2017 ජුලි 01 වන සෙනසුරාදා

මහ ගංවතුර මැද්දේ රෝගීන්ට පිහිටවූ කළුතර ජීවකයා

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

අප රට තුළ ආපදා තත්ත්වයන් ඇතිවී ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පීඩාවට පත් ජනතාව බේරා ගැනීමට විවිධ චරිත ඉදිරියට පැමිණීම අතීතයේ සිට දක්නට ලැබෙන දෙයකි. පසුගියදා නායයාමෙන් සහ ගංවතුර උවදුරින් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු ආරම්භ වුණේ රජය හෝ කිසියම් නිලධාරියකුගේ නියෝග අනුව නොවේ. රජයෙන් නියෝග නිකුත් වනවිට බොහෝ ස්ථානවල විපතට පත්වූවන් මුදාගෙන හෝ මුදාගැනීමේ කටයුතු ආරම්භ කර තිබුණේ තවදුරටත් අප රට තුළ සංවේදී හදවත් ඇත්තවුන් සිටිනා බවට සාක්‍ෂි ඉතිරි කරමිනි.

බොහෝවිට විපතට පත් ජනතාව විපතින් මුදාගත්තේ සිතේ සහ ගතේ සවිය ඇති පුද්ගලයන්ය. තම ජීවිතයට හා සමානවම අනෙකාගේ ජීවිතයටද ආදරය කරන්නට හැකි මිනිසුන් සමාජයක සිටින්නේ අතලොස්සකි. එවන් දුර්ලභ මිනිසුන් පිරිසක් හඳුනාගැනීමට පසුගියදා ඇතිවූ මහා විපතේදී අවස්ථාව සැලසිණි.

කළුතර දිස්ත්‍රික්කයේ විපතට පත් වූවන් වෙනුවෙන් එවන් කැප කිරීමක් කළ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව තොරතුරු ලැබුණු අතර ඉන් එක් පුද්ගලයකු වන සංස්කෘතික හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිළිබඳව රටවැසියාට සහ ලෝකයට තොරතුරු ලබාදීමට මේ වනවිට අප රටේ හදවත් ඇති මාධ්‍යවේදීන් තම යුතුකම ඉටුකර ඇත.

එවැනිම සේවාවක් විපතට පත් වූවන් වෙනුවෙන් ඉටුකළ අනෙක් පුද්ගලයා වන්නේ වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු නමින් වෛද්‍ය රන්ජිත් දිසානායකය. මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන රන්ජිත් දොස්තර මහත්තයාට ප්‍රතිකාර කිරීමට රෝගියාගේ ගම් ප්‍රදේශය, ස්ථානය, ජන වර්ගය, ආගම, රාත්‍රිය හෝ දහවල, අව්ව වැස්ස, ඇතුළු වෙනත් සාධක අදාළ නොවේ. ඔහුට අදාළ වන්නේ ප්‍රතිකාර ලබන්නා සැබවින්ම රෝගියෙක් හෝ ආපදාවට ලක්වූවෙක්ද යන්න පමණි.

පසුගිය 26 වැනිදා උදෑසන වෛද්‍ය රංජිත් දිසානායක මහතා අවදි වුණේ සුපුරුදු පරිදි කටුගහහේන රෝහලට යාමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ වනවිට ඔහුගේ නිවස ආසන්නයටම ගංවතුර ගලා ඇති බව දුටු ඔහුගේ බිරිඳ පැවසුවේ අද රෝහලට යාමට නොහැකි ලෙස මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි. එහෙත් ඒ ගැන නොතැකූ ඔහු ඉක්මනින් සුදනම් වී නිවස පිටුපස අතුරු මාර්ගයකින් වහා කටුගහහේන රෝහලට පිටත්විය. රෝහලට ගිය වෛද්‍ය රංජිත් මහතාට දැනගන්නට ලැබුණේ නෑබඩ, බුලත්සිංහල අගලවත්ත වැනි ප්‍රදේශවල ජලගැලීම්වලින් සහ නායයෑම්වලින් මහා විපතක් සිදුවී ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ ඔහු දුරකතනයෙන් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ඇමතුවේය.

“සර් මම රංජිත් කතා කරන්නේ. සර් බුලත්සිංහල පැත්තට ලොකු කරදරයක් වෙලා කියල දැනගන්න ලැබුණා. අපිට මොකුත් කරන්න බැරිද?” 

ඔව් ඩොක්ටර්, මහ විනාසයක් වෙලාලු. මිනිස්සු ගම්වල හිරවෙලා. වටේටම ගංවතුර ගලලා. මොකුත් කරන්න විදියක් නැහැ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසුවේය.

සර්, මම මගේ ටීම් එකත් එක්ක එන්නම්. මට එහෙට යන්න ක්‍රමයක් හදලා දෙන්න. වෛද්‍ය රංජිත් පැවසීය. 

ඒ සමඟම ඕනෑම මොහොතක තම ප්‍රධානියා සමග ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් වී සිටින කටුගහහේන රෝහලේ හදිසි ආපදා ප්‍රතිකාර කණ්ඩායමේ සාමාජිකයන් වහ වහා අවශ්‍ය බෙහෙත් සහ උපකරණ රැගෙන තම රෝහල සතු එකම පැරැණි ගිලන් රථයට ගොඩවුණේ වෛද්‍ය රංජිත් කියන ඕනෑම තැනක ඕනෑම රෝගියකුට ප්‍රතිකාර කිරීමේ සූදානමිනි. ලොකු දොස්තර මහත්තයා ඇතුළු කණ්ඩායම ගිලන්රථයට නංවාගත් රියදුරු කරුණාදාස ඉදිරියට ගමන් කළේ තම ප්‍රධානියා කියන ඕනෑම තැනකට යාමට සූදානමිනි.

එසේ ඇරඹූ ගමන අතරතුර නිවාසවල සිටින එක්තැන් වූ රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර කරමින්ද, තවත් තැනක ගංවතුරින් කොටුවූ නිවසක සිටින රෝගියකුට ප්‍රතිකාර කරමින්ද, යන අතරතුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ උදය රත්නායක මහතා. මෙම වෛද්‍ය කණ්ඩායමට ගංවතුර තරණය කිරීමට නාවික හමුදාවේ සහාය ලබාදුන්නේය. නාවික හමුදා බෝට්ටුවලින් ගමන් කරමින් කොටුවූ ගම්මානවල ගෙයින් ගෙට ගොස් ඔහු රෝගීන්ට ප්‍රතිකාර කළේය.

තවත් ප්‍රදේශවලදී ඔවුන් කණ්ඩායමට ගමන් කිරීමට සිදුවූයේ යුදහමුදා සන්නද්ධ රථ හෙවත් බෆල් රථවලය. මෙසේ මහා ගංවතුරේ බුලත්සිංහල, කලවැල්ලාව, ඉහළ වෙල්ගම, කොහොලාන, කටුගහහේන, මැණික්ගොඩ ආදී ප්‍රදේශවල ජනතාව අතරට ගොස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙම ජීවක කණ්ඩායම කටයුතු කළේය.

මේ ගමනට අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උදිත රණවීර මහතාද එක්වූ අතර කටුගහහේන රෝහලේ හෙද නිලධාරිනී චාමිනී ජයසිංහ, ඖෂධ සංයෝජකවරුන් වන සංජීවනී ඉද්දගොඩ සහ වරුණ ලක්මාල් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ඩී.එන්.එස්. ජයසිංහ, ඉන්දිකා ලක්මිණි, ජී. ප්‍රේමවතී, මාලා කාන්ති, චන්ද්‍රිකා නිලන්ති බී.එච්. කරුණාදාස යන පිරිස වෛද්‍ය රංජිත් දිසානායක මහතා සමඟ එක් වූහ.

මේ පිළිබඳව වෛද්‍ය රංජිත් දිසානායක මහතා පවසන්නේ මෙවැන්නකි. 

අපිට වෛද්‍යවරු හැටියට කොයි රෝගියාත් එකයි. අපි කණ්ඩායම ගෙවල්වල සිටින රෝගීන් ගණනාවකට ප්‍රතිකාර කළා. සමහර රෝගීන් ඇතිවූ ව්‍යසනය නිසා දැඩි කම්පනයකට පත්වී සිටියා. අපි ඔවුන් ළඟට ගොස් ප්‍රතිකාර කළා. දින කීපයක් මෙම මෙහෙයුම සිදු කළා. නිවසට නැවත ගියේ දින කීපයකට පසුවයි.

ඒක හරිම පුදුමාකාර ගමනක්. ඒ ගමනේදී අහිංසක රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලැබුණා. ඒ සඳහා නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ නිලධාරීන් අපට ගොඩක් උදව් කළා. ගංවතුර බැස ගියාමත් අප ප්‍රදේශ ගණනාවක වෛද්‍ය කඳවුරු පැවැත්වුවා. ඉදිරියටත් විවිධ ප්‍රදේශවල රෝගීන් සොයා ගොස් ප්‍රතිකාර කරනවා. 
වෛද්‍ය රංජිත් දිසානායක මහතාගේ සේවය එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වුවක් නොවේ. ඔහු රෝගීන් එනතුරු බලාසිටියේ නැත. නිවෙස්වල එක්තැන්වී සිටින රෝගීන් ළඟට ගොස් ඔවුන්ට ප්‍රතිකාර කරයි. කාලයක සිට එක්තැන්වී සිටින බොහෝ රෝගීන් ඇඳ තුවාල සෑදී විඳින දුක දන්නා රංජිත් දොස්තර මහතා ඔවුන් සොයාගෙන ගොස් එම රෝගීන් පිරිසිදුකර තුවාලවලට ප්‍රතිකාර කර ඔවුන් සුවපත් වන අයුරු දැක ලබන සතුට ඔහුට දහස් ගණනින් මුදල් උපයා ලබාගැනීමට නොහැකිය.

මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහල ඉතා අඩු පහසුකම්වලින් යුක්තවූ රෝහලක් වුවත් ඔහු පහසුකම් ලැබෙන තෙක් බලා සිටින වෛද්‍යවරයෙක් නොවේ. ඔහුගේ කාර්ය මණ්ඩලයේ සුළු සේවකයන් පවා රෝහලේ අනිකුත් කාර්යයන් සඳහා පුරුදු පුහුණු කොට සේවය ලබා ගැනීමට කටයුතු කරන්නේ ලැබෙන දෙයින් සතුටු වී තම යුතුකම ඉටුකිරීම ඔහුගේ දැක්ම නිසාවෙනි. ඊට අමතරව විවිධ ආයතන, සංවිධාන, පාසල් දරැවන්, අධ්‍යාපන ආයතන, ආරක්‍ෂක සේවා ආදී ආයතන වලට සෞඛ්‍ය අධ්‍යාපන දේශන පැවැත්වීමටත්, වෙනත් ආගමික සහ සමාජීය පොදු සේවා වලදී මූලිකත්වය ගෙන කටයුතු කරන්නට ඔහුට ඕනෑතරම් කාලය තිබේ. ඒ ඔහු තම පෞද්ගලික ජීවිතයට වඩා මහජන සේවය ප්‍රමුඛත්වයේ ලා කටයුතු කරන බැවිනි.

පසුගියදා පැවති ගංවතුර අවදානම් තත්ත්වයේදී නොබියව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූයේ කෙසේදැයි විමසූ විට වෛද්‍ය රංජිත් දිසානායක මහතා පැවසුවේ මෙවැන්නකි.

“මගේ ගම අනුරාධපුරේ. රජරට මිනිස්සුන්ට මේවා ලොකු දේවල් නොවෙයි. අහිංසක මිනිස්සුන්ට ප්‍රතිකාර කිරීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය කවදාවත් මුදලට ගැනීමට බැහැ.”

♦ කතාව හා සේයාරූ - මතුගම බන්දු තඹවිට