වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂඥයන් පිරිසක් පසුගිය අප්‍රේල් 29 වැනි දින සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූහ. ස්වාධීන විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වධහිංසා, අමානුෂීක හෝ පිළිගත නොහැකි දඬුවම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුආන් මෙන්ඬේස්ගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේදී අදාළ අංශයන්හි මෑත යුගයේ වර්ධනයන් විමසා බලා වාර්තාවක් සැකසිණි. එම වාර්තාව මොනිකා පින්ටෝ විසින් ජිනීවාහිදී පසුගිය ජුනි 06 වැනිදා ආරම්භවූ මානව හිමිකම් කවුන්සිලයේ 35 වැනි සමුළුවේදී ඉදිරිපත් කරනු ලැබීය.
ලක් රජයේ ආරාධනය මත ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ දූත පිරිස සිය සංචාරයේදී කොළඹ, මහනුවර, අනුරාධපුර, උතුරු, නැගෙනහිර සහ වෙනත් පළාත්වලද සංචාරය කළහ. ඔවුන් විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යවරයා, හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා, මධ්‍යම, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල අග්‍රාණ්ඩුකාරවරු ද මුණ ගැසිණි. මීට අමතරව කොමිෂන් සභා කිහිපයක් හා නීති ක්ෂේත්‍රයේ විවිධ අංශයන් ද හමුවිය. ඈ රැඳවියන් රඳවා සිටින ස්ථාන පරීක්ෂා කිරීම සිය සංචාරයේ ප්‍රධානම අංගයක් කරගත්තාය.
ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් හා නීතීඥවරුන් ප‍්‍රමුඛ අධිකරණ ක්ෂේත‍්‍රයේ ස්වාධීන ක‍්‍රියාකාරීත්වයට සිදුවූ බලපෑම් හා උල්ලංඝනයන් පිළිබඳව මොනිකා පින්ටෝ වාර්තාව පරිච්ඡේද හතකින් සැකසුණි. සමුළුවේදී මොනිකා පින්ටෝ ශ්‍රී ලංකාවේ දේශපාලනික පසුබිම, අධිකරණ ව්‍යූහය හා නීති රාමුව සම්බන්ධයෙන් 1 සිට 3 දක්වා පරිච්ඡේද වලින් හැඳින්වීමක් කිරීමෙන් පසු මෙරට අධිකරණය ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වයට අභියෝග වන කරුණු සිව්වන පරිච්ඡේදයෙන් ඉදිරිපත් කළාය. මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රඥප්තීවලට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇතත් ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ හෝ ව්‍යවස්ථවෙන් මානව අයිතීන් නිසි පරිදි පිළිගෙන නැතැයි ඇගේ මූලික චෝදනාව විය. එමෙන්ම ව්‍යවස්ථාව මඟින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිගෙන නැති බවත් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්ය. විනිසුරුවරුන්ගේ තීන්දු සම්බන්ධයෙන් බලපෑම් කිරීම, විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට පහරදීම් ආදිය බරපතළ ලෙස සිදුව ඇති බවත් නව රජය පත්වූ පසු එවැනි ඍජු සිදුවීම් වාර්තා නොවන බවත් ඈ පෙන්වා දෙයි. විනිසුරුවන් විශ්‍රාම ගිය පසු දේශපාලන බලාධිකාරිය විසින් විවිධ පත්වීම් ලබාගැනීම සඳහා ධූරය දරන කාලයේ ඔවුන්ට හිතවත්ව තීන්දු තීරණ ගැනීමට පෙළඹී තිබීම බරපතළ ගැටලුවක් ලෙස ඈ පෙන්වා දී තිබේ. නමුත් වත්මන් රජය පත්වූ 2015න් පසු අධිකරණයට යම් ස්වාධීනත්වයක් හා විනිසුරුවන්ට ආරක්ෂාවක් හිමි වුවද ප්‍රමාණවත් ස්වාධීනත්වයක් තවමත් ලැබී නැති බවත් ඈ සිය වාර්තාවෙන් පවසයි.
විනිසුරුවරුන්ගේ පත්වීම්, උසස්වීම් හා පහකිරීම්, මාරුවීම් දේශපාලන බලපෑම් මත සිදුවන බවත්, ඒවායේ අපක්ෂපාතීත්වයක් හා විනිවිදභාවයක් නැති බවත් මොනිකා පින්ටෝ චෝදනා කරයි. එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප ඉහළ සුදුසුකම් ඇති විනිසුරුවරුන් ආකර්ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් නැති බවද එම වාර්තාවේ සඳහන්ය. විනිසුරැවන්ට ලබා දෙන අනෙකුත් පහසුකම්, පුස්තකාල, සේවා ස්ථාන ආදිය නිසිපරිදි ලබා දීමෙන් විනිසුරුගේ හොඳ සේවයක් ලබාගත හැකි බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතවරිය පෙන්වා දෙයි.
නීතිපතිවරයා පත්කිරීමේ විනිවිදභාවය ද ගැටලු සහගත බවත් අපරාධ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තුමෙන්තුවට විමර්ශන කිරීමේ බලයක් නැතිවීම ගැටලුකාරී බවත් ඇය තවදුරටත් පෙන්වා දෙයි. විමර්ශන කටයුතු සිදුකරනු ලබන පොලිස් දෙපාර්තුමේන්තුව අකාර්යක්ෂම, නොසැලකිලිමත්, ගැටලුකාරි තත්ත්වයට පත්ව ඇත්තේ නිලධාරීන්ගේ දැනුම පහළ මට්ටමක පැවතීම නිසා යැයිද නියෝජිතවරිය සමුළුවේදී සඳහන් කළාය. එම නිසා නීතිපති දෙපාර්තුමේන්තුව විශාල ගැටලුවකට මුහුණ පා ඇති බවත් අපරාධ හා දේශපාලනික නොවන ළමා දූෂණ වැනි බරපතල වැරදි විමර්ශන අවසන් කිරීමට පවා වසර 7ක් වැනි කාලයක් ගතව ඇති බවත් ඈ උදාහාරණයක් දක්වමින් කියා සිටියි. තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ආරක්ෂක අංශ සම්බන්ධ දූෂණ හා අපරාධ විමර්ශනය කරනු ලබන්නේ ඉතාමත් අඩු වශයෙන් යැයි ද එවැනි සිදුවීම් විශාල ලෙස ගොඩ ගැසී ඇති බවත් ඇය අනාවරණය කර තිබේ.
මොනිටා පින්ටෝ විශේෂ අවධානයක් යොමුකරමින් පවසන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ සුළුජාතීන්ට ලැබී තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් අඩු බවයි. ඇතැම් ආයතන සම්පූර්ණයෙන්ම බහුජාතියේ ආධිපත්‍යයේ පවතින බවත් වාර්තාවේ සඳහන් කරයි. එම හේතුවෙන් භාෂාමය ගැටලු පැනනගින බවත් සෑම මොහොතකම නිවැරදි පරිවර්තනයන් නොලැබෙන නිසා මේ තත්ත්වයට ගැටලුකාරී තත්ත්වයට පැමිණ ඇති බවත් පවසයි. සුළු ජාතීන්ගේ නියෝජනයට අමතර කාන්තා නියෝජනයත් වැඩි කළ යුතු බව ඈ පෙන්වා දී තිබේ. නීතීඥවරුන්ගේ අපක්ෂපාතීත්වය ප්‍රශ්න කරමින් මොනිකා පින්ටෝ නීතීඥවරුන්ගේ සංගමය විවිධ අවස්ථාවන්වල එක් එක් පක්ෂවලට පක්ෂපාතීව කටයුතු කරන ලෙස ඉල්ලු බවත් සිය වාර්තාවේ සඳහන් කරයි. එමෙන්ම පෙරට වඩා මේ වන විට නීතීඥයන්ට ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය වී ඇතැයිද පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට බලධාරීන් නැවත නැවත මතක් කළ බවද මොනිකා ටින්ටෝ වාර්තාවේ සඳහන්ය. නඩු පමාවීම බරපතළම ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඇතැම් නඩු වසර 30ක් තිස්සේ විසඳුම් නොදී ප්‍රමාද වී ඇති බවත් පවසයි. සංක්‍රාන්තික යුක්තිය සඳහා උගත් පාඩම් කොමිෂන් සභාව වැනි කොමිෂන්වල වාර්තා ප්‍රසිද්ධ නොකරන ඉන් බලාපොරොත්තු වූ එකදු වෙනසක්වත් සිදු නොකළ බවත් ඇය චෝදනා නගා ඇත. මීට අමතරව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත නව ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රමාදය ප්‍රශ්න කරයි.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි. විශේෂයෙන්ම 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද බව මෙරට නිත්‍ය නියෝජිතවරයා එම කවුන්සිලයට පෙන්වා දී තිබේ. මොනිකා ටින්ටෝගේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආරියසිංහ මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති බවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බවද ඔහු පවසයි. විශේෂයෙන් එමගින් ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට සාමාජිකයන් පත්කිරීම ස්වාධීනව සිදුකිමට පියවර ගෙන ඇති බවද ඔහු පෙන්වා දී ඇත. පින්ටෝ මහත්මියගේ වාර්තාවෙන් විනිසුරුවරුන්ට රජයෙන් බලපෑම් එල්ල වන බවට සඳහන්ව තිබුණද නව රජය යටතේ එවන් තත්ත්වයක් සිදුනොවන බවත්, විනිසුරුවරුන්ගේ බලය වැඩි කිරීමට මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව උදෙසාද නව රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් රවිනාථ ආරියසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එම වාර්තාව නිකුත්වීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මොනික පින්ටෝ ශ්‍රී ලංකා අධිකරණය 15 වතාවක් අපහාස කර ඇති බවයි. එමෙන්ම ඔහුද පසුගියදා සමුළුවට සහභාගි වී සිය මතය ප්‍රකාශ කිරීමට ජිනීවා බලා පිටත්ව ගියේය.
“මේ නැති දෙයක් මවා පෙන්නලා තියෙන්නේ. වර්තමානයේ කිසිසේත්ම නීතීඥයන්ගේ ආරක්ෂාවට බලපෑම් ඇතිවෙලා නැහැ. නීතීඥවරුන්ට ආරක්ෂාව නැතැය, ඔවුන් අපක්ෂපාතී නැතය, ඔවුන් විශ්වාසවන්ත නැතය යැයි ප්‍රකාශ කරන්නේ ඒ අයට වාසිසහගත යම් දේවල් ලබා ගැනීම සඳහා පමණයි. ඒවා වහසි බස්. නීතීඥ සංගමයට අදාළව තියෙන දේවලුත් සම්පූර්ණයෙන්ම වැරදියි. වර්තමාන නීතීඥයන්ගේ සංගමය දේශපාලනය කරන්නෙත් නැහැ එහෙම කරගෙන යන්න ඉඩ තියන්නෙත් නැහැ. ආවාට ගියාට මතයක් කීම වැරදියි. දැන් සංගමයේ සභාපතිධූරය දරන මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධත් නැහැ මට කලින් සිටි සභාපතිවරයා සම්බන්ධත් නැහැ. පෙර කාලෙක තිබුණු දේවල් මතුකර කර වර්තමානයේ නීතීඥයන්ගේ සංගමය දේශපාලනීකරණය වෙලාය කියා කරන චෝදනාව භාරගන්න බැහැ. නීතීඥයන්ගේ සංගමය සියලු ආගමික ධාරාවන් නියෝජනය කරන සංගමයක් නිසා එක් එක් ධාරාවන්ට අදාළ කටයුතුවලට මැදිහත් වුණාට දේශපාලනික වශයෙන් මැදිහත් වෙන්නෙ අපි සූදානම් නැහැ.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 35 වැනි සමුලුවේ ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යූ.ආර්.ඩී. සිල්වා මහතා පැවසීය.
මොනිකා ටින්ටෝ සිය වාර්තාවේ 6 වැනි පරිච්ඡේදයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කිරීම යෝජනා 48ක් ද ඉදිරිපත් කර ඇත.
♦ සකීෆ් සාමි තන්වීරි