට සහේතුක කාරණය වන්නේ සූර්ය කෝෂයක් සෑදීමේදී රසදියවල සිට තවත් පරිසරයට දරැණු බලපෑම් කළ හැකි නශ්ඨාවශේෂ විශාල සංඛ්‍යාවක් ඒ තුළ තැන්පත් වන බැවිනි. නශ්ඨාවශේෂ යනුවෙන් සඳහන් කළේ අදාළ සූර්ය කෝෂ භාවිතයේ පවතින තාක්කල් එම දරැණු අමුද්‍රව්‍යවල බලපෑමක් නැතිවුවද යම් දිනෙක අදාළ සූර්ය කෝෂය භාවිතයෙන් ඉවත්කළ පසු තත්ත්වය සහමුලින්ම වෙනස් වීමය. මීට වසර 10කට පමණ පෙර ලොව සූර්ය කෝෂ ව්‍යාපෘති ආරම්භ කළ රටවල්වලට හෝ ව්‍යාපාරිකයන්ට දැන් පවතින විශාලතම ගැටලු වන්නේ ඔවුන් සතු කල් ඉකුත් වූ සූර්ය පැනල පටවන්නට පොළොවක් සොයාගැනීමය. ඒ සදහා ඔවුන් සිය ලාභයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරන්නට සූදානම්ය. මෙම සූර්ය පැනලවල ආභ්‍යන්තරයේ කෝෂ ප්‍රතික්‍රියා විනාශ වී තිබුණද බාහිරින් මහා ලොකු වෙනසක් සොයාගන්නට නොහැක. ඒවා අලුත්ම සූර්ය පැනල මෙනි. ශ්‍රී ලංකාව වැනි රටක පවතින සූර්ය බලශක්ති ඉල්ලුම හරහා රිංගා ගොස් මෙවැනි මහත් භයංකර විෂ තොගයක් මෙරටට පැටවීමේ සූදානමක් දැනටමත් සැකසෙමින් පවතින බව ඔබ නොදන්නවා විය හැක.
ඊට පාර සෑදෙන්නේ ලිපියේ ආරම්භයේදීම කියූ සූර්යකෝෂ විදුලි බලාගාරය සඳහා වන ඉල්ලුම්පත් කැඳවීමේ සිදුවීමට පසුය. එකී ඉල්ලුම්පත් කැඳවීමේ කාරණයේදී ඊට මෙරට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් විදුලිබල මණ්ඩලයේ ගෙවීමේ මිල වූ එක් විදුලි ඒකකයකට රැපියල් 18.60ක වටිනාකමට යටත්වය. එහෙත් හිටි හැටියේම විදුලිබල අමාත්‍යංශය නිවේදනය කර සිටියේ සූර්ය බලශක්ති බලාගාර සඳහා ඉහත කී මිල ගෙවන්නට සූදානම් නැති බව හා ඒ සඳහා ඒකක මිල වෙනුවෙන් ටෙන්ඩර් කැඳවිය යුතු බවය. සාමාන්‍යයෙන් මෙගාවොට් 1ට වඩා වැඩි ධාරිතාවයෙන් යුතු බලාගාරයක් සඳහා අවසර ලබාදීමේදී ටෙන්ඩර් කැඳවීම සිදුවේ. මේ කියූ අවසර ලබාදීම යට ඇති අනෙක් කාරණය නම් අවසර ලබාදෙන ආයතනයට රජය විසින් තවත් පොරොන්දුවක් ලබාදේ. එනම්, ඔවුන් ගිවිසුම් කාලය පුරාවට නිපදවන විදුලිය අනිවාර්යයෙන් මිලදී ගන්නා බවය. එම රාජ්‍ය පොරොන්දුව නිසාම මෙය කිසිසේත් පාඩු නොලබන ව්‍යාපාරයකි. ගණන් හදා බලා ආරම්භක වියදමත්, සූර්යකෝෂ රුකබලාගන්නා සිකියුරිටි මහත්තුරැත්, ඔවුන්ගේ වැටුපක් ආදී සීමිත වියදම් කිහිපයක් මෙකී කාරණයේදී වැය පක්ෂයේ තනි දුරතරයි. ඒ හැරැණුවිට ඉරඑළිය විකිණීම අතිශයින් ලාභදායී ගනුදෙනුවකි. එකී ගනුදෙනුවට මෙරට විදුලිබල මණ්ඩලය ආරාධනය කළේ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් හටය. ඒ අනුව එකී ව්‍යවසායකයන්ට අනුව ඔවුන් ඒ සඳහා සියලු පිඹුරැපත් සූදානම් කළේ ලොව හොඳම නිෂ්පාදන, හොඳම සූර්යකෝෂ ආදිය යොදාගනිමින් හා තමන් විදුලි බල මණ්ඩලය හා එළැඹෙන ව්‍යාපාරික ගිවිසුම් තලය පුරාවටම විදුලිය ජාතික පද්ධතියට එකතු කිරීමේ අභිලාෂයෙනි. දැන් බුද්ධිමත් පාඨකයකුට යම් ගැටලුවක් ඇතිවිය හැක. එනම්, එලෙස ඕනෑකමක් නැති අයකුද සිටිය හැකිදැයි යන්නයි. ඔව්, එවැන්නෝද සිටිති.
&පැරෂුට්කාරයින්* ලෙස හැඳින්වෙන විදේශීය සම්ගම් කිහිපයක් මෙහිදී බාහිරින් රුගෙන විත් ශ්‍රී ලංකා පොළොවේ සිටුවීමට වර්තමාන බලාධිකාරිය සූදානමින් සිටිති. එය සිදුවන්නේ කෙසේද?
මෙහිදී භාවිතවන්නේ මුලින් කී ටෙන්ඩර් ක්‍රමවේදයයි. එනම්, යම් විදේශික සමාගමක් පැමිණ මෙරට පොළොවේ සූර්යකෝෂ සවිකර මුලින් කී මෙරට ව්‍යවසායකයන්ට වඩා අඩු මුදලට විදුලි ඒකක ලබාදෙන්නට සූදානම් නම්, මෙරට ව්‍යාපාරිකයන් ඉවත්කර අදාළ විදේශික පිරිසට අවස්ථාව ලබාදීම සිදුවේ. එහිදී එකී පිරිස එක් විදුලි එක්කයක් රැපියල් 6-10 අතර මුදලකට දීමට කැමැත්ත පළකර ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් REDA (Renewable Energy Developers Association) සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ &එයාලට කියන්න ඇවිත් එක මේසයක ඉඳගෙන පැහැදිලි කරන්න කියලා කොහොමද මේ ගානට විදුලිය දෙන්නේ කියලා. අපි ලැහැස්තියි ලාංකික ව්‍යාපාරිකයෝ විධියට ඔවුන්ට පැහැදිලි කරන්න ඇයි විදුලි ඒකකයකට මේ වගේ මුදලක් ගන්නේ කියන එක.*
සැබෑ කාරණය ඉදිරියේදී තවදුරටත් පැහැදිලි කරන්නට දේශය අපි බලාපොරොත්තු වන්නෙමු. යම් විදේශීය පාර්ශ්වයක් රජයේ බලගතු චරිතද අල්ලාගෙන ලෝකයේ රටවල්වලින් ඉවත්කළ ජරාජීර්ණ සූර්යකෝෂ ගෙනැවිත් මේ පොළොවේ සවිකර, ලෝකයේ කුණුගොඩ බවට අප රට පත්කරන්නට යන්නේද යන්න පිළිබඳව අපි අවධානයෙනි.
♦ ප්‍රසාද් අබේවික්‍රම