2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

කාරිය කෙරෙන තුරු කාගෙත් කයිවාරු

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 01:59 69
මේ සිරි ලංකාවේ පඳුරකට පයින් ගැසුවොත් ''නායකලා'' දෙතුන් දෙනකුවත් එළියට විසිවනු ඇත. ඒ තරමටම නායකලාය. හැම තැනකම නායකලාය.
 
එහෙත් මේ නායකලාගෙන් බහුතරය නායකත්වයෙන් නායකලා නොවේ. නමින් විතරක් නායකලාය.

බණ්ඩාරනායකලා, සේනානායකලා එසේ නොවේ. රට පාලනය කළ නායකලාය. ආදිවාසීන්ගේ නායකයාට කලින් කියූ නම වැදි නායකය.

සංඝ සමාජයේද, නායක තනතුරු බොහෝය. ක්‍රීඩා පිටියේද නායක සහ උප නායකවරු වෙති. පාසලේද ශිෂ්‍ය නායකවරු සිටිති.

පාර්ලිමේන්තුව කරගෙන යාමට, කතානායක හා සභා නායක නැතිව බැරිය.

වන්නි ප්‍රදේශයට අධිගෘහිත දෙවියා අයියනායකය. විමලරත්න කුමාරගම ලියූ ''අයියනායක'' නමැති කවි පෙළ බොහෝ සෙයින් ජනප්‍රිය විය. මේ එහි එන කවකි.

 
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
 
ඉහළ පෙළැන්තියේ නායකවරුන්ගෙන් මෙන්ම, අයියනායක දෙවියන්ගෙනුත් වැඩක් කර ගැනීමට නම්, පුද පඬුරු දිය යුතු බවක්ද මින් ඉඟි කෙරේ. ඒ සඳහා කුමාරගමයන් යොදන ''ගොදුරු'' යන වදන උත්ප්‍රාසාත්මකය.
මේ රටේ බොහෝ සෙයින් සිටින්නේ නමින් හෝ වාසගමින් නායක කෑල්ලක් උරුම වී ඇතත්, ලොකුකම් නැති, නිකං සාමාන්‍ය නායකලාය.

වන්නිනායක, මදනායක, සමරනායක, අමරනායක, රත්නායක, දිසානායක හා ගමනායක වැන්නෝද එවැනි නායකවරුන් අතර වෙති.

නායකලා ගැන මෙවැනි අසම්පූර්ණ පූර්විකාවක් ලිවීමට සිත්වුණේ විපක්ෂ නායකතුමා විසින් පසුගිය දිනෙක කියන්නට යෙදුණු කතාවක් නිසාය. එතුමා කියන හැටියට, මේ රට තුළ (දේශපාලනය තුළ) බයිය නායකයෝ, සවාරි නායකයෝ සහ කයිය නායකයෝ යනුවෙන් තුන් වර්ගයක් සිටිති.

බයිය නායකයෝ රට බංකොලොත් කළහ.

සවාරි නායකයන් ලෝකය වටා ගියත්, රටට තඹ සතයක් ගෙනාවේ නැත.

කයිය නායකයෝ ජනතාවට බොරු සංදර්ශන පවත්වනවා පමණි.

මට හැඟෙන හැටියට නම්, මේ තුන්ගොල්ලටම පොදුවේ කයිය නායක යෙදුම භාවිත කිරීමේද වරදක් නැත.

කයියෙන් තොර දේශපාලනයක් නැත. 

කයියට අසමත් දේශපාලකයා ජනප්‍රිය වන්නේද නැත.

තමන් ඇන්දෙන බව දැන දැනත්, කයිවාරම් (පුරසාරම්) නැතහොත් කයිවාරු (චාටු කතා, රුවටිලි බස්) ඇසීමට, අපේ මිනිස්සුද කැමතිය.

''කයිය'' යන වදනෙහි සමූහය, එකට වැඩ කරන පිරිස (නිද: කුඹුරු වැඩ) යන අරුතද වෙයි.

එහෙත්, ඉහත කී දේශපාලන කයිවාරුකාර සමූහය නම්, මේ රටට කළ දෙයක් නැත.

දේශපාලන අර්ථයෙන් ගත් කල, විපක්ෂ නායකතුමාද දැනට කරන්නේ, කයිවාරු ගැසීමකි. මේ කාගෙ කාගේත් කයිවාරු යථාර්ථයක් වන්නේද යන්න දැකබලාගත හැක්කේ ඔවුන් බලය අතට ගත් පසුය.

දේශපාලන පොරොන්දු යනු, ලොව පුරාම වෙසෙන කාටූන් ශිල්පීන්ගේ, තීරු ලිපි රචකයන්ගේ සහ සිනා කතා ලියන්නන්ගේ ජනප්‍රිය මාතෘකාවකි. Broken Promises නමින් පළ වූ කාටූන් එකතුවක එක් කාටූනයක මෙසේ දැක්වෙයි. 

කිසියම් පුද්ගලයකුගේ කන්තෝරු කාමරයෙන් විශාල පිපිරුම් හඬක් නැගෙයි. ඔහුගේ බිරිඳ වහා එහි දිව යයි. සැමියා හිස අත් බැඳගෙන බලා සිටී. ඔහුගේ කොම්පියුටරය පුපුරා, කැබලි විසිරී ඇත.

''මොකක්ද වුණේ?''

ඇය විමසයි.

''මම පහුගිය කාලේ අපේ දේශපාලනඥයෝ දීලා තියෙන බොරු පොරොන්දු චෙක් කරන්ඩ ගත්තා. මොන තරම් බොරු ගොඩක් තිබුණද කිව්වොත් කොම්පියුටරයටත් දරාගන්ඩ බැරුව පිපිරුණා.''

තවත්, කතාවකට අනුව කටුනායකදී, දේශපාලනඥයකු මැතිවරණ රුස්වීමකදී කතාවක් පවත්වමින් සිටී. එය අවසානයේ ඔහුගේ ලේකම්වරයා පැමිණ කතාව ලියා තිබූ කඩදාසි කිහිපය යළි එකතු කර ගනී. එහි සිටින මාධ්‍යවේදියකු එය දැක, ලේකම්වරයාගෙන් මෙසේ අසයි.

''ඔබද මේ කතාව ලිව්වෙ?''

''ඔව්. මමනෙ මාධ්‍ය ලේකම්.''

''ඉතින් දැන් කතාව ඉවරයිනෙ. ඇයි ආපහු පිටපත අරන් යන්නෙ?''
''ගිය මැතිවරණෙටත් කිව්වෙ මේ ටිකමයි. ලබන මැතිවරණෙටත් කියන්න වෙන්නෙ මේ ටිකම තමයි.''

ඡන්දදායකයා යනු පුදුම සත්වයෙකි.

ඔහු එකම පිටපත නැවත නැවත අසමින් නැවත නැවත රුවටෙයි.

අවසානයේදී, හොඳම රුවටිලිකාරයා ඔවුන්ගේ පාලකයා බවට පත්වෙයි.

 
I කපිල කුමාර කාලිංග
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00