2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

අපි විස කවන්නෙ නෑ කියන සතුට හැමෝටම විඳින්න බැරි ඇයි?

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 160

 කැෂප් ක්‍රමවේදය හඳුන්වා දෙමින් ආචාර්ය ලලින්ද්‍ර මුණසිංහ කියයි 

අපි ඔබ හරිතකරණය කරමු. 

ඒ ඔවුන් ඔබ වෙත හෘදයාංගමව පිරිනමන අවංක පොරොන්දුවයි. 

• කවුද ඔවුන්?

Eco Technologies (Pvt) Ltd 

Eco Technologies කුමක්ද ඔබේ අරමුණ? මම එහෙම ඇහුවොත් ඔවුන්ගේ උත්තරය ඔබ දන්නවද? අපේ අරමුණ කර්මාන්ත ශාලා මගින් උණුසුම් බොයිලේරු (Hot Boilers) ශීතක බොයිලේරු (Chillers) සඳහා භාවිත කෙරෙන ජලය පිරියම් (Treat) කිරීම සඳහා රසායන භාවිත කර පසුව පරිසරයට මුදාහරින අපජලය (Waste Water) මගින් සිදුවන පරිසර විනාශය අවම කිරීම නොව, සහමුලින්ම නැති කරන තාක්ෂණික ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. 

ආහ්... ආදරය විදාහල සුවදායී අරමුණක්. 

Eco Technologies කියන්න මට කවුද ඔබේ පෙරගමන්කරු... ඔබේ නියමුවානන්. 

ආචාර්ය ලලින්ද්‍ර මුණසිංහ. 
තවදුරටත්...

Dr. Lalindra Munasinghe (PhD) (PhD – USA, MBA – USA, BBA – UK, DGM – NIBM)
Sustainable Goodwill Ambassador – SUNFO

 • කවුද ආචාර්ය ලලින්ද්‍ර මුණසිංහ?

පරිසර විද්‍යාව පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආචාර්ය උපාධිය ලත් ආචාර්ය ලලින්ද්‍ර වෘත්තීමය අධ්‍යාපනයෙන් පසු 2014 වසරේදී තත් කාර්යයට අයත් සිංගප්පූරුවේ ආයතනයක් සමඟ විෂ රසායනයෙන් තොරව ජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී ඒ විෂයෙහි අත්දැකීම් රුසක් ලැබූ අතර 2021 දී එම ආයතනයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරමින් සිට ඉන් ඉවත්ව Eco Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළේය. රසායන භාවිතයෙන් තොරව ජලය පිරියම් කිරීමේ උපදේශන ආයතනයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වී ඇති Eco Technologies ආයතනය ඔස්සේ අපි ඔබ හරිතකරණය කරමු යන ආයතන උධෘතය තුළ අගනා මෙහෙවරක් ව්‍යාපාරිකයකු ලෙස ඉටු කරන්නෙකි ඔහු. 

Q ආචාර්ය ලලින්ද්‍ර Eco Technologies පෞද්ගලික සමාගම මගින් සිදුකරන මූලිකම කාර්යය කුමක්ද? 

ලංකාවේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව ජලය පිරියම් කිරීම සඳහා මහා පරිමාණයෙන් සිදුකරන රසායන භාවිතය ශුන්‍ය කිරීම තමයි අපේ ප්‍රධාන කාර්යය. බොහෝ කාලයක් තිස්සේ සිදුවන දෙයක් තමයි විශාල කර්මාන්ත ශාලාවන්හි මහා පරිමාණයේ උණුසුම් බොයිලේරු මෙන්ම ශීතක බොයිලේරු සඳහා භාවිත වන ජලය පිරියම් කරන්න විශාල රසායන ප්‍රමාණයක් භාවිත කිරීම. ''වෝටර් ට්‍රීට්මන්ට්'' ක්‍රියාවලිය ලෙස තමයි කර්මාන්ත ශාලා වහරෙහි මෙම ක්‍රියාවලිය හඳුන්වන්නෙ. Eco Technologies සමාගම මගින් රසායන භාවිතයෙන් තොරව ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයක් අනුව බොයිලේරු තුළ මල බැඳීම සහ ස්කේල් බැඳීම නතර කරනවා.

Q ස්කේල් බැඳීම යනුවෙන් ඔබ කතා කරන ක්‍රියාවලිය කුමක්ද?

ස්කේල් බැඳීම කියන්නෙ කැල්සියම් කාබනේට් බහුලව බොයිලේරු තුළ එකතු වීමයි. එසේම බොයිලේරුව ඇතුළත මල බැඳීමේ කාර්යයද සිදුවෙනවා. මේ තුළ කැල්සියම් කාබනේට් එකතු වූ විට සිදුවන්නේ කිවුල වැනි තට්ටුවක් නිර්මාණය වීමයි. කර්මාන්ත ශාලා වහරෙහි එහි හැඳින්වෙන්නේ ස්කේල් ලෙසයි. 

Q ස්කේල් බැඳීම තුළින් සිදුවන ඍණාත්මක බලපෑම් මොනවද?

ස්කේල් බැඳුණම බොයිලේරු ඇතුළතින් පිටතට පිවිසෙන ගින්දරෙහි ධාරිතාව ක්‍රමානුකූලව අවම වෙනවා. එහෙම වුණාම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට විශාල ප්‍රමාණයක් දහන පෝෂක භාවිත කරන්නට සිදුවීම විශාල පිරිවැයක් දරන්න සිදුවන හේතුවක්. උදාහරණයක් කිව්වොත් දර, භූමිතෙල්, ඩීසල්, ෆර්නස් ඔයිල් වැනි දේ භාවිත කරන්න ආයතනයට විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. ඒ වගේම බොයිලේරු දිරාපත් වීමේ ප්‍රවණතාව වැඩියි. ඉතින් අඛණ්ඩව නිෂ්පාදනයක් පවත්වාගෙන යන ආයතනයට ඒක අති විශාල පාඩුවක්. ඒ වගේ වැඩි ජල ප්‍රමාණයක් ඒ තුළින් සංසරණය වන විට එහි TDS අගය (Total dissous Solid level) 2500 ට වඩා ඉහළ නැගීම නිතැතින්ම සිදුවෙනවා. එවිට ජලය බ්ලෝඩවුන් කළ යුතුයි.

Q ජලය බ්ලෝඩවුන් කිරීමේ ක්‍රියාවලිය සහ එයින් සිදුවන බලපෑම සරලව පැහැදිලි කරන්න ඔබට පුළුවන්ද?

ඔව් බ්ලෝඩවුන් කරනවා කියන්නෙ අපජලය පොළොවට මුදාහැරීමයි. මේ උණුසුම් ජලය වේස්ට් වෝටර් ප්ලාන්ට් වෙත මුදා නොහැරීම සිදුවෙනවා. මොකද ඉන් ඒවායේ ඉන්න බැක්ටීරියා විනාශ වන නිසා. එබැවින් සාමාන්‍යයෙන් සිදුවන්නේ විෂ රසායන සහිත මෙම අපජලය කිසිදු වග විභාගයක් නැතුව පරිසරයට මුදාහැරීමයි. මේ විෂ සහිත ජලය පසට එකතු වී ක්‍රමයෙන් පොළොවේ ජල උල්පත් දූෂණ භාවයට පත් කරනවා. ඉන් නොනැවතී ගංගා ඇළ දොළවලටත් එකතු වෙනවා. ජලය විතරක් නෙවෙයි, ඒවායේ ඉන්න කුඩා මසුන් වැනි ජලජ ජීවීන් මෙම විෂ රසායන උරාගනු ලබනවා. 

Q ඔබ හිතනවද පාරිසරික වශයෙන් මෙන්ම පරිසරයේ විවිධ ශානරයන්ට සිදුවන මෙම බරපතළ හානිය පිළිබඳව ජනතාවගේ දැනුවත් වීම ප්‍රමාණවත් නැහැ කියලා?

තවත් සක්‍රීය විය යුතු බව මම විශ්වාස කරනවා. නමුත් කර්මාන්ත ශාලා හිමියන්ගේ මෙවන් අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව ගම්වැසියන් සහ කර්මාන්ත ශාලා හිමියන් අතර ගැටුම් ඇතිවූ සිද්ධි ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වූ අවස්ථා මම දැක තිබෙනවා. රතුපස්වල ඛේදවාචකයට තුඩු දුන්නේත් එවැනි සිදුවීමක්. 

Q හානියේ බරපතළකම සහ සංකීර්ණත්වය පිළිගත හැකි දත්ත ඔස්සේ විග්‍රහ කරන්න ඔබට පුළුවන්ද?

මේ වෙද්දි ලංකාව තුළ අවම වශයෙන් බොයිලේරු හයදාහක් ක්‍රියාත්මක වෙනවා. මේවායෙන් දවසකට ලීටර් පනහක් විෂ සහිත අපජලය පරිසරයට මුදාහරින බවට උපකල්පනය කළහොත් දවසකට පරිසරයට එකතු වන ප්‍රමාණය ලීටර් ලක්ෂ තුනක්. එහෙනම් වසරකට කොපමණ ප්‍රමාණයක් අපේ රටේ ධරණීය දූෂණ සිදුවෙනවාද කියන එක තාර්කිකව හිතන්න. මේ විදිහට මේ ක්‍රියාදාමය අඛණ්ඩව වුණොත් තව වසර දහයකින් මේ රටේ මිනිස්සුන්ට බොන්නවත් ප්‍රමාණවත් පිරිසිදු ජලය නැතිවෙයි. ඒ වගේම ජල මූලයන් සිඳී යාමේ ප්‍රබල තර්ජනයක් උද්ගත වෙන්න පුළුවන්. මේ විෂ රසායන පසට එකතු වී දිය උල්පත්වලට උරා ගන්නවා. මම හිතන්නෙ ඔබට තේරුම් ගන්න පුළුවන් විනාශය කොයි තරම් ඛේදවාචකයක්ද කියන එක. 

Q ජනතාවගේ සෞඛ්‍යයට එය ප්‍රබල තර්ජනයක් විය හැකි බව එම දත්ත අවධාරණය කරනවා. මේ පසුබිම පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?

වත්මනෙහි රජරටට සිදුව තිබෙන ආකාරයෙන් මහ පොළොවට බැර ලෝහ එකතු වී රටේම සැලකිය යුතු ජනතාවක් වකුගඩු රෝග සහ පිළිකා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්වීමේ හැකියාව ඉහළ යාමේ අවදානමක් මම දකිනවා. පානීය ජලයට විතරක් නෙවෙයි, පරිභෝජනයට ගන්නා ආහාර බෝගයන්ද මත්ස්‍යයන්ද මෙම විෂ සහිත රසායනයන්ගෙන් පූර්ණව නෙවෙයිද එතකොට අපේ මුළුතැන්ගෙට කෑම පිඟානට එන්නෙ. කොහොමද ඒක වළක්වන්නෙ කියන එකයි අපි අභිමුව අද තියෙන අභියෝගය. මේ නිහඬ මාරයා මර්දනය නොකළොත් අනාගතයේ මේ රටේ ඉතුරු වෙන්නෙ බහුතරයක් රෝගී වූ ජනතාව.

Q හරි.. ආචාර්ය ලලින්ද්‍ර ඔබ මට කියන්න Eco Technologies පෞද්ගලික සමාගම විසඳුමක් ඉදිරිපත් කරන්නේ මේ සුවිසල් අභියෝගයන්ටද?

අපි නවීන තාක්ෂණයෙන් පිරිපුන් කිසිදු රසායනයක් භාවිත නොකරන කැෂප් නම් යුනිට් එකක් බොයිලේරු සඳහා සවි කරන්න හඳුන්වා දී තිබෙනවා. කැෂප් තාක්ෂණය ජල පෝෂණ ටැංකියට සවි කළාට පසු ජලය පිරියම් කිරීමට කිසිදු ආකාරයකට රසායන ද්‍රව්‍යයක් භාවිත කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මෙයින් බොයිලර් තුළ ස්කෙල් නිර්මාණය වීම වගේම මල බැඳීමත් සපුරා නතර කර ගැනීමට ඇති හැකියාව හරිම සුවිශේෂීයි. Eco Technologies පෞද්ගලික සමාගම ඉතා වගකීමෙන් කියනවා මෙම කැෂප් යුනිට් එක සවි කළාට පස්සෙ කිසිම රසායන වර්ගයක් භාවිත කිරීමට අවශ්‍ය වෙන්නෙ නෑ කියන කාරණය වගේම බොයිලේරු මගින් පොළොවට විෂ රසායන සංසරණය වීම 100' ක්ම නතර වන බව. ඔබ දන්නවද සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලා තුළ ඇති බොයිලේරු තුළ ජලය උණු වන්නේ විවිධ රසායන සමඟයි. මේ උණුසුම් ජලයෙන් නිපදවෙන හුමාලය කර්මාන්තකරුවන් විවිධ කාර්යයන් සඳහා භාවිත කරනවා. උදාහරණ ලෙස රෙදි මැදීමට, කෑම පිසීමට වගේම ප්‍රෙස් කිරීමට මේ හුමාලය භාවිතයට ගන්නවා. දැනුවත්ව හෝ නොදැනුවත් මේ හුමාලය භාවිතයට ගන්නෙ 100' ක්ම විෂ රසායන එක්ක. ප්‍රබල බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන්න මේ තත්ත්වය සාධනීය හේතුවක්. රටකට අවශ්‍ය රටේ වගකීම් දරන්න පුළුවන් ශක්තිමත් කායික සහ මානසිකව නිරෝගී ජනතාවක් සහ අනාගත ළමා පරපුරක් මිස රෝගී ජනතාවක් නෙවෙයි. 

Q 'කැෂප් සිස්ටම්හි' ක්‍රියාකාරීත්වය ඔස්සේ සිදුවේ යැයි ඔබ කියන ප්‍රයෝජන සමාජ මෙහෙවරක් බවට පරිවර්තනය වෙන්නෙ කොහොමද?

'කැෂප් සිස්ටම්' එක ඔස්සේ මෙතෙක් භාවිත රසායනයන්ගෙන් තොරව ජලය 'ට්‍රීට්' කරන ක්‍රියාවලියේදී අතුරු නිෂ්පාදනයක් වන හුමාලය 100' ක්ම සුපිරිසිදුයි. ඒක පරිසරයට ඉටු කරන අනගි මෙහෙයක්. තවත් අතකින් සමාජ සත්කාරයක්. ඔක්සිජන් කන්නද අහපු දේශපාලනඥයන් හිටපු රටක් මේක. පරිසරය විෂයෙහි රජයේ වගේම බහුතර ජනතාවගෙත් අවධානය සහ ආදරය සෑහීමකට පත්විය හැකි මට්ටමක නෑ කියන එක මට දැනෙන්නෙ. ඒත් පරිසරය කියන්නෙ, සොබාදහම කියන්නෙ අපේ හදගැස්ම හා යාවත්කාලීන වෙන තවත් හුස්මක්. කැෂප් ක්‍රියාවලිය ඔස්සේ බොයිලේරු ක්ෂය වීමත් ස්කේල් හැදීමත් නතර කර ඒවායේ තිරසාර පැවැත්මත් වැඩි කරනවා. ඒ වගේම පරිසරයට විෂ රසායන මුදාහැරීම සපුරා නතර කරනවා. 

Q අවුරුදු 120ට 220ක් ආයුබෝ වේවා කියන්නේ ඇත්තටම අතීත ශ්‍රී ලාංකිකයන් දිගු ආයු අපේක්ෂාවක් සහිතව ජීවත් වූ නිසා යැයි සිතුවොත් අද ඒ වාතාවරණය හුඟක් වෙනස් වෙලා. ඔබ කතා කළ ඛේදවාචකයන් ඒ විෂයෙහි ප්‍රබල හේතුවක් බව ඔබ විශ්වාස කරනවාද?

මෙයින් වසර විස්සක් ආපස්සට ගියොත් අපේ රටේ ජනතාවගේ ආයු කාලය අවුරුදු අසූ පහක් අනූවක් විතර. අතීතයේ අවුරුදු සියය ඉක්මවූ ආයු කාලයන් භුක්ති විඳි අයත් හිටියා. එහෙත් අද වෙද්දි එම වයස අවුරුදු පනස් පහ හැට තරමට පහත වැටී ඇති බව පේනවා. මීට හේතු සාධනීය පසුබිමක් තුළ විමසා සිටිය යුතුමයි. පැහැදිලිවම පරිසර හානි හේතුවෙන් ජනතාව මුහුණ දුන් විපත හරි සංකීර්ණයි. මෙහෙම පැත්තකුත් අපි කතා කරමු. සාමාන්‍යයෙන් කාඩ්බෝඩ් නිෂ්පාදනය කරන බොහෝ ආයතන කාඩ්බෝඩ් ප්‍රෙස් කිරීමට මුලින් කතා කරපු විෂ හුමාලය භාවිත කරනවා. එම රසායන සහිත හුමාලයෙන් ප්‍රෙස් කළ කාඩ්බෝඩ් පෙට්ටියකට සෙන්ටිග්‍රේඩ් අංශක 100ක පමණ උෂ්ණත්වයක් ඇති යම් ආහාරයක් දැම්මොත් මොකද වෙන්නෙ. කාඩ්බෝඩ් පෙට්ටිය උණුසුම් වී හුමාලයෙන් එකතු වූ විෂ රසායන අදාළ ආහාරයට උරා ගන්නවා. දවසකට මේ රටේ මිනිස්සු සහ දරුවන් කී දාහක් රෝගීන් කී දාහක් මේ විදිහට විෂ රසායන එකතු වූ ආහාර ආහාරයට ගන්නවා ඇත්ද හිතන්න. දණ්ඩක් විසි කළත් පැළවෙන පොළොවකට විෂ එකතු කරන්නෙ ඇයි? මේ ගුණ අධික පොළොව සාර පරිසර පද්ධතිය විනාශ වෙන්න දෙන්නෙ ඇයි? එවන් ව්‍යවසන සපුරා තහනම් කරගත හැකි විසඳුම් තියෙද්දි තවදුරටත් එසේ කරන්නෙ ඇයි කියන ප්‍රශ්නය මම අහනවා.

Q කැෂප් ක්‍රමවේදය දැනට ලංකාවේ කර්මාන්ත කොපමණ සංඛ්‍යාවක් භාවිත කරනවද?

කැෂප් ක්‍රමවේදය හඳුන්වා දී ගතවූ මේ වසර තුළ ලංකාවේ ව්‍යාපාරික ආයතන විස්සක් පමණ දැනට එය භාවිත කරනවා. Eco Technologies සමාගම 'නන් කෙමිකල් කන්සල්ටන්ට්' සන්නාමය යටතේ එම ආයතන විෂ රසායන පරිසරයට මුදා නොහරින ආයතන ලෙස සහතික කර තිබෙනවා. එය අප ලද සැලකිය යුතු ජයග්‍රහණයක්. එයින් විෂ රසායන මහ පොළොවට එකතු වීම ලීටර මිලියන 12ක් නතර කිරීමත් මේ වසර තුළ අප ලැබූ අනගි ජයග්‍රහණයක්. Eco Technologies සමාගම එම ආයතන විස්ස 'නන් කෙමිකල් කන්සල්ටන්ට්' සන්නාමය යටතේ විෂ රසායන පරිසරයට මුදා නොහරින ආයතන ලෙස සහතික කර තිබෙනවා. අපේ සේවය ලබාගන්නා කර්මාන්තකරුවන්ට ලැබෙන තවත් සුවිශේෂීම වාසියක් තමයි ඔවුන් රසායන සඳහා භාවිත කරන මුදලට වඩා බෙහෙවින් අඩු පිරිවැයකින් මෙම කාර්යය සිදුකරගත හැකි සහ වසර පහක සේවා වගකීමක් ලැබීම. එයින් අදහස් කරන්නේ වසර පහකින් මෙම නිෂ්පාදනයන් ක්‍රියා කර අවසන් වෙතැයි යන අදහස නොවේ. වසර පහෙන් පසු අලුත් සේවා ගිවිසුම් අත්සන් කළ යුතුයි කියන අදහසයි. ඒ වගේම මෙතෙක් සිදු කළ පිරිපහදු නඩත්තු වියදම්ද බෙහෙවින් අවම කරගන්න පුළුවන්. 

Q පිරිසිදු පානීය ජලය නොලැබීම මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍යයට කර ඇති බලපෑම සහ එයින් අත්මිඳීමට කැෂප් ක්‍රමවේදය විසඳුමක් වන ආකාරය පිළිබඳව ඔබේ විග්‍රහය කුමක්ද?

කාලයක් තිස්සේ ලංකාවේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජලය පිළිබඳ විශාල ගැටලුවක් පවතිනවා. විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමට අනුව අධික ලෙස කෘෂි රසායන භාවිතයෙන් ගොවි බිම් ආශ්‍රිතව පසට එකතු වූ බැර ලෝහ ජලයේ දියවීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙනවා. අන්තර්ජාතික පිළිකා පර් යේෂණ ඒජන්සිය පවා එය ස්ථිර කරනවා. ලොව වැඩිම නිෂ්පාදන ධාරිතාවක් හිමි ග්ලයිෆොසෙට් ශ්‍රී ලංකාවේ තහනම් කිරීම පවා මේ නිසා සිදුවුණා. විද්‍යාත්මක මතය නම් අවම වශයෙන් මිනිසෙකු දිනකට වතුර ලීටර් හයක් පමණ පානය කළ යුතු බවයි. සාමාන්‍ය ජලය පානීය ජලය බවට පත් කරන්නේ ක්ලෝරීන් මගින් ජලය පිරිපහදු කිරීමේ කාර්යය තුළින්. එම ක්ලෝරීන් ජලයට මුසු කිරීමේ ක්‍රියාවලිය ඒකාකාරීව සියලුම ජල කොටස් සමඟ බද්ධ නොවන වග ක්ලෝරීන් දැමූ විගස ජලය සහ පසුව ජලය අතර වෙනසින් වටහා ගන්න පුළුවන්. Eco Technologies ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ ආකාරයට සියලුම ජල කොටස් වෙත ඒකාකාරීව ක්ලෝරීන් මුහු කිරීමේ ක්‍රමයක් නිර්මාණය කරලා තියෙනවා. එහි විශේෂත්වය වන්නේ විදුලි බලය නැති ප්‍රදේශවල වුවත් ක්‍රියාත්මක කිරීමේ හැකියාවයි. ඇත්තටම පහුගිය කාලේ රජරට ගොවීන් භාවිත කළ වල් නාශක, කෘෂි රසායන සහ රසායන පොහොර නිසා පසට එකතු වෙච්ච බැර ලෝහ නිසා වකුගඩු රෝගය උත්සන්න වුණා. ගොවීන් විතරක් නෙවෙයි, ඒ අයගේ දරුපවුල් පිටින් වකුගඩු රෝගයට ගොදුරුවෙන තත්ත්වයක් නිර්මාණය වුණේ. අප හඳුන්වා දෙන ක්ලෝරිනේෂන් ක්‍රියාවලියෙන් මේ තත්ත්වය සම්පූර්ණයෙන් නතර කරන්න පුළුවන්. කුකුළු ගොවිපොළවල කුකුළන්ට නිරෝගීව වැඩෙන්න පානීය ජලය අත්‍යවශ්‍ය කරුණක්. කුකුළු ගොවිපොළවලට පානීය ජලය ගෙන යන නළ පද්ධතියේ ඉකොලායි නම් බැක්ටීරියාවක් වර්ධනය වෙනවා. එවිට කුකුළන් බේරගන්න ගොවිපොළ හිමියන් කුකුළන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. එහෙත් බොහෝ විට දවස් හතළිස් පහෙන් කුකුළන් මරණයට පත් වෙනවා. සමහර විට මේ කුකුළන් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට ගෙන එන අවස්ථා තියෙන්න පුළුවන්. අපි හඳුන්වා දෙන ක්ලෝරිනේෂන් ක්‍රමවේදය තුළ මිනිත්තුවකට දෙන ප්‍රෙෂර් ප්‍රමාණය අනුව එම බැක්ටීරියාව නළ පද්ධතියෙන් ඉවත් කළ හැකියි. ලංකාව තුළ දැනට ජල පිරිපහදුවට ක්ලෝරීන් භාවිත කරන්නේ සමස්ත ජලයටම පොදු ආකාරයට නෙවෙයි. අප හඳුන්වා දෙන්නේ සමස්ත ජල ධාරිතාව ඒකාකාරී ලෙස පිරිපහදු වන ප්‍රතිඵලදායක ක්‍රමයක්. අපි බලාපොරොත්තු වන්නේ ජලාපවාහන මණ්ඩලයත් සමඟ එක්ව මෙම ක්‍රමය ස්ථාපිත කිරීමටයි. 

Q මෙතෙක් කතා කළ තොරතුරු හැරුණුවිට Eco Technologies පෞද්ගලික සමාගම හඳුන්වා දෙන ක්‍රමවේද සමඟ අත්වැල් බැඳගැනීමෙන් කර්මාන්ත සහ ව්‍යාපාරවලට හිමිවන නෛතිකමය හෝ වෙනත් භෞතික ප්‍රතිලාභ තියෙනවද?  

අපි 'නන් කෙමිකල් වෝටර් ට්‍රීට්මන්ට් කන්සල්ටන්ට්' ලෙස පරිසර අධිකාරියේ ලියාපදිංචි වී ඉන්නවා. අපි උත්සාහ කරන්නේ පරිසරය ආරක්ෂා කරගෙන කර්මාන්ත පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයක් නිර්මාණය කරන්නයි. රටක දියුණුවට පරිසරය සුරුකිය යුතු මෙන්ම කර්මාන්තත් පැවතිය යුතුයි. දැනට ශ්‍රී ලංකාවේ හැම ව්‍යාපාරයක්ම වසර අවසානයේ ඔවුන්ගේ නිෂ්පාදනයන් නිසා පරිසර දූෂණයක් සිදු නොවේය යන සහතිකය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත යා යුතුයි. ඒ අවස්ථාවේදී Eco Technologies පෞද්ගලික සමාගම නිකුත් කළ සහතිකය ප්‍රයෝජනවත්. ඒ වගේම ISO 2024 හෝ ග්‍රීන් එවෝඩ්ස් සඳහා ඉල්ලුම් කරද්දි මෙය විශේෂ සුදුසුකමක්. එය ජාත්‍යන්තර වෙළෙඳපොළ පවා පිළිගනු ලබන්නක්. Eco Technologies පෞද්ගලික සමාගමේ නිෂ්පාදන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් හරහා පරිසර දූෂණයෙන් තොර බවට සහතික කර තිබෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් රසායන ද්‍රව්‍ය භාවිතයෙන් කරන සියලුම පිරිපහදු කාර්යයන් බෙහෙවින් අඩු පිරිවැයකින් සිදුකිරීමේ හැකියාව කර්මාන්තකරුවන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්. ඒ වගේම අපේ නිෂ්පාදන භාවිත කරන ආයතනවලට පුළුවන් ඔවුන්ගේ නිෂ්පාදන කිසිම රසායනිකයකින් තොර බවට ඔවුන්ගේ නිෂ්පාදිත භාණ්ඩ මත ප්‍රදර්ශනය කරමින් එය පාරිභෝගිකයාට දැන්වීමට. අවසානයේ කිවයුතු වන්නේ ඉතාමත් ඵලදායී මෙම ක්‍රමවේදයන්ට එකතු වෙන්න. එයින් ලැබිය හැකි ආධ්‍යාත්මික සහ භෞතික ප්‍රතිඵල සුවිශිෂ්ටයි. 

I සංජීවිකා සමරතුංග