2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

රටට ඩොලර් ඉතිරි කරන ධම්මිකා

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 80

ඇය නමින් ධම්මිකා ප්‍රියදර්ශනී ද සිල්වා ය. ගාල්ලේ පදිංචිව සිටින ධම්මිකා මේ වන විට ජීවිතාරක්ෂක කබා නිෂ්පාදනය කරන්නීය. මීට පෙර එම අවශ්‍යතාවයන් විවිධ ආයතනය සපුරාගනු  ලැබුවේ විදෙස් රටවල් වලිනි. නමුත් අද වන විට ධම්මිකා නිෂ්පාදනය කරනු ලබන "කැන්ගා", ජීවිතාරක්ෂක කබා බොහෝ ආයතන මිලදී ගනී. 

“ඇත්තටම මේක මට හීනයක් හැබෑවීමක් කියලයි අදටත් හිතන්නෙ. මම කවදාවත් මෙවැනි ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. මම නර්තන හැකියාවත්  එක්ක ජීවිතේ ලොකු ගමනක් යන්න හීන දැකපු කෙනෙක්. මෙම ව්‍යාපාරය ආරම්භ වීමට පෙර මම ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ස්වේච්ඡා නර්තන ගුරුවරියක් ලෙසින් සේවය කළා. මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලයට යාමට හැකි වාතාවරණයක් ඒ කාලේ තිබුණේ නැහැ. මාව සෞන්දර්ය පීඨයට තේරුණත් වසර හතරක් විශ්වවිද්‍යාලයේ  අධ්‍යාපනය ලබන්නට තරම් පවුල් පසුබිමක් මට තිබුණේ නැහැ." යැයි ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව ධම්මිකා අමතර පන්ති පවත්වමින් යම්  ආදායමක් ලබා ගත්තාය. ඇය අධ්‍යාපනය ලැබුවේ වැලිමඩ මධ්‍ය මහා විදුහලෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඇය අහංගම තම දෙමව්පියන් වෙතට ගියාය. එතැන් සිට කලක් ඇය ප්‍රවීණ නර්තන ආචාර්ය චන්න විජේවර්ධන ගුරුතුමා යටතේ නර්තනය හැදෑරුවාය. ඇය වේදිකා නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වූවාය. නර්තනය හදාරන අතරතුර ඇය හේලිස් ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙසින් කටයුතු කළාය. ඒ අතර ඇයට තම සැමියාව මුණගැසී තිබිණි. ඔහු නමින් එච්.එම්. අනුර ය. ඔහු පොලිස්  සේවයේ නිරත වූ අයෙකි. පළමු දරුවා ඉපදීමත් සමඟ ඇය පෙර පාසලක සේවය කළාය. පළමු දරුවා ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුළුවීමත් සමඟ ඇය එම පාසලේ ස්වේච්ඡා නර්තන ගුරුවරියක් ලෙසින්ද සේවය කළාය. අද වන විට ඇය පුතුන් තිදෙනකුගේ මවකි.

මුළු ලොවම කොවිඩ් වසංගතයට මුහුණ දුන්නේ ඔය අතරතුරේදීය. ඒ කාලයේදී නිවෙසටම සිරවී සිටි ධම්මිකාද දැඩි ලෙස අසරණ වූවාය. ඇඳුමක් මැසුවද නිවෙසට කොටුවී සිටින මිනිසුන්ට ඇඳුමේ අවශ්‍යතාවයක් වැඩි වශයෙන් නොවන බව ධම්මිකා දැන සිටියාය. එමෙන්ම ධම්මිකාට මැහුම් කලාව සම්බන්ධයෙන්ද ලොකු දැනුමක් නොවීය. ඒ ගැන උනන්දුවක්ද ඇයට නොතිබුණි. අඩුම තරමින් ඇයට නිවෙසේ මහන මැෂිමක්ද නොවීය. මහන මැෂිමක අවශ්‍යතාවයක් සහ ආශාවක් තිබුණද ඒ සඳහා වත්කමක් ධම්මිකාට තිබුණේ නැත.

කොවිඩ් වසංගත සමයේ නිවෙසේ කල්පනා කරමින් සිටි ධම්මිකාට සුනාමි ව්‍යසනය වරින් වර මතකයට පැමිණියේය. ඒ කාලය තුළදී ඇයට නිතර නිතර  සිහිනයෙන්ද සුනාමි සිදුවීම් දැකගත හැකි විය. ඇයද සුනාමි අත්දැකීමට මුහුණ දුන් තැනැත්තියකි. ඇගේ සැමියා සුනාමි ව්‍යසනය අතරතුර රාජකාරියේ නිරත වී සිටියේය. ඒ අතුරතුර ඔහු පිළිබඳ තොරතුරක් ඇයට ලැබුණේ නැත. ගාල්ලට පැමිණි ඇය මළ සිරුරු අතර ඇවිදිමින් ඔහුගේ මුහුණ සෙව්වාය. ඇයට සුනාමිය නොපැමිණියද ඇය සැමියා සොයමින් සුනාමිය දිගේ ඇවිද ගියාය. ඒ ඔවුන් විවාහ වූ වසරයි. ඇය පැය ගණනක් ඇවිදිමින් ඔහු සෙව්වාය. පසුදා පාන්දර දෙක පමණ වන විට ඇයට ඔහුගේ මුහුණ දැකගැනීමට හැකි විය. ඒ සිදුවීම සිහිනයක් සේ ධම්මිකාට නිතර නිතර පෙනෙන්නට විය. ජීවිතාරක්ෂක කබා පැළඳ මිනිසුන්ව බේරගන්නා පිරිස් ඇය සිහිනෙන් දුටුවාය. තැඹිලි පැහැති කොළ පැහැති ජීවිතාරක්ෂක කබා ඇයට සිහිනෙන් නෙත ගැටුණි.

ඒ නිසාම ජීවිතාරක්ෂක කබා නිෂ්පාදනය කිරීමට හැකිවේදෝ යන සිතිවිල්ලක් ඇයගේ සිතට පැමිණියේය. ධම්මිකා මේ  පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ සොයා බැලුවාය. ඒ වන විට විදෙස් රටවල්වලින් ආනයනය කරන භාණ්ඩ නතර කර තිබුණි. එමෙන්ම ජීවිතාරක්ෂක කබාවල අවශ්‍යතාවය පිළිබඳ ඇයගේ මතකයේ වූයේ ධීවර ජනතාව පමණි. ඉන් එහා පිරිසකට මෙය අවශ්‍ය බව ඇය දැන සිටියේ නැත. ඒ අතරතුර ඇය තම සැමියා සමඟ ධීවර සංස්ථාවට ගොස් එහි ජීවිතාරක්ෂක කබායක් අතගා බැලුවාය. එය කොළ පැහැති කබායකි. නමුත් එහි කිසිදු පිළිවෙළක් නොවීය. ඒ නිසාම ඊට වඩා ප්‍රමිතියකින් යුතු ජීවිතාරක්ෂක කබා නිෂ්පාදනය කිරීමෙන් හොඳ ආදායම් මාර්ගයකට යා හැකි බව ඇයට වැටහිණි.

කෙමෙන් ඇය ජීවිතාරක්ෂක කබායක පතොරමක් සකස් කොට අවසන් කළාය. එම පතොරම බාර කළේ ඇගේ සැමියාගේ මිතුරකු වන ශාන් වෙතටය. ඔහු හරි පිළිවෙළට කබාය මසා අවසන් කළේය.

“අපි මහපු පළමු කබාය ඉතා හොඳ බව අපිටම තේරුණා. ඒ නිසාම මායි අනුරයි කොළඹ ගිහින් පොඩි රෙදි ප්‍රමාණයක් අතේ තියෙන මුදලට මිල දී ගත්තා. ඒ රෙදිවලින් ජීවිතාරක්ෂක කබා හතක් මම සාම්පල් විදිහටම මැහුවා. ඒ සාම්පල් අපි ධීවර  සංස්ථාවට අරගෙන ගිහින් කිහිප දෙනකුට පෙන්නුවා. එක මහත්තයෙක්ට බෝට්ටු හතක් තිබුණා. ඔහු මගේ සාම්පල්වල පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් පෙන්නලා මගේ කබා හතම එක පාරම මිලදී ගත්තා. ඒ විතරක් නෙවේ. මට තවත් කබාවලට ඕඩරයකුත් බාර දුන්නා. ඒකෙන් මම පුදුම විදියට දිරිමත් වුණා. ඊට පස්සේ මම ඒ හැම අඩුපාඩුවක්ම හදාගෙන ඔහු ලබා දුන් ඕඩරයට අනුව තවත් කබා දහයක් නිෂ්පාදනය කළා. එතැන් සිට ඔහු අද වනතුරු කබා විශාල ප්‍රමාණයක් අපිට ඇනවුම් කළා."

ලක්ෂාන් නම් ව්‍යාපාරිකයාගෙන් පළමු ඇනවුම ලැබීමත් සමඟ ධම්මිකා තම කුඩා ව්‍යාපාරය ආරම්භ කළාය. ඇය එම ව්‍යාපාරිකයාගෙන් ලැබූ මුදල එකතු කොට රුපියල් විසිපන් දහසකට මහන මැෂිමක් මිලදී ගත්තාය. අදටත් එම මැෂිම ඇය සතුව පවතී. කල් යත්ම ඇය තවත් මැෂින් කිහිපයක්ම මිලදී ගත්තාය. ඇගේ ව්‍යාපාරය අදටත් පවත්වාගෙන යන්නේ ඇගේ නිවෙසේය. මුලින් නිවෙසේ ඉදිරිපස කොටස ඒ සඳහා වෙන්වුවද අද වන විට නිවෙසේම යාබද ඉදිවූ කුඩා කොටසක් ව්‍යාපාරය සඳහා වෙන්කර තිබේ. ඇය තම මැෂින් කිහිපයක්ම අහළ පහළ නිවෙස්වලට ලබා දී ඔවුන් ලවා තම නිෂ්පාදනය සිදුකර ගැනීමට සමත්ව සිටියි. ඒ සඳහා ඔවුන්ට  සාධාරණ මුදලක්ද ඇය ලබා දෙන්නීය.

මේ වනවිට ඇය සතුව විශාල ප්‍රමාණයක මහන  මැෂින් නොතිබුණද නිෂ්පාදනයේ  මූලික කොටස් නිවස ආසන්නයේ නිවාස කිහිපයකටම ලබා දෙමින් තම නිෂ්පාදනය මුළු ලංකාව පුරාම බෙදාහැරීමට ඇය සමත්ව සිටියි. ඒ  “කැන්ගා" යන නමිනි. ඒ අනුව ධීවර ජනතාව ඇතුළු ජීවිතාරක්ෂක කබා අවශ්‍ය සියලු අංශ, මේ වන විට ධම්මිකා නිෂ්පාදනය කරන කබා පරිහරණය කරයි.

“මට ලොකු සේවක පිරිසක් නැහැ. ඒ වගේම ලොකු තොග ගබඩාවකුත් නැහැ. හැබැයි කැන්ගා ජීවිතාරක්ෂක කබාවලට අද විශාල ඉල්ලුමක් තිබෙනවා. මම බොහෝ ප්‍රශ්නත් එක්ක හිටපු කෙනෙක්. මම තනියම උයාගෙන තනියම ජීවත් වුණු කෙනෙක් නෙවෙයි. කාට හරි කන්න දීලා ඒ සතුට දැකලා මම බඩගින්නේ හිටපු කෙනෙක්. අද මම හරිම සතුටින් ජීවත්වෙන පොඩි ව්‍යාපාරිකාවක්.''

I දිශානි ජයමාලි කරුණාරත්න

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00