2017 ජුනි 24 වන සෙනසුරාදා

කුඩා තේවතු හිමියෝ ගංවතුරින් හාන්සියි

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 349

මෙරට ප්‍රමුඛතම ආර්ථික භෝග වගාවක් වන තේ වගාවට පසුගිය කාලය පුරාවටම උදාවී පැවතියේ එතරම් යහපත් කලදසාවක් නොවේ. මෑත කාලීනව තේ වගාව කෙරෙහි බලපෑ සාධකවලට අනුව 2015 වර්ෂය අගභාගයේ සිට 2016 වර්ෂයේ මුල් මාස කිහිපය දක්වා පැවැති වැසි රහිත කාලගුණික තත්ත්වයන් නිසා තේ නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගිය අතර මෙලෙස අස්වැන්න පහළ බැසීම කෙරෙහි පොහොර සහනාධාරය නොලැබීමද ඍජුවම බලපෑවේය.

මේ ආකාරයට නොයෙක් හැලහැප්පීම් මධ්‍යයේ තේ කර්මාන්තය පවත්වාගෙන ගියද පසුගියදා ඇදහැළුණු වර්ෂාව ද තේ වගාවන්ට දැඩි පසුබෑමක් ඇති කළේය. වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් තේ වගාවේ හදවත බඳු පහතරට තේ වගාවේ විශාල භූමි ප්‍රමාණයක් විනාශ වූ අතර මෙය මෙරට තේ කර්මාන්තය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරන්නකි.

2016 වර්ෂයේ නිකුත්කොට ඇති මහ බැංකු වාර්තාවට අනුව අපේ රටේ සමස්ත තේ නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් සපයමින් තේ කර්මාන්තයේ ප්‍රධාන කොටස්කරුවා බවට පත්වූයේ කුඩා තේ වතු අංශයයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් කුඩා තේ වතු හිමියන් 92000ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් කුඩා තේ වතු හිමියන් 64759ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් කුඩා තේ වතු හිමියන් 81691ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් කුඩා තේ වතු හිමියන් 35708 තේ කර්මාන්තයේ නිරතව සිටින බවට හඳුනාගෙන ඇත.

 අක්කර විසිදාහක් විනාශයි 

පසුගියදා ඇති වූ ගංවතුර හා නායයෑම් නිසා දැඩි බලපෑම් එල්ල වූයේද රත්නපුර, මාතර, ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කයන්වලටය. දැනට ලැබී ඇති දත්ත අනුව ගංවතුර හා නායයෑම් නිසා කුඩා තේ වතු වගාබිම් අක්කර දස දහසක් පමණ විනාශ වී ඇති අතර මාතර, නෙළුව හා තවලම යන ප්‍රදේශවලද සිදුවූ හානිවීම් ගණනය කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව අක්කර විසිදහස පවා ඉක්මවීමට ඉඩ ඇති බවද සැලකේ. එසේම එම අපදා තත්ත්වය නිසා කුඩා තේ වතු හිමියන්ගේ නිවාස 5000ක් වැනි ප්‍රමාණයකටද හානි සිදුවී ඇත. මේ නිසා මේ වනවිටත් කුඩා තේ වතු හිමියන් දැඩි අසීරුතාවයකට පත්වී ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර නැවත ගොඩනංවා ගැනීමට නම් දැඩි පරිශ්‍රමයක් දැරිය යුතුය. 
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පැවසූයේ මෙවැන්නකි.

“ලංකාවේ මේ වනවිට සිටින කුඩා තේ වතු හිමියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වෙනවා. මේ අය රටට අති දැවැන්ත ලාභයක් ලබලා දෙන කණ්ඩායමක්. පසුගියදා ඇතිවූ ගංවතුර හා නායයාම් නිසා බලපෑම් ඇතිවූයේ රත්නපුර, ගාල්ල, මාතර, කළුතර වැනි කුඩා තේ වතු හිමියන් විශාල වශයෙන් ජීවත් වන ප්‍රදේශවලටයි. තේ වගාව ගොඩනැංවීම සඳහා රජයට ඉක්මන් පියවරක් ගන්නට සිදුවෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම රජයකින් පිටරට පටවන සෑම නිමි තේ කිලෝ එකකින්ම සෙස් බද්දක් අයකරනවා. මේ වනවිට ඒ සෙස් බද්ද ඩොලර් මිලියන 60ක් පමණ තියෙනවා. සෙස් බද්ද කර්මාන්ත උන්නතිය සඳහාම යෙදවිය යුතුයි. මේ වෙද්දී එම බද්ද ඒකාබද්ධ අරමුදලක තියාගෙන ඉන්නවා. අපි අරගලයකුත් කළා තේ කර්මාන්තය වෙනුවෙන් යෙදවිය යුතුයි කියලා. දැන් මේ වුණු විනාශයත් එක්ක මෙම මුදල් තේ කර්මාන්තයට යෙදවිය යුතු තත්ත්වයත් ආණ්ඩුවට උදාවෙලා තියෙනවා. ආණ්ඩුව ඒක කරන්න ඕන.

මෙම නායයාම් හා ගංවතුර නිසා ඉහත දිස්ත්‍රික්ක හතරේ තේ කර්මාන්ත ශාලා 26ක් බරපතළ ලෙස විනාශ වුණා. අපි රට පුරා අපේ සංවිධාන හරහා සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව මෙම හේතුව නිසා තේ කර්මාන්තයට මිලියන හයසීයක පමණ පාඩුවක් සිදුවෙලත් තියෙනවා. එය ඉතාමත් බරපතළ තත්ත්වයක්.

කුඩා තේ වතු හිමියන් තේ අක්කර 10000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්කො ගංවතුරට හසුවීමෙන් සෝදාපාළුවට ලක්වෙලා තියෙනවා. නැත්නම් කඳුමුදුන්වල තිබිලා නායයාම් එක්කම එම ස්ථානවලදීම අතුරුදන් වීමත් සිදුවෙලා. මේ අතර මුළුමනින්ම විනාශයට පත්වූ ප්‍රමාණය අක්කර නමසියයකට වැඩියි. අපට හමුවුණ පිරිස් හිටියා ඔවුන්ගේ තේ අක්කර එක හමාර, දෙක මුළුමනින්ම නායට හසුවී හෝ ගංවතුරේ බලපෑමෙන් විනාශ වෙලා තිබුණා. ඔවුන්ගේ මුලින්ම ආදායම් මාර්ගය වුණේ තේ වගාව. මෙවැනි පවුල්වලට දැන් කිසිදු ආදායම් මාර්ගයක් නෑ. මේ හැමදෙනාම රටේ ආර්ථික වර්ධනයට දායක වූ පිරිසක්. ඒ නිසා රජය මේ මොහොතේ මැදිහත් වෙන්න ඕනේ. ඔවුන්ට වන්දි ලබාදෙන්න.
සාමාන්‍යයෙන් කුඩා තේ වතු හිමියා ජීවත්වෙන්නේ එදිනෙදා වත්තෙන් ලැබෙන ආදායමෙන්. ඔවුන්ට ඒ ආදායම් දැන් සම්පූර්ණයෙන්ම අහිමිවෙලයි තියෙන්නේ. හානියට පත්වූ පුද්ලයන් සම්බන්ධයෙන් නිවැරදි සංගනයන් සිදුකරලා ඔවුන්ට මාස්පතා වන්දි මුදලක් ලබාදෙන්නට ඕනේ වසර තුනක්වත්. ඒකට හේතුව තමයි නැවත තේ වගාවන් කරගැනීම සඳහා වසර තුනක් පමණ ගතවීම. මීට අමතරව තේ කර්මාන්තශාලා හිමියන්ට විනාශ වූ කර්මාන්තශාලා නැවත සකස්කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමද කළ යුතුවෙනවා. මෙම කර්මාන්තශාලා ආශ්‍රිත විශාල ප්‍රමාණයක් රැකියා කටයුතුවල නියැලෙන අතර ඔවුන්ද මෙම අවස්ථාවේ රැකියා නොමැතිව අසරණ වී ඇති නිසා මේ සෑම දෙනාටම සහන සැලසීම රජයේ වගකීමක්. එසේම හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක නැවත තේ වගා කිරීමට කුඩා තේ වතු හිමියකු හට ලක්ෂ 18ක් වැනි මුදලක් වැයවන අතර එවැනි විශාල මුදලක් ගොවියන්ට කොහෙත්ම නෑ. අපි බලාපොරොත්තු වෙනවා රජයෙන් මෙම මුදලෙන් සියයට 60ක්වත් ලබාදෙයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම හරි දීලා නැවත වගාව ආරම්භ කරනවා නම් හොඳයි. සෙස් බද්දේ මේ සඳහා මුදල් තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව අප සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයේ සභාපති නෙවිල් රත්නායක මහතාගෙන් ද විමසීමක් කළෙමු.

 හානිපූරණයට සෙස් බද්ද ගන්න 

“පසුගියදා ඇති වූ ගංවතුර හා නායයෑම් නිසා රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කයන්හි තේ වගාවන්ට අර්ධ හා පූර්ණ යන දෙයාකාරයෙන්ම හානි සිදුවුණා. පූර්ණ වශයෙන් නායගිය අවස්ථාවලදී හඳුනාගන්න පුළුවන් වුණා. සම්පූර්ණයෙන්ම නාය ගිහින් ඒ අයට ඉඩමක් නෑ කියලා. අනිත් එක කියන්නේ ඉඩම තියෙනවා නමුත් තේ වගාව මුළුමනින්ම විනාශ වෙලා. අර්ධ හානි ගත්විට කොටස් වශයෙන් වැලි පිරිලා ගස් ප්‍රමාණයක් මැරිලා. ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. වගාවට අමතරව මේ අයගේ නිවාසවලටත් හානිවෙලා තියෙනවා. තේ වගාවන් මෙලෙස විනාශ වීම තුළ රටේ තේ නිෂ්පාදනය කෙරෙහි විශාල බලපෑමක් තිබෙනවා. මෙය ප්‍රකෘති තත්ත්වයට පත්කරගන්නට යම් කාලවකවානුවක් යනවා. ඒ නිසා මේ අවස්ථාවේ වැවිලි කර්මාන්ත ඇමැතිතුමා මැදිහත් වෙලා කුඩා තේ වතු හිමියන් සංගමය හැටියට අපි සමඟ සාකච්ඡා කළා. මේ වෙද්දී අපි හානියට පත්වූ සියලු ඉඩම්වල තොරතුරු ලබාගෙන තියෙනවා. ඒ අනුව ඉදිරියේදී වන්දි ලබාදීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේවි. ඒ වගේම මේ වෙද්දී තේ වෙන්දේසිය සඳහා නිකුත් වෙන්නේ ෆැක්ටරිවල ගබඩා කර තිබූ තේ. නමුත් අඛණ්ඩව ගමන් කිරීමේදී මෙම ක්‍රියාවලියේ යම් වෙනසක් වේවී. කුඩා තේ වතු හරහා තමයි ලංකාවේ වැඩිපුරම තේ නිෂ්පාදනය සිදුවෙන්නේ. වර්ෂාව නිසා දැඩි හානි වුණෙත් කුඩා තේ වතු පවත්වාගෙන යන දිස්ත්‍රික්කවලටයි. මේ නිසා ඉදිරි තේ නිෂ්පාදනයට අනිවාර්යයෙන්ම බලපෑම් එල්ල වේවි.

ආපදාවට ලක්වූ කුඩා තේ වතු හිමියන් සමබන්ධයෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ප්‍රකාශක් නිකුත් කර තිබූ අතර ඔහු එහිදී පෙන්වා දුන්නේ වගා හිමියන්ට සහන ලබාදීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් සාදන බවයි. එසේම වැවිලි කටයුතු අමාත්‍ය නවීන් දිසානායක මහතා හානියට පත් තේ වගාවන් පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී සකස්කොට කුඩා තේ වතු හිමියන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බව පැවසූ ඒ මහතා මෙම ආපදාව තේ කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයන් බවට පත්වී ඇති බවද පවසා ඇත.

♦ හේමමාලා කුමාරි රාජකරුණා‍