2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

වෙස්මූණු ගලවන්න රවි ධනුවට එයි

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 251

තම හිතමිත්‍ර ගුරුගේ භවනට රවි ග්‍රහයා 206.12.15 දින රාත්‍රී 8.55ට පමණ සම්ප්‍රාප්ත වන විට ඔහු පිළිගන්නට බුධ ග්‍රහ කුමරු ධනුවේ ලැගුම්ගෙන සිටී. රවි + බුධ ග්‍රහ යුවළ මෙසේ ධනුවේ සිටියදී රාහුගේ දෘෂ්ටියෙන් ඔවුන් හෙම්බත් වෙනවාද ඇත.

රාහු යනු උපක්‍රමශීලී කුමන්ත්‍රණකාරී ග්‍රහ බලවේගය වන්නේය. රවි යනු රාජ්‍ය කාරක ග්‍රහයා ද වේ. මේ අනුව රජයට එරෙහිව විවිධාකාර කුමන්ත‍්‍රණ දියත් කරන්නට රාහු ග්‍රහයා ක්‍රියා කරන්නේය.

ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අදහසින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ උපක්‍රමශීලී කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයක් දියත් කෙරෙනවා ඇත. මේ නිසා විශාල අලාභ හානියක් ද දුම්රිය අනතුරක් ද මතුවී සුවිශාල දේපළ හා ජීවිත විනාශයක් සිදුවීමේ අවදානම පවතින බැවින් දැන් සිටම සියලු වගකිවයුතු අංශ විමසිල්ලෙන් පසුවීම යෙහෙකි.

තවද උක්තගත තත්කාලයෙහි විදේශ කටයුතු හා සම්බන්ධ ස්ථානයෙහි සෙනසුරැ සමඟ ‍ජේෂ්ඨාශ්ඨම වූවාවූද, රවිගේ දෘෂ්ටිය ලැබුවාවූද චන්ද්‍රයා ලැගුම් ගෙන සිටී. මේ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකාරී වන්නාවූ ශ්‍රී ලාංකිකයින්ගේ පූර්ණ ආශිර්වාදය ලබන්නාවූ කිසිවෙක් නොසිතූ ආකාරයේ රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් විදේශයකදී සිදුකරනවා ඇත. නමුත් දෙවැන්නේ පතිත සිකුරැ ග්‍රහයාගේ බලශක්තිය ක්‍රියාත්මක වී කාන්තා පාර්ශ්වයේ මැදිහත්වීමක් තුළින් එකී පීඩාකාරී බලවේග යටපත් කළ හැකිවනු ඇත. රාජ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී සුදුසු කාන්තා පාර්ශ්වයේ සහයෝගය ලබාගෙන ජනතාව අපහසුතාවයට පත් කෙරෙන ව්‍යායාමයන් ව්‍යර්ථ කර දැමීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙම රවිගේ ගෝචර මොහොතේදී රාජ්‍ය ස්ථානයේ අරක්ගෙන සිටිනුයේ ගුරැ ග්‍රහයාය. මෙකී රාජ්‍ය ස්ථානයට සිකුරැගේ දෘෂ්ටිය ද එල්ල වන්නේය. මේ නිසා කොපමණ තැලුවත් ඝාතනය කරන්නට නොහැකි. මැඩියකු සේ ආණ්ඩුවද සියල්ලට ඔරොත්තු දෙමින් ශක්ති සම්පන්න වී ක්‍රමයෙන් තම බලය දෙගුණ තෙගුණ කරගන්නවා ඇත.
රාජ්‍ය කාරක රවි තම උච්ච භවනය බලා ගමන් කරන ආරෝහන ග්‍රහයා බැවින් කුමන බලවේග හමුවේ වුවද නොසැලී රජයද ශක්ති සම්පන්න වනවා සේම ගුරැ සිකුරැ අන්‍යෝන්‍ය දෘෂ්ටිය නිසා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නිදහස ශ්‍රී ලාංකිකයාට භුක්ති විඳීමේ අවස්ථාව ද සැලසේ.

කුමන තත්ත්වයක් යටතේ වුවද වසරක් ගෙවී වසරක් ලබාගෙන එන මෙම මොහොතේදී රාජ්‍ය පාලකයින්ගේ පෙර පින ඉස්මතු කෙරෙන අතර ඔවුන්ගේ දීර්ඝායුෂ විඳීමේ වරමද වඩා වර්ධනය වනු ඇත.

ගුරැ ග්‍රහයාට  හිමි ධනුවේ රවි ග්‍රහයා ගමන් කරන නිසාද එකී ලග්නාධිපතියා තත්කාල කේන්ද්‍රයේ රාජ්‍ය ස්ථානයේ ලැගුම් ගැනීම නිසාද රාජ්‍ය නායකයන් විසින් තම තමන්ගේ දර්ශනයන්ට අදාළව සෙත් ශාන්ති සිදුකිරීමේ කටයුතුවල නිරතවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
විශ්වකීර්ති ජ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී 
සාමවිනිසුරු
තලගහ, අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන