‘එල්’ බෝඩ්, සවි කරගත් රථවාහන මාර්ගයේ ගමන් කිරීම, සුලබ දසුනක් නොවුණත් දුලබ ද නොවේ. ‘එල් බෝඩයෙන්’ අදහස් වන්නේ එම රථයේ රියැදුරා, පුහුණුවන්නකු (Learner) හෝ නවකයකු බවයි.
එල් බෝඩ්කාරයා දකින, පුහුණු රියැදුරෝ ඔහු කෙරෙහි කරුණා සිතින්, වැඩි ඉඩක් දෙති. පරිස්සමින් යති. තමන්ද එලෙස පුහුණු වූ අය බව ඔවුන්ට මතකය.
මෑතකදී මෙරට දේශපාලන මාවතේද, එල් බෝඩ් කතාවක් මතුව ආයේ, පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරු පිරිස නිසාය. ඊටත් පෙර සිටම, “මෙලෝ දෙයක් දන්නේ නැති අලුත් පිරිසකට රට දුන්නොත්, වළ පල්ලට යතැ”යි, අඬහැර දෙන්නට ගත්තේ, පළපුරුදු දේශපාලන රියැදුරන් කිහිප දෙනෙකි.
එල් බෝඩ්කාරයන්, පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව තීරණය කළේ ද, එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර්ස්ලා, රට සෞභාග්‍යයට ගෙන ගිය හැටි හොඳ හැටි තේරුම් ගෙන සිටි නිසාමය.
එල් බෝඩ් කතාවට මුල පිරුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහය. පාර්ලිමේන්තුව ශුද්ධ පවිත්‍ර කර දෙන මෙන්, ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනතාවගෙන් කළ ඉල්ලීමට පිළිතුරක් වශයෙන්, රනිලුන් ඇසුවේ මෙසේය.
“පාර්ලිමේන්තුව සුද්ද කරලා, ඒ වෙනුවට හදන්නේ එල් බෝඩ් පාර්ලිමේන්තුවක්ද?”
(Are we going to clean the dirt and creat an L board Porliament?)
අවසානයේදී, රනිලුන්ද ඇතුළුව දේශපාලනයේ වෙට්ට පිත්තල වෙටරන්ස්ලා තොගයක්ම, “එක්ස්, වයි, ඉසෙඩ්” වී ගෙදර ගියහ.
තමන්ගේ එල් බෝඩර්ස්ලා ගැන, නව ජනාධිපති පැවසුවේ, ඔවුන් පාර්ලිමේන්තුවට අලුත් නමුදු, දේශපාලනයට අලුත් නැති බවය. අනෙක් අතට, කබාය පිටුපස, එල් බෝඩ් තිබුණත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මහාචාර්යවරුය. වෛද්‍යවරුය. නීතිඥවරුය. ඉංජිනේරුවරුය.
රනිලුන්ගේ ‘ගෝඩ් ෆාදර්’ වූ, ජේ.ආර්. උන්නැහේටද, නවකයන් හෑල්ලු කිරීමේ පුරුද්ද තිබුණේය. ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී, ඔහු, එවකට එරට අගමැතිව සිටි රජීව් ගාන්ධිට නක්කලයක් දැම්මේ, තමන් රජීව්ගේ අත්තලා, මුත්තලා, අප්පලා සමඟ ළඟින් ඇසුරු කළ ජ්‍යෙෂ්ඨයකු බව කියමිනි.
මේ කතාවට, ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණක් නොව මාධ්‍යවේදීන්ටද තද වුණේය. ඔවුන් පෙරළා, ජේ.ආර්. ට පහර දුන්නේ, එය සමුළුවකදී නොකළ යුතු සීමාව ඉක්මවා ගිය, සදාචාරාත්මක නොවන වැඩි කතාවක් යැයි කියමිනි. එහෙත්, ජේ.ආර්. ඒවා, පයිසෙකටවත් ගණන් ගත්තේ නැත. ඔහු එදා, රජීව් ගාන්ධිට සැලකුවේද එල් බෝඩ්කාරයකු ලෙසිනි.
පසු කාලයකදී, රජීව් ගාන්ධි සිරි ලංකාවට ගෙන්වා, ඔහු සමඟ සහයෝගයෙන්, කොටි සංවිධානයට එරෙහිව, ඉන්දියානු සාම හමුදාව ගෙන්වීමට ගිවිසුම් ගැසුවේය. එදා, සිරි ලංකා නාවික හමුදා භටයකු තුවක්කු බඳෙන් දුන් පහරින්, රජීව් ගැලවුණේ අනූ නමයෙනි. ඉන්පසු, කොටි සංවිධානයේම බෝම්බයකින් ඔහු අකාලයේ මිය ගියේය.
ජේ.ආර්. ට විරුද්ධ උද්ඝෝෂණද රට පුරා පැවති කාලයක් විය. තාප්පයක් ගාණේ, “ජේ.ආර්. මරමු” යැයි සඳහන් පෝස්ටර් ඇලවුණි. එහෙත්, ඔහු මිය ගියේ ගෙනා ආයුෂ සපුරා, ස්වභාවික ලෙසය.
මේ පරණ කතා ඇවිස්සුවේ, දේශපාලනයේ ඇති අරුම පුදුම බව පෙන්වා දීමටය.
එල් බෝඩ්කාරයන්ගේ නායකයා වූ, අනුර සහෝදරයා, ජනපති වූ සැණින් පැවසුවේ තමා මැජික්කාරයකු නොවන බවය. එහෙත් ඊට මඳ කලකට පසුව, ඔහු තම සගයන් සමඟ, තුනෙන් දෙකේ බලයක් සහිතව පාර්ලිමේන්තුව සුද්ද කරන්නේ, දේශපාලනය තුළ ද, ඉන්ද්‍රජාලික දෑ සිදුවන බව පෙන්වමිනි. මැජික්කාරයා නොහොත් ඉන්ද්‍රජාලිකයා යනු, කළ නොහැකි යැයි විශ්වාස කරන ක්‍රියා, සිදුකොට පෙන්වන්නකු බව, “තුනෙන් දෙකේ මැජික්” එක දැක අන්ද මන්ද වූ පිවිතුරු දේශපාලනඥයෙක්ද, පවසා තිබුණි. ඒවා දකින අසන, හෙළය උරුම කරගත් කොයි කාට වුණත්, ‘අනේ අපොයි’ කියවෙනවාට සැක නැත.
කපන්න බැරි අත සිඹීම, පෘථග්ජන මිනිසුන්ගේ ගතියකි. සමහරු ඉඹීමෙන් නොනැවතී අතේ එල්ලීමට තැත් කරති. එසේම සමහරු අත සිඹින අතරේම, අත කපන්නට ඇත්නම් යැයි සිතති.
ලොතරැයි දිනුමක් ඇදුණු පුද්ගලයාට නෑදෑ - මිතුරන්ගෙන් අඩුවක් නැත. මැතිවරණ ජයග්‍රහණයකදීද එසේමය. දැන් රට පුරාම සිටින්නේ මාලිමාවට කතිරය ගැසූ ජනයාය. සුබ පැතුම්වලින්, සෙල්ෆි ගැසීම්වලින්, බොරු හැඳුනුම්කම්වලින් අඩුවක් නැත. මේ අතරින් කෙනෙක් රටට හොඳක් වෙතැයි සිතන අතර, තවත් කෙනෙක් තමන්ට හොඳක් වෙතැයි පතති. කෙසේ වෙතත්, “වෙල්ඩන් - එල් බෝඩ්” යැයි කියා, වට කරගන්නා ඇතැමුන්ගෙන් පරිස්සම් වීමට, එල් බෝඩ්කාරයන් වග බලාගත යුතුය. ඇල් වතුරෙන් බෙල්ල කපන අය මෙන්ම, ඇල්ලට බැහැලා, වැල්ලට නියවන අයද ඒ අතර සිටිය හැකි බැවිනි.
පෙරළුණු පිට වඩා හොඳ යැයි කියන අයද මේ දිනවල සීන් එකට එති. “මේ පාර මාලිමාවේ ජයග්‍රහණය, අපේ අප්පච්චිගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වීමක්” යැයි කීවේ එවැනි පුතෙකි. එවැනි පුතුන්ට යොදන විශේෂණ පද, අපේ ජනවහරේ ඕනෑ තරම්ය.
කපිල කුමාර කාලිංග