2017 ජුනි 24 වන සෙනසුරාදා

ඉන්දියාවේ ක්‍රිකට් පිස්සුව

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ඉන්දියාවේ මහා සිහිනයක් පසුගිය ඉරිදා බිඳ වැටුණේය. මේ බිඳ වැටීම සුළුපටු එකක් නොවූයේ එයින් රටේ රූපවාහිනි යන්ත්‍ර රැසක්ම බිඳ වැටුණා පමණක් නොව ඉන්දිය ක්‍රිකට් ක්ෂේත්‍රයේද මහා දෙදරීමක් ඇතිකළ හෙයිනි. 2017 චැම්පියන්ස් ශූරතාව පාකිස්ථානයට හිමිවීමත් සමඟම ඉන්දියාවේ ක්‍රිකට් පිළිබඳ සැබැ මුහුණුවර නැවතත් ලෝකයටම හෙළිදරව් විය. ඉන්දියාවට ක්‍රිකට් යනු හුදු ක්‍රීඩාවක් පමණක් නොවේ. එය තම රටේ අභිමානයයි. කලාපීය බලවතා බව ලොවට පෙන්වන කැපී පෙනෙන ජය සංකේතයයි. කොටින්ම ඉන්දියානු හුදී ජනයාගේ සිට ප්‍රභූවරයා දක්වා සකල ජන පිරිසට ක්‍රිකට් යනු දෙයියන් බුදුන් බඳු මහා ඇදහිල්ලකි. පසුගිය ඉරිදා බිඳ වැටුණේ මේ කියන අභිමානයයි. පරාජය වූයේ ඔවුන්ගේ ඇදහිල්ලයි. ඇත්ත ඇති සැටියෙන්ම කිවහොත් පාකිස්ථානය පහර දී තිබුණේ ඉන්දියාවේ ලාමක උඩඟුකමටයි. එරට ක්‍රිකට් ලෝලින් මේ පරාජය මහත්මා ගතියෙන් බාරගනු වෙනුවට රට පුරා හයක් හතරක් නොදන්නා පොඩි දරුවන් මෙන් යකා නැටීමෙන්ම තහවුරු වන්නේ පාකිස්ථාන පිති ප්‍රහාරය ඉන්දියානුවන්නේ මමංකාරය, මාන්නය දෙදරවා හැරීමට සමත්ව ඇති බවය.

ඉන්දියාව තුළ දීම ක්‍රිකට් පිලට සමාජ ජාල මගින් ක්‍රිකට් රසිකයන් කල්තබාම අඟවා තිබුණේ චැම්පියන් කුසලානය නැතිව ගෙදරට එන්නට එපා කියාය. තමන් ලෝක ශූරයන් වීම ඒකාන්තයැයි සිතා සිටි ඉන්දියානු සිහිනය බිඳ වැටීමත් සමඟම දෙදරා ගිය රසිකයන්ගේ අභිමානය තුළින් දෝරේ ගලා ගිය වියරු කෝපයට මුලින්ම මුහුණ දුන්නේ අතළඟ තිබූ රූපවාහිනියයි. රටපුරා රූපවාහිනි යන්ත්‍ර කඩා බිඳ දමනුත් පාරට බැස ඩෙඟා නටනුත් ලෝක මාධ්‍ය තුළින් දිස් වූයේය. ඉන්දීය නායකයා සහ පුහුණුකරු අතර තිබූ මත භේදය මේ පරායට මූලික හේතුව ලෙස දුටු රසිකයෝ ඔවුන්ගේ නිවාස වැටලූහ. අන්තිමේදී මේ නිවාස ආරක්ෂාවට පොලීසිය මදිවාට හමුදාව යොදන්නටත් සිදුවිය.

රසික පිරිස සිය කුඩුපට්ටම් වූ අභිමානය පිළිබඳ විරසකය පිට කළේ පඹයන් සහ පෝස්ටර් ගිනි තබමිනි. තවත් අය දෙස් දෙවොල් තබන්නට වූයේ නැකැත් සහ ග්‍රහචාරයටයි. මහේන්ද්‍ර සිං දෝනිගේ රාන්චි නගරයේ නිවසට මුලින්ම ගල් වරුසාවක් එල්ල විය. උත්තර් ප්‍රදේශයෙහි කාන්පූර්වල සහ උත්තර් කාන්ද්වල හරීද්වාර් හි රසිකයෝ රූපවාහිනි කුඩුකළහ. අයුතු ජන රාශිය වැළැක්වීම සඳහා අපරාධ නීති සංග්‍රහයේ 144 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්නට ප්‍රාන්ත ආණ්ඩුවට සිදුවිය. දෙනාර්දුන් ඔරලෝසු කනුව අවට ප්‍රදේශයට මේ තහනම පනවන්නට යෙදී තිබුණේ 1978 එය නීතිගත කළ පසු මුල්වරටය. ඒ අනුව හතර දෙනකුට වැඩි පිරිසකට එහි එක් රැස්වීම තහනම් විය.

හඬා වැටෙමින් හු! කියමින්, කැකෝ ගසමින් පාරට බැස වියරුවෙන් මෙන් හැසිරුණු ඉන්දීය ක්‍රිකට් ලෝලිහු ක්‍රිකට් පිස්සුව හෙවත් මේනියාව මෙන්න මෙබඳු යැයි ලෝකයාටම පෙන්වා දෙන යස නිදසුන් බවට පත්ව සිටියහ. විරාත් කෝලි, අශ්වින්, යුවරාජ් සිං ඇතුළු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාකයන්ගේ ඡායාරූප ඇතුළත් පෝස්ටර් කාත්පූර් ඇතුළු ප්‍රදේශ ගණනාවක ගිනි දෙවියාට බිලිවෙනු ලෝකයම දැක ගත්හ.

කාශ්මිර නිම්නයේ තරුණ පිරිස පාකිස්ථාන ජයග්‍රහනයෙන් උත්කර්ෂයට පත්ව උන්මාදනීය තත්ත්වයකට පත්වූහ. පාර පුරා ගිනිකෙළි පත්තු කරමින් ඉන්දීය විරෝධය මුදා හැරීමට කටයුතු කළහ. ප්‍රමෝදයේ උපරිමයට ළඟා වූ සමහරු පොලිස් ස්ථාන වලටද රතිඤ්ඤා දැමූහ. කොටින්ම සමහර ස්ථානවල හුරේ දැමීමටපෙරමුණ ගෙන තිබුණේ කාන්තාවන්ය. ලන්ඩනයේ ශ්‍රීමත් ජැක් හොබ්ස් දොරටුව අසල ඇති වන්නට ගිය ඉන්දු පාකිස්ථාන පොරයක් නවත්වන්නට පොලිසියට හැකිවූයේ යාන්තමිනි.

අමුතුම මාදිලියේ පුවතක් මේ අතර වාර්තා වූයේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ මුස්ලිම් ගමක තරුණයන් පහළොස් දෙනකු පමණ පාකිස්ථානයට හුරේ දමමින් ඉන්දියාවට එරෙහිව හඬනගමින් ක්‍රිකට් තරගය නරඹද්දී මධ්‍යම ප්‍රදේශ් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. මේ පිරිසට එල්ල වී ඇත්තේ බරපතළ චෝදනාවකි. ඒ රාජ ද්‍රෝහි වීමයි. 1870දී සුද්දාගේ කාලයේ නීතිගත කරන ලද රාජද්‍රෝහී නීතිය එරට අපරාධ නීති සංග්‍රහයේ දරුණුතම විධිවිධානයකි. මේ අනුව වරදකරුවන තැනැත්තෙකු ජීවිතාන්තය දක්වා මහ උළුගෙදර යැවිය හැකිය. 

ඉන්දීය රසිකයන්ගේ විරෝධය සහ වියරුව මැද පසුගිය අඟහරුවාදා වාර්තාවූයේ එරට ජාතික ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේ තම තනතුරෙන් ඉල්ලා අස්වූ බවය. කුම්බ්ලේ හා ඉන්දියානු නායක කෝලි අතර මත භේදය මාස ගණනාවක සිට පැවතුණකි. චැම්පියන් කුසලානය අහිමිවීමට එය හේතුවක් ලෙස මාධ්‍ය මගින්ද උලුප්පා පෙන්වන ලදී. කෙසේ වුවද ඉදිරියේ පැවැත්වීමට නියමිත දකුණු ඉන්දීය සංචාරයෙන් පසු කුම්බ්ලේ විශ්‍රාම යෑමට නියමිතව තිබුණි. ඔහුගේ තනතුර සඳහා අයැදුම්පත්ද කැඳවා තිබුණි. හදිස්සියේම ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඒ අතරය.

ඉන්දියාවේ සිදුවීම් මෙසේ පෙල ගැසෙද්දී පාකිස්ථාන රජය සිය පාරම්පරික සතුරා වූ ඉන්දියාවට පාඩමක් ඉගැන්වීම පිළිබඳ සතුටට පත්ව සිය ක්‍රීඩකයන් හට එක් අයකුට රුපියල් මිලියනය බැගින් වූ විශේෂ ප්‍රදානයක් පිරිනැමීමට කටයුතු කර තිබේ. මේ ඔවුන්ට ලැබෙන මිලියන 29ක මුදලට අමතරව ලැබෙන බෝනස් මුදලකි. ඒ හැර පාකිස්ථාන කණ්ඩායමට අයි.සී.සී. මගින් මිලියන 200කට ආසන්න මුදලක් කුසලානය දිනීම වෙනුවෙන් ලැබී තිබේ. මේ සියල්ල එකතුව දැන් පාකිස්ථාන ක්‍රීඩකයෝ එක රැයින් ලක්ෂපතියන් බවට පත්ව හමාරය.  වෙනත් රටක් නොව ඉන්දියා පරදා සිය රටට කීර්තියක් අභිමානයක් ළඟාකර දීම සම්බන්ධයෙන් පිරිනැමෙන මේ සරුසාර බෝනස් මුදල් කලාපීය බල අරගලය පිළිබිඹු කරන කැඩපතකි. 

ලෝකයේ ක්‍රිකට් අතින් කැපී පෙනෙන ආසියා කලාපීය අසල්වැසියන් තිදෙනා වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය අතර ඇත්තේ අමුතුම සබඳතාවකි. ඒ සබඳතාව ලෝකයට මනාව පෙන්වූයේ මෙවර මෙකී රටවල ක්‍රිඩාලෝලින්ගේ හැසිරීම මගිනි. ශ්‍රී ලංකාව මෙවර චැම්පියන්ස් තරගාවලියේදී ඉන්දියාවට බැට දෙද්දී අපේ අයටත් වඩා හුරේ දැම්මේ පාකිස්ථානයයි. 1996 දී ලෝක කුසලානය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ලංකාව උදුරා ගත් ලාහෝර් තරගයේදීද පාකිස්ථාන ක්‍රීඩාලෝලින්ගේ සහාය ලංකාවට ලැබුණි. මෙවර ඉන්දියානුවන් ලංකාවට පරාජය වූ විට පාකිස්ථාන ක්‍රීඩාලෝලියෙක් ශ්‍රී ලංකා මාතා කියමින් අපේ ජාතික ගීය ගැයූ අයුරු ලෝකයම දැක ගත්තේය. ඒ සමගම කලාපීය දේශපාලනික විරසකයද මෙවර පාකිස්ථානය ඉන්දියාවට බැටදෙද්දී ලංකාවේ ක්‍රීඩා ලෝලින් සිටියේ පාකිස්ථානය සමගය. ටිවිටර්, ෆේස්බුක් සමාජ වෙබ් අඩවි මගින් අපේ අය හුරේ දැම්මේ පාකිස්ථානයටය. කෝචෝක් කළේ කෝලිට හෝ දෝනිට හෝ ඉන්දීය ක්‍රිකට් පිලටය. ඉන්දියානු ජාතිකවාදී මාන්නය කලාපීය වශයෙන් තදබල ලෙස හෑල්ලුවට ලක්වූ අවස්ථාවක් ලෙස 2017 චැම්පියන් කුසලානයෙන් පසු සිදුවූ මේ සංසිද්ධිවල ප්‍රතිඵල හැඳින්විය හැකිය.

♦ සුගත්