2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

යෝනාගේ දුම්කුඩු හෙප්පුව

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 100

මුහුද මැද යාත්‍රා කරමින් තිබූ මගී නැවක් ගල් පරයක හැපී ගිලෙන්නට වන. මගීහු දිවි ගලවාගත හැකි මඟක් සොයමින් ඒ මේ අත දුවන්නටත්, විලාප දෙන්නටත් පටන් ගත්හ.

මේ මහා කලබලය මැද නැවේ සිටි එක් යෝනක මනුස්සයෙක් (අරාබි ජාතිකයෙක්) කිසියම් උපක්‍රමයක් සොයන්නට මෙන්, නැවේ කුඹ ගසට නගින්නට ගත්තේය. කුඹ ගස උඩටම නැගගත් යෝනා, මඳක් වටපිට බලමින් සිට, තම ඉණට අත යවා දුම්කුඩු හෙප්පුව ගෙන, ඉන් කුඩු ටිකක් නාසයට ඉරුවේය. ඉන්පසු සෙමින් සෙමින් කුඹ ගසින් බසින්නට විය.

ඊට සුළු මොහොතකට පසු යෝනාත් සමඟම නැව මුහුදු පත්ලට ගිලා බැස්සේය.

මට මේ පැරණි ජනප්‍රවාදය යළි මතකයට නැගුණේ සිරි ලංකාවේ අපේ මිනිසුන්ද අර ‍යෝනාට බොහෝ සමාන යැයි හැඟුණු බැවිනි. රුවුල පත්තු වූ විට ඉන් සුරුට්ටු පත්තු කර ගන්නට යන්නේද එවැනි අපේ උන්දලාය.

අර යෝනා හෝ නානා ජීවිතය පරදුවට තබා දුම්කුඩු ඉරුවේ ආතල් ගැනීමටය. අනුන්ගේ දුකෙන් තම මඩිය තර කරගෙන, ආතල් ගැනීමට අපි තරම් 'කැපවෙන' ජාතියක් ලොව තවත් නැති තරම්ය.

අපේ ජන කොට්ඨාස අතර, 'ව්‍යාපාරික ප්‍රජාව' යන උජාරු නමින් හැඳින්වෙන වැදගත්, ධනවත් පිරිසක්ද සිටිති. රටේ ඕනෑම අර්බුද අවස්ථාවකදී තමන්ගේ ව්‍යාපාර සතු භාණ්ඩ (වෙළෙඳ ද්‍රව්‍ය) වැඩි මිලට විකිණීමට ඔවුන් හරි හපන්නුය. 'බඩු හංගනවා' යන යෙදුමද ඔවුන් සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නකි. වැඩි ලාභ ගැනීම සඳහා පසුගිය කාලයේ ගෑස්, සිමෙන්ති, ඇස්බැස්ටස්, කිරිපිටි යනාදිය පමණක් නොව, බේත් හේත් පවා සඟවා තබා, පසුව අලුත් මිල ගණන්වලට විකුණා ලාබ ලැබූ වෙළෙඳ මහතුන් ගැන කවුරුත් දනිති.

''අනේ අපේ සහෝදර ජනතාවට සල්ලි නෑ. අපි පොඩි ලාබයක් තියාගෙන මිනිස්සුන්ට බඩු විකුණමු.'' යැයි කියූ එකෙක්වත් ඒ 'ප්‍රජාව' අතර සිටියේ යැයි නොසිතමු.

ජපානයේ මහා සුනාමිය ඇතිවූ අවස්ථාවේ, එරට වෙළෙඳ ව්‍යාපාරිකයන් විපතට පත් ජනතාවට බඩු මුට්ටු දුන්නේ නොමිලේය. සමහරුන් මත්පැන් පවා නොමිලයේ ගෙන යන්නට ඉඩ දුන් බව මාධ්‍ය මගින් දුටිමු. අපේ රටේ නම් සුනාමි හතක් ආවත්, ඒ ජාතියේ වෙස්සන්තරලා දක්නට ලැබෙන්නේ නැත. එහෙත්, සුනාමි ආධාරවලින් පොහොසත් වූවන් ගැන නම් අසන්නට ලැබුණි.

තමන්ගේ රටේ හා ජාතියේ දුර්වලකම් ගැන සිනාසීම, ලැජ්ජාවට කාරණයක් නොවේ. එය ඔවුන්ගේ සංස්කෘතික හැදියාවේ ලක්ෂණයකි. උපහාස කතාකරුවෝ නිතරම තමන්ටම සිනාසෙති. ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දීය ගත්කරු කුෂ්වන්ත් සිං හැමවිටම තමන් අයත් සීක ජාතිය (පංජාබ්) උපහාසයට ලක් කළේය. සීකයන්ද ඒ කතා කියවා සිනාසුණා මිස, කුෂ්වන්ත්ගේ ගෙට ගල්මුල් එල්ල කරන්නට ගියේ නැත.

කුෂ්වන්ත්ගේ එක් සිනා කතාවක දැක්වෙන පරිදි, ඔහුගේ පංජාබ් මිත්‍රයකු රිය අනතුරකට මුහුණපා රෝහල්ගත කෙරුණි. ඔහු ව්‍යාපාරිකයෙකි.

බරපතළ තත්ත්වයේ සිටි ඔහු සැත්කමකට පසු, රෝහල් කාමරයකට ගෙන එනු ලැබුණි. සිහිය ලැබූ පසු, ඔහු, අසල සිටි හෙදියගෙන් මෙසේ විමසුවේය.

''මං මේ කොහෙද? මට මොකද වුණේ?''
''සර් ලොකු කාර් ඇක්සිඩන්ට් එකකට මුහුණපෑවා. දැන් ඉන්නෙ හොස්පිට්ල් එකේ.''
''මොනවා! අනේ මගෙ ඇම්බැසඩර් කාර් එකට මොකද වුණේ?''
''කාර් එකේ නං ගන්ඩ දෙයක් නෑ.. ඒත් ඒ ගැන දුක් වෙන්ඩ එපා, අපි සර්ගෙ එක අතක් කපලා ජීවිතේ බේරගත්තා.''
''එක අතක් කැපුවා.. අනේ එතකොට මගේ රොලෙක්ස් ඔරලෝසුවට මොකද වුණේ? දැන් කාලේ ඒක ලක්ෂ දෙකක් විතර වටිනවා.''
''ඒ ගැන දුක් වෙන්න එපා සර්... කලිසම් සාක්කුවේ තිබුණු පර්ස් එක අපිට හම්බවුණා.. බෑන්ක් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් සේරම එක්ක අපි ඒක සර්ගෙ වයිෆ්ට දුන්නා.''
''අයියෝ! ඒක නැතිවුණා නං ඊට වඩා හොඳයි.'' 

රෝගියා කම්පා වූයේය.

''කලබල වෙන්න එපා සර්... සර්ගෙ වයිෆ් එළියෙ ඉන්නවා. මං එන්න කියන්නං.''

මොහොතකින් ඔහුගේ බිරිඳ, කාමරය තුළට පැමිණියාය.

''ඕ කමලා... ඔයා තනියමද ආවෙ...?'' 

එවිටම ඔහුගේ වැඩිමල් දියණියද කාමරයට පැමිණියාය.

''නෑ තාත්තෙ. මාත් අම්මත් එක්ක ආවා.''
''එතකොට කෝ අයියා?''

එවිටම ඔහුගේ පුතාද, කාමරයට පැමිණ පියා අසල සිට ගත්තේය.

''මාත් ආවා තාත්තෙ. අපි ඔක්කොම ඔයා ළඟ.''
''හරි ෂෝක්! එතකොට කවුද ෂොප් එක බලාගන්නෙ!''

ව්‍යාපාරික ප්‍රජාවගේ හැටි ඔන්න ඔහොමය. එහෙම බලනකොට සිරි ලංකාව Part of India යැයි කී කතාවේද වරදක් නැති සේය.

I කපිල කුමාර කාලිංග