2024 ජුනි 01 වන සෙනසුරාදා

ජල ගැලුම් නිම්නයේ අලි සුසානය

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

රටේ ජනතාවට පමණක් නොව ගොඩබිම දැවැන්තයා වන අලියාටද ලබා ඇත්තේ අපල කාලයකි. දුම්රියේ ගැටී, වෙඩි වැදී මිය යන අලින්ට අමතරව මඩේ එරී තොග පිටින් අලින්ගේ දිවි අහිමිවන තත්ත්වයට පත්ව තිබේ. පසුගිය සතියේ වාර්තා වුණේ පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ‘හඳපාන්විල විල්ලුවේ තිබී   මියගිය වන අලි හත් දෙනකුගේ සිරුරු හමු වූ බවයි.  

වන අලින්ට ආදරය කරන කාටත් එය දුක්බර පුවතකි. එම අලි මරණයට පත්වූ බව දැනගෙන ඇත්තේ මියගොස් ටික දිනකට පසුව සිරුරු කුණු වී පවතින අවස්ථාවේදීය. මඩේ එරී දිනකට දෙකකට පසුව දැනගන්තා නම් වනජිවී නිලධාරින්ට උන් බේරාගැනීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව තිබුණි. අලි සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පසුගිය 27 දා එම ස්ථානයේ දී සිදු කළේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. 

එහිදී ඔවුන් නිගමනය කළේ මඩේ එරී ඉන් පිටතට යාගත නොහැකිව ජලය පෙවීම නිසා අලි හත්දෙනාගේ දිවි ගමන කෙළවර වී ඇති බවයි. වන අලි මියගිය හඳපාන් විල්ලුව පිහිටා ඇත්තේ පොළොන්නරුව වනජීවී කලාපයට අයත්ව දිඹුලාගලට නුදුරිනි. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලි රංචුවක්  හඳපාන් විල්ලුව ඔස්සේ මහවැලියට ගලන ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී සැඩපහරට හසුවී ගසාගෙන ගොස් මඩෙහි එරී මිය යන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ. වනජීවී නිලධාරීන් විසින් එම ඇළේ ස්ථාන කිහිපයක මඩේ එරී සිටි මෙම අලි 7 දෙනාගේ සිරුරු 25 දා සහ 26 දා යන දෙදින තුළදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ත් 10ත් අතර වයසේ පසුවන අලි පැටවුන් පස්දෙනකු සහ අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන වන අලින් දෙදෙනෙක් වෙති.

නියඟය නිමා කරමින් පසුගිය දිනවල පොළොන්නරුවට ඇදහැලුණු ධාරානිපාත වැසි හේතුවෙන් මෙම ප්‍රදේශයේ විල්ලු පිරී තිබෙන අතර අලි පැටියකු දියේ ගසාගෙන ගොස් සිටියදී එම අලි පැටියා බේරාගැනීමට ගිය අලි 6 දෙනකු ද අලි පැටියා ද මෙසේ මියගිය බවට සැකකරන බව වනජීවී සහකාර අධ්‍යක්ෂ එල්.ඩී.පී. එදිරිසිංහ පවසා සිටී.

මේ ගැන අප විමසා සිටියේ වනජීවී සහකාර අධ්‍යක්ෂවරයකුව සිටි (දැන් විශ්‍රාම ලත්) වන අලි ගැන අත්දැකීම් බහුල ගාමිණී විජිත් සමරකෝන්ගෙනි:

''අලි වතුරෙ ගිලිලා මරණයට පත්වීම අසන්නට ලැබෙන්නෙම නැති දෙයක්. ළිංවලට වැටුණම පමණයි එහෙම අවස්ථා ඇතිවන්නේ. මහවැලි ඇළවල්වලට වැටෙන අලි වුණත් ජලයේ පීනාගෙන ගොස් බේරෙනවා. වනජීවී නිලධාරීන් පවා උන්ට ඇළෙන් ගොඩට ඒමට උපකාර වෙනවා. අලියකුට කිලෝමීටර් ගණනාවක් පිහිනන්න පුළුවන්. මෙතැනදී මඩේ එරීම නිසා තමයි උන්ට බේරෙන්න නොහැකි වී ඇත්තේ. ශරීරය බර නිසා මඩේ තවත් හිරවීම සිදුවෙනවා. ජල ගැලුම් නිම්නයේ ඉන්න අලි පුෂ්ටිමත්ව වැඩනවා. ඒ පරිසරයේ සාරවත් ආහාර එහෙම ලැබෙන නිසා. සාමාන්‍යයෙන් අලියකුගේ බර කි.ග්‍රූ. 4000ක් වන අතර ගැහැනු සතකුගේ බර කි.ග්‍රූ. 2700ක් වෙනවා.''

තණ කෑමට මුදාහැර සිටින ගවයන් ‍රැගෙන ඒමට දින කිහිපයකට පෙර විල්ලුවට ගිය පුද්ගලයකු අලි පැටියකු හා ලොකු සතුන් දෙදෙනකු මියගොස් සිටිය දී දැක ඇති අතර එම තොරතුර මත වෙහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරිහු අලි පැටියා හා අනිත් මියගිය අලින් පිළිබඳව සොයා බැලීමට එහි ගියහ. එහිදී 26 දින දහවල් වන විට තවත් අලි 4 දෙනකුගේ මළ සිරුරු ජලයේ පාවෙමින් පවතින බවත් සමහර සිරුරු මඩේ හිරවී තිබෙන බවත් වනජීවී නිලධාරින්ට නිරීක්ෂණය කිරීමට හැකිවී තිබේ. පසුව මෙම අලි සිරුරු කඹ දමා ඇද ඉවුරට ගෙන මරණ පරීක්ෂණය සිදු කර ඇත.

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ කිලෝමීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතී. අලි සිරුරු හමුවී ඇත්තේ ඇළේ ස්ථාන කිහිපයකිනි. ඕඩේ ඇළට කුඹුක් ගස් කඩා වැටී, ජපන් ජබර සහ විවිධ පාසි වර්ග එහි සිරවී තිබේ. මේ නිසා එහි ගැඹුර නොදැන වන අලි රංචුව ඕඩේ ඇළ හරහා ගමන් කිරීමට, යාමේදී ජලයේ ගිලීමෙන් මේ අනතුරට මුහුණ පා තිබේ.

විල්ලු මත ජපන් ජබර බහුලව වැවී තිබුණද සාමාන්‍ය කාලගුණයක් යටතේ ඒවා මතින් ඇවිද යාමට පුළුවන. නමුත් පසුගිය 19 දා හා 20 වැනිදා වහින ලද වැස්ස නිසා විල්ලුවට ජලය පිරී පැවතුණු නිසා නොසිතූ පරිදි ජපන් ජබර තට්‍ටුවකට මෙම අලි කො‍ටු වී ඇතැයි ද වැස්ස නිසා ඇතිවූ අයහපත් තත්ත්වයෙන් අලි 7 දෙනාම දිය යටට ගිලී යාමෙන් පසු නැවත මතුවීමට නොහැකි පරිදි මඩේ එරෙන්නට ඇතැයිද වනජීවී නිලධාරිහු සඳහන් කරති. 

හඳපාන් විල්ලුව තිබෙන ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කෙරෙන්නේ  1984 වසරේ අගෝස්තු 7 වැනිදාය. එහි ප්‍රධාන අරමුණක් වන්නේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හේතුවෙන් වාසභූමි අහිමිවූ වන අලි ඇතුළු වනජීවීන් රුසකට වාසභූමි සපයා අවශ්‍ය රුකවරණය ලබාදීමය. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මගින් නිර්මාණය කෙරෙන සුවිශේෂී පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ පරිසර පද්ධතිවලින් සමන්විත, මහවැලි ගංගාවේ පිටාර තැන්න මෙහි පිහිටා තිබේ. එය විශාලත්වයෙන් හෙක්ටයාර් 17,350 ක භූමි ප්‍රමාණයකින් සමන්විතය.

මෙම ජාතික උද්‍යානය තුළ ඉතා මනස්කාන්ත භූමි දර්ශන මවන පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ රුසක් පිහිටා ඇත. ඒ අතරින් ප්‍රධාන විල්ලුවක් වන්නේ හඳපාන් විල ය. අලි ඇතුන් ඇතුළු විශාල සත්ව ප්‍රජාවකට එමගින් ගොදුරුබිම් සැපයේ. ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් සියයට තිහකට වඩා වාර්තා වෙන මහවැලි වනජීවී කලාපයේ ඉතා වැදගත් වනජීවී රක්ෂිතයකි ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය. සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ශරීර ප්‍රමාණයකින් යුක්ත විල් අලින්ගේ නිවහනද මෙම ජාතික උද්‍යානයයි. අලින්ගේ රුකවරණයට තිබෙන භුමියක්ම උන්ගේ සුසානයක් බවට පත්වීම කනගාටුදායකය. ‍

මෑත කාලයේ මඩේ එරී දිවි අහිමිවුණු අලි රාශියක් ගැන අපට අසන්නට ලැබේ. වර්ෂ 2014 දී උඩවලව ප්‍රදේශයේ අලි පැටවකු දිය බීමට වැවකට පැමිණි අවස්ථාවේ මඩේ එරී ඇති අතර කිසියම් පිරිසක් විසින් අලියාගේ වලිගය කපාගෙන පලා ගොස් තිබිණි. වලිගය කපා දැමීමෙන් ඇතිවූ තුවාලයෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් වැව තුළදීම එම අලියා අවසන් හුස්ම හෙළා ඇත.

2018 අගෝස්තුවේ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ  පුදුර් ගම්මානයට  ආසන්නයේ  පිහිටි පෙරියාරු ගඟ තුළ රෝගීව සිටි වනඅලි පැටියෙක් මඩේ එරී මරණයට පත්විය. වනජීවී නිලධාරින් එම ස්ථානයට ගොස් ප‍්‍රදේශවාසීන් හා එක්ව මහත් පරිශ‍්‍රමයක් දරා  රෝගී අලි පැටියා ගොඩට ගත්ත ද ඌ බේරා ගැනීමට අපොහොසත් විය. 

2018 අගෝස්තුවේදීම තවත් මෙවැනිම ඛේදවාචකයක් ගැන අසන්නට ලැබෙන්නේ මහවැලි ගගේ අතු ගංගාවක් වන පෙරියආරු තුම්මෝදර අමුණ අසල දී ය. ඒ මඩේ එරී අලි හත්දෙනකු මරණයට පත්වීමයි. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට වනඅලි ගමන් කරන අලිමංකඩකදී අලි රංචුව එලෙස මඩේ එරීමට ලක්ව සිටියහ.  පෙරියආරුවේද විශාල ලෙස දියගෝවා නම් ජලජ ශාකය වැඩී පවතින අතර අලි ඒවා මත ගමන් කරද්දී මඩේ එරී තිබේ. උන් මරණයට පත්වීමෙන් පසුව අලින්ගේ සිරුරු දිය මත පාවෙන අයුරු දැක ප්‍රදේශවාසීන් ඒ බව වනජීවී නිලධාරීන්ට දැනුම්දීමෙන් පසුව අලි ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණි. යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම අලි  ගොඩට ගැනීමේ කටයුතු සිදුවුණු අතර පසුව සිරුරු මිහිදන් කිරීම සිදුවිය. 

පරිසරවේදීන් පවසන්නේ වනජීවී රක්ෂිතවල ජල මාර්ගවල බහුලව වැවී තිබෙන ආක්‍රමණික ශාක විශේෂ වන ජපන් ජබර, සැල්වීනියා වැනි ශාක ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් වාර්ෂිකව ක්‍රියාත්මක වන්නේ නම් මඩේ එරී මියයන අලින්ගේ දිවි බේරාගත හැකි බවයි.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - අන්තර්ජාලයෙනි