ශීත කඳුකරයේ වතුකර ජනතාව අපමණ අභියෝග හමුවේ නැගී සිටින පිරිසක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. වතු හිමි ධනපතියන් හමුවේ සිය ශ්‍රමය වගුරා පනම් හතරක් සොයාගන්නා වතුකරයේ මිනිසුන්ට ව්‍යවසායකයත්වය බොහොම බැරූරුම් සංකල්පයක්. ඒත් මෑතක දී වතුකරයෙන් නැඟුණු ව්‍යවසායක හසරුල්ලක් අප සවන් වැකුණේ අහම්බෙන්. ඔහු නමින් ආර්. ශිවකුමාර්. ඔහු වතුකරයෙන් බිහිවුණු ගෞරවනීය ව්‍යවසායකයෙක්. මේ ඔහුගේ කතාව.
“මම ඉස්කෝලෙ ගියේ තුනේ පන්තිය වෙනකම්. ඊට පස්සේ මම වත්තේ වැඩ කළා. පස්සේ වත්තේ වැඩ කරන්න බැහැ කියලා මම මහනුවර ගියා. මහනුවර මාමලගේ කොම්පැනියක් තිබුණා මුරුක්කු හදන. මම ඒකෙ වැඩ කළා. 1999 දී මම තනියම කර්මාන්තයක් පටන් ගත්තා තව එක යාළුවෙක්ව වැඩට අරගෙන. පිටි කිලෝ එකයි තෙල් බෝතලයයි අරගෙන වැඩ පටන් ගත්තේ. ඒත් අපිට වැඩේ ලොකුවට කරන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් නුවර මාකට් එක හදාගන්න අපිට බැරි වුණා."
කාසාවා චිප්ස්, පැණි කජු, මලාසා මික්සර්, මුරුක්කු ඇතුළු 25 ක් පමණ වූ විවිධ නිෂ්පාදන සමඟ වර්තමානයේ වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින් සිටින SunRasa International (Pvt) Ltd හිමිකරු ආර්. ශිවකුමාර් මහතා සිය කතාව ආරම්භ කළේ ඒ විදියට. කලක ඔහු බණ්ඩාරවෙල ගල්කන්ද නායබැද්ද වතු යායේ වතු කම්කරු පවුලක ජීවන අරගලයකට මැදිව සිටි තරුණයෙක්. එහෙත් දැන් ඔහු සේවකයන් හැත්තෑවකට අධික පිරිසක් සේවය කරන සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෙක්.
“පළමු වතාවේ සාර්ථක නොවුණු නිසා මට කර්මාන්තය වහන්න සිද්ධ වුණා. මම නුවර ලකී ලයන් බිස්කට් කම්පැනි එකේ වැඩට ගියා. එතැනින් ලැබෙන මුදල බොහොම අමාරුවෙන් එකතු කර කර අවුරුදු දෙකක් විතර වැඩ කළා. ඊට පස්සේ ඇවිල්ලා බදුල්ලෙන් ආයෙත් කර්මාන්තය පටන් ගත්තා. රුපියල් 600ට විතර කාමරයක් අරගත්තා. මම කසාදත් බැන්දා. ඊට පස්සේ ටික ටික මගේ අතට සල්ලි ආවා. පස්සේ මගේ ගැන දැකල අයි.ඩී.බී එකෙන් කර්මාන්තපුරෙන් මට පොඩි ඉඩම් කෑල්ලක් දුන්නා."
ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් ශිව කුමාර් මෙම ඉඩමේ කුඩාවට තම කර්මාන්තය ආරම්භ කළා. විවිධ බැංකු වෙත යමින් කුඩා පරිමාණයෙන් ණය ලබා ගනිමින් ව්‍යාපාරය පුළුල් කරන්නත් ඔහුට අවකාශය උදා වුණා.
“මෙහෙම වැඩ කරගෙන යනකොට මගේ අම්මා වැඩ කරලා සල්ලි එකතු කරලා මට බයික් එකක් අරන් දුන්නා. ඊට පස්සේ මම නමක් දැම්මා ව්‍යාපාරයට SunRasa කියලා. වෙනත් ව්‍යාපෘතියක් නිසා අපිට කර්මාන්තයෙන් ඉවත් වෙන්න වුණා. එතැනදී රුපියල් ලක්ෂ දහයක වන්දියක් මට ලැබුණා. ඒකෙන් මම මටම කියලා පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ටකරන්වලින් වට කරපු පොඩි ස්ථානයක් හදාගෙන නැවතත් ව්‍යාපාරය ආරම්භ කළා. ඊට පස්සේ ළමයි ටික දෙනකුත් වැඩට ගත්තා."
අද මේ ස්ථානයේ දකින්න ලැබෙන්නේ දෙමහල් ගොඩනැගිල්ලක්. සන්රස කර්මාන්තශාලාව තවමත් මෙම ස්ථානයේ පවතිනවා. ඉතා වෙහෙසකර නමුත් විශාල කැපවීම් රුසක ප්‍රතිඵලයක් ලෙස තමා මෙම සන්නාමය ජනගත කරන්නට ශිව කුමාර් මහතා සමත් වී සිටින්නෙ. තම මව සහ බිරිඳ සිය සාර්ථකත්වය පිටුපස සිටි බව ඔහු සිහිපත් කරන්නේ බොහොම ගෞරවයෙන්. අද වන විට ශිව කුමාර් මහතා තිදරු පියෙක්.
“අපේ විශේෂත්වය තමා රසය. අපේ පරම්පරාවේ අය ඉන්දියාවේ ඉඳන් ආපු නිසා වෙන අයගේ වට්ටෝරුවල තියෙන රසයන්වලට වඩා අපේ රසයන් වෙනස්. මේ හැම දෙයක්ම මමම හොයලා මහන්සිවෙලා ඉගෙන ගත්ත දේවල්. තාමත් ඉගෙන ගන්නවා. මම අපේ පරණ අයගෙන් ඇහුවා ඒ කාලේ කෑමවල තියෙන වට්ටෝරු ගැන තොරතුරු. ඒවා මම හදලා බලලා කට්ටියට දීලා පරීක්ෂා කරලා බැලුවා. එහෙම තමා අලුත් නිෂ්පාදන එකතු කළේ. අජිනමොටෝ වගේ රසකාරක කිසිම දෙයක් අපි අපේ නිෂ්පාදනවලට එකතු කරන්නේ නැහැ."
සාම්ප්‍රදායික රසයක අනන්‍යතාවය තමන්ගේ නිෂ්පාදන තුළ පවත්වාගෙන යන්න ශිව කුමාර් මහතා උනන්දු වන බව ඉතාම පැහැදිලියි. ඔහු තවමත් නිෂ්පාදන අත්හදා බලමින් ඒවා වැඩිදියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම වෙළෙඳපොළ අත්පත් කර ගැනීම සඳහා වෙළෙඳුන්ට පවා තම නිෂ්පාදන රස බලන්න ඔහු ලබා දෙනවා.
“දැන් අපි සුපිරි වෙළෙඳසල්වල රුක් හදලා දෙනවා අපේ බඩු දාන්න. අලුතින් පටන් ගන්න තැන්වල අපි අපේ නිෂ්පාදන ඩිස්ප්ලේ කරනවා. නොමිලේ රුක් හදලා දෙනවා. දැන් නිෂ්පාදන වර්ග තිස් එකක් විතර අපි මේ විදිහට බෙදාහැරීම් සිදු කරනවා."
SanRasa නිෂ්පාදන ලංකාව පුරා ව්‍යාප්ත කිරීම තමා ශිව කුමාර් මහතාගේ බලාපොරොත්තුව. කොහොම වුණත් දැනටමත් කොළඹ ප්‍රදේශ කිහිපයක, මහනුවර, බදුල්ල, කතරගම ඇතුළු ප්‍රදේශ රුසක අංක එකේ වෙළෙඳ සන්නාමයක් බවට පත්වීමට SunRasa පත්වෙලා හමාරයි.
මේ ව්‍යාපාරයට අමතරව තවත් නව ව්‍යවසායන් ආරම්භ කිරීමටත් ශිව කුමාර් මහතා දක්වන්නේ දැඩි උනන්දුවක්. ඒ නිසාම මේ වන විටත් ඔහු පුවක් කොළපත් භාවිතයෙන් නිෂ්පාදන සිදුකිරීම ආරම්භ කරලා තියෙනවා.
“මම අපේ රටට හරි ආදරෙයි. අපේ අය ප්ලාස්ටික් පොලිතින් තැන තැන දාලා අපේ රටේ මහ පොළොව විනාශ කරලා යනවා. දිරන දේවල්වලින් නිෂ්පාදන සිදු කරන්න ඕනෑ කියලා ඒ නිසා මට හිතුණා. ඉන්දියාවේ සංචාරයකදී මම දැක්කා එහෙ ගොඩක් තැන්වල භාවිත වෙන්නේ කොළපත්වලින් හදපු ප්ලේට්. මං එහෙ නිෂ්පාදකයොත් එක්ක කතා කරලා ඒ ප්ලේට් හදන මැෂිමක් ලංකාවට ගෙනාවා. දැන් මාසයක් විතර වෙනවා ඒ නිෂ්පාදන පටන් අරගෙන."
මෙයින්ද නොනවතින මේ අපූරු ව්‍යවසායකයා තවත් අලුත් නිෂ්පාදන හඳුන්වාදීමේ නොතිත් ආශාවකින් පෙළෙනවා. පන්සලට කෝවිලට රුගෙන යාමට කොළපත් මල් වට්ටි, දෛනික පරිභෝජනය සඳහා ආනමාලු, කෙසෙල් කොළවලින් හදන ප්ලේට්, කෙටි ආහාර අතරට කෙසෙල් චිප්ස්, මඤ්ඤොක්කා පිටි ආදී නිෂ්පාදන ඔහු වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින නිෂ්පාදනවලින් කිහිපයක් පමණයි.
නව අදහස් සමඟ කරළියට පැමිණෙන ශිව කුමාර් නම් ව්‍යවසායකයා 2022 ජාතික කර්මාන්ත සම්මාන උළෙලේදී සම්මානයට පවා පාත්‍ර වුණා. ඉතින් අවසානයේ ධෛර්යවන්තව නුවණින් යුතුව කටයුතු කරන්නේ නම් ජීවිතය ජය ගැනීමට ව්‍යවසායකත්වය තරම් වූ පැහැදිලි මාවතක් නොමැති බව සඳහන් කළ යුතුමයි. එය පැහැදිලි කිරීමට බදුලු බණ්ඩාරවෙල ශීත කඳුකරේ නායබැද්ද වතු යායේ සිට පැමිණ ව්‍යවසායකු බවට පත් වූ ආර්. ශිව කුමාර් මහතාගේ කතාව කදිම උදාහරණයක්.