2017 ජුලි 01 වන සෙනසුරාදා

මාලිංග, ජයසිංහ සමඟ ජයසේකර

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

මෙය පත්‍රයේ පළවන මොහොත වනවිට අපේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග තම බෑගයත් රැගෙන ක්‍රිකට් පිටියෙන් පිටව ගෙදර ගොස් සිටීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ සිත් කම්පා කරවන සුළුය. එහෙයින් අපද සතුටු එය එසේ නොවෙනවා නම්ය.

මාලිංගට වෙනත් රටවලදී කියන්නේ මාලිංගා කියාය. මෙය ලියන මටද ඇතැම් රටවලදී කියන්නේ කාලිංගාය. ඒ අතින් මාලිංගත්, කාලිංගත් සමානය. මාලිංග මට වඩා ආකර්ෂණීය පුද්ගලයෙකි. ඔහු හොඳින් පන්දු නොයවන විට පවා ක්‍රීඩා ලෝලින්ට ඔහු දෙස බලා සිටීමට සිතේ. ඊට හේතුව වර්ණ ගන්වා සකස් කර ඇති කැරලි කේශ විලාසිතාවය. හිස කෙස් වගේම මාලිංගද එක්තරා විදිහක කැරලිකාරයෙකි. එහෙත් ඔහු තමන්ට බැණ වදින පිතිකරැවන්ට නක්කල් සිනා දමන්නෙකි. කෝපවන්නේ ඉඳහිටය. එබඳු අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට “යනවා අයිසේ යන්ඩැ”යි බැණ වදී. එහෙත් ඒ සියල්ල ක්‍රිකට් ජය පරාජ වගේම තාවකාලිකය. මාලිංගට මාධ්‍ය නැතුව බැරිය. මාධ්‍යයටද මාලිංග නැතුව බැරිය.
ක්‍රිකට් පිටියේ නොසිටින අවස්ථාවලද මාධ්‍යයේ අවධානය දිනාගැනීමට ඔහු සමත්ය. මෑතකදීද ඔහු ක්‍රීඩා ඇමැතිවරයා වෙත අනපේක්ෂිත යෝකරයක් යැවුවේය. ඇමැතිවරයාද දැඩි යාමට ආසන්න තත්ත්වයකට පත් වූයේය. එහෙත් ආරක්ෂිත පහරක් එල්ල කළේය. “මාව සංචිතයෙන් අස් කළොත් බෑග් එකත් අරන් ගෙදර යනවා” යැයි ඔහු කිවේ එවිටය. ඊට පෙර ඔහු කියා තිබුණේ ගිරවාගේ බෙනයට රිංගූ රිළවා පිළිබඳ උපමාවකි.

මාලිංගගේ ගම රත්ගමය. එහෙයින් ඔහුද හොඳ හොඳ ගම්මැදි හෑලි දන්නවාට සැක නැත. උපහාසාත්මක උපමාවන්, ගැන සුදුසු ලෙස මතක් වන්නේද එනිසාමය.

මයිකල් රොබට්ස් නැමැති ක්‍රීඩා විචාරකයා ලියා තිබූ අන්දමට රත්ගම කොහු කර්මාන්තයට ප්‍රසිද්ධ ස්ථානයකි. මාලිංගගේ කේෂ විලාසිතාවද පොල් ලෙලි ගොඩකට සමානය. පොල් අතු කරත්තය වගේ යැයි කියන්නේද දෙපැත්තෙන් බේරෙන කොණ්ඩයටය.

ජනප්‍රිය පුද්ගලයන්ගේ විලාසිතාවන් අනුකරණය කිරීම තරුණ පරපුරේ සිරිතකි. එහෙත් මාලිංග මෙන් පන්දු යවන්නන් හෝ ඔහු මෙන් කොණ්ඩා මෝස්තර කරන්නන් දුලබය. මාලිංග අනුකරණය කිරීමට කැරලි කොණ්ඩයක් පමණක් නොව යහමින් මුදල් හදල්ද අවශ්‍යය. ගමේ ගොඩේ සැලුන්වලින් ඒ විලාසිතා කරගත නොහැකිය.

දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිතුමාද දේශපාලන පොර පිටියේ කැරලිකාරයෙකි. එහෙත් ඔහුට කැරලි කොණ්ඩයක් නැත. තමන්ගේ විෂය ක්‍රීඩාව නිසා ඔහු ක්‍රීඩකයන්ගේ “ෆිට්නස්” නොහොත් කායික යෝග්‍යතාව ගැනද මහත් උනන්දුවක් දක්වයි. මාලිංගට “ගිරා බෙනය” සිහිපත් වූයේ ඒ සම්බන්ධයෙනි. සුසන්තිකා ජයසිංහද, ජයසේකර ඇමතිතුමාගේ ප්‍රියතම චරිතයකි. එහෙත් ඇතැම් විට ඇය ගැන කතා කරනවිට ඔහු “නිර්-දයාසිරි” වෙයි.

සුසන්තිකාද දිවීමට මෙන්ම කතාවටද දක්ෂ බව රහසක් නොවේ. නිර්-දයාගේ කතාවලට උදහස් වූ ඇය ඔලිම්පික් පදක්කම පවා වෙන්දේසි කිරීමට සැරසුණේය. එවිට ඇමැතිවරයා කීවේ ක්‍රීඩා පදක්කම් රටට අයත් දේ බවය. මේ කතාබහ වැඩිදුර ගියා නම් මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවනුයේ ගෙවල්වල පෙට්ටගම් අස්සේ ඇති පුස්කාපු පදක්කම් පවා ක්‍රීඩා ඇමැතිවරයාට ගෙන ගොස් බාරදීමය.

අද ක්‍රීඩාව ගැන කතාබස් කරන නිසා පසුගිය දිනවල ඉන්දියාවේ ඇති වූ ක්‍රිකට් ගාල ගෝට්ටිය ගැනද යමක් කිව යුතුය.
කෝලිලා, දෝණිලාගේ වරදට අන්තිමේදී දඩුවම් විඳින්නට වූයේ අහිංසක අජීවි ටෙලිවිෂන් යන්ත්‍රවලටය. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල ක්‍රිකට් යනු දෙවැනි ආගමය. ක්‍රිකට් කියා දුන් සුද්දන් තුළ මේ ගති අඩුය. පරාජයකදී, රතු වෙනවා පමණි. ක්‍රීඩකයන්ගේ ගෙවල් දොරවල් ගිනි තියන්නට යන්නේ නැත.

සුනිල් ගවස්කාර් යනු ටෙන්ඩුල්කාර් මෙන්ම අතිදක්ෂ පිතිකරුවෙකි. කොතරම් දක්ෂයෙකු වුවත් ඇතැම් විට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීම ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවයයි. (එය අවිනිශ්චිත ක්‍රීඩාවකැයි සම්මතයක් ඇත) ගවස්කාර්ද එක් වරෙකදී දුර්වල ලකුණුවලට දැවී යන්නට විය. ඒ දිනවල ඉන්දියාවේ රේඩියෝ හා පුවත්පත් දැන්වීම් කීපයකම ඔහු පෙනී සිටියේය. එහෙයින් එක් ක්‍රීඩා විචාරකයෙක් මෙසේ ලිවීය.

“සුනිල් ගවස්කාර් මේ දිනවල හොඳින් ක්‍රීඩා කරන්නේ ක්‍රිකට් පිටියේ නොව වෙළඳ දැන්වීම්වලය” 
ක්‍රිකට් විහිළු ද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය විශේෂාංගයකි. පහත දැක්වෙන්නේ මා දුටු එවැනි අන්තර්ජාල නිර්මාණයකි.

අපේ ගෙදර කෑම උයන්නේ “ඇල්ස්ටර් කුක්”ය
වාහනේ එළවන්නේ “ජේසී රයිඩර්”ය
ඇඳුම් මහන්නේ “ජේරම් ටේලර්”ය
අපේ කාර් එක “ටෙන්ඩුල් කාර්”ය
කැමතිම කෑම “චිකන් බූරා”ය
ගෙදර හැදුවේ “මයිකල් මේසන්”ය
බිත්තිවල පාට “කැමරන් වයිට්”ය
ලිපට දාන්නේ “පෝල් කොලින්වුඩ්”ය
සාදවලදී සිංදු කියන්නේ “යුවරාජ් සිංග්”ය
දුවගේ නම “එම්.එස්. දෝණි”ය

කෙසේ වෙතත් දයාසිරිලාගේ, මාලිංගලාගේ හා සුසන්තිකාලාගේ කතා විහිළුවට ගත යුතු නැත. ඔවුන් රටකට පරපුරකට ආදර්ශමත් චරිත විය යුතුය. එහෙයින් පන්දු යවන වේගයෙන් හෝ කෙටි දුර දුවන වේගයෙන් කතාවද කළ යුතු නැත. ඒ කතා සඳහා වැට බැඳීමට යාමේදී දේශපාලන බලය ඉස්සර කර ගැනීමද නොවටී. කවුරු කවුරුත් මේ සෙල්ලං දාන්නේ රටක් ජාතියක් ඉදිරියේ බව අමතක නොකළ යුතුය.

පැරැණි ගැමි කියමනකට අනුව “කතාබස් හුබස් නම්, වැඩ කම්බස්”ය. කතාවේ විදිහට වැඩද තිබිය යුතු යැයි ක්‍රීඩා ඇමතිතුමා කියන්නට ඇත්තේ ඒ නිසාය. වඩා වැදගත් වන්නේ “ගේමක් ඉල්ලීම” නොව “ගේමක් දිනිම” බව අමුතුවෙන් කියා දිය යුතු නැත. වාසනාවකට මෙන් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩාවට වඩා රූපවාහිනි යන්ත්‍රවලට ආදරේය. 

♦ කපිල කුමාර කාලිංග