2017 ජුලි 08 වන සෙනසුරාදා

වයසයි ඒත් පෙනුම තරුණයි

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 547

මුතුවන් දීප්තිමත් දත් දෙපළක් යනු කෙනකුට ආභාරණයකි. එලෙසම වයසට සරිලන මනා පෙනුමක් පවත්වාගැනීමද කෙනකුගේ පෞරෂත්වය කෙරෙහි බෙහෙවින්ම බලපාන්නකි. මෙම කාරණා දෙකම සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ වර්ණනා කරන පංච කල්‍යාණයෙහිද අන්තර්ගත වන අතර එහිදී එය නම්කොට ඇත්තේ දන්ත කල්‍යාණය හා වයඃ කල්‍යාණය වශයෙනි.

ආයුර්වේදීය ලිපි පෙළක්ම ඔස්සේ පංච කල්‍යාණයෙහි එක් එක් අවස්ථා සම්බන්ධයෙන් මූලික අවධානය යොමුකළේ ඡවි කල්‍යාණය, මාංශ කල්‍යාණය හා කේෂ කල්‍යාණය පිළිබඳවයි. අද අපේ වෙදකමින් සාකච්ඡාවට බඳුන් වෙන්නේ පංච කල්‍යාණයෙහිම ඉතිරි අංග දෙක වන වයඃ කල්‍යාණය හා දන්ත කල්‍යාණය ගැනයි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ රාජගිරිය සෙත්මිර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය ගල්කැටියා ජී. ලුෂාන්ති මහත්මියයි.
ආයුර්වේදය කියන්නේ ආයුෂ පිළිබඳ විද්‍යාව බව අප මීට පෙරත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව වයඃ කල්‍යාණය ගත්විට එම වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ආයුර්වේදය යන්නෙහි ගැබ්වෙනවා. වයස ගැන කතාකිරීමේදී ආයුර්වේදයේ සඳහන් වෙන්නේ හිතා හිතං - දුමං දුක්මං කියලා. එනම් හිත, අහිත, සුඛ, දුක්ඛ කියලා වයස හතර ආකාරයක් තියෙනවා. අපි පුද්ගලයකුගේ වයස දෙස බැලුවම ඒක හිතවත් වයසක් වෙන්නෙ ඕනෙ. එලෙසම දුක්ම ආයුම ආයුෂ නොවී සුඛ ආයුෂ වෙන්නත් ඕනෙ. අපි හිතමු මනුෂ්‍යයෙක් අවුරුදු සියයක් ජීවත් වෙනවා කියලා ඔහුට අවුරුදු හැටේදි අංශභාගය හැදෙනවා. එතකොට අවුරුදු හතළිහක්ම දුකෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට ඒක දුක්ඛ ආයුෂ. නමුත් මනුෂ්‍යයෙකුට සුඛායු, දීගායු එනම් හිතවත්, සැපවත් විදිහට දීර්ඝායුෂ ලබාගැනීමයි ආයුර්වේදයේ බලාපොරොත්තුව වන්නේ. මේ දෙයට තමයි වයඃ කල්‍යාණය කියලා කියන්නේ.

වයස නොපෙනීම

වයඃ කල්‍යාණයට අයත් වන්නේ ආයුෂ පමණක්ම නොවේ. අපගේ පංචේන්ද්‍රියන් පිළිබඳව ගත්තද වයසට ගියද පොත පත කියවීම, කන් ඇසීම, කඩිසරව ගමන් බිමන් යාමට ඇති හැකියාව ඇතැමුන් සතුවේ. මේ පිරිස් වයසට ගියද තරුණ විදිහට කටයුතු කරන්නට හැකි නම් පවතින වයසට වඩා අඩු වයසක් ඇති පුද්ගලයින් ලෙස කටයුතු කරන්නට ඔවුන්ට හැකියාව ලැබේ. වයඃ කල්‍යාණයෙන් බලාපොරොත්තු වන්නේ කෙනකු වයසට ගියද ඒ වයස නොපෙනෙන එහෙමත් නැතිනම් ඒ වයසට වඩා අඩු වයසකට ගැලපෙන ක්‍රියාකාරීත්වයකින් හා මානසික ශාරීරික යන දෙයාකාරයෙන්ම සිටින පුද්ගලයකුයි.

හිසකෙස් සුදුවීම, සම රළි වැටීම, දත් හැලීම වයස්ගත වීමේ ලක්ෂණයි

වයසට යාමේදී යම් පුද්ගලයකු විසින් පෙන්නුම්කරන ලක්ෂණ කිහිපයක්ම ඇති අතර සම රැළි වැටීම, කෙස් හැලීම, කෙස් සුදුවීම, දත් ගැලවීම, හනු හැකිලීම ඒවායින් කිහිපයකි. බුදු දහමට අනුව මෙය දැක්වෙන්නේ ජරාවට පත්වීම ලෙසයි. ආයුර්වේදයේදී සිදුකරන්නේ මෙලෙස ජරාවට පත්වී මරණයට පත්වීම වළක්වා ගැනීමට කටයුතු කිරීමයි.
වයසට යාම අඩු කරගන්නා මඟක්

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව රසායනික චිකිත්සා හරහා යම් පුද්ගලයකු වයසට යාම හා මරණයට පත්වීම පාලනය කරගත හැකිය. සැබැවින්ම කිවහොත් යම් පුද්ගලයකුගේ වයසට යාම අඩුකරන චිකිත්සාව රසායන චිකිත්සාවයි. මෙම රසායනික චිකිත්සාව අෂ්යංගික ආයුර්වේදයේ චිකිත්සා අටෙන් එකකි. 

වයඃ කල්‍යාණය රැක ගැනීමට නම් 

වයඃ කල්‍යාණය රැකගැනීමට ආකාර කිහිපයක්ම කළ හැකි අතර ඒ සඳහා ඖෂධ, නිවැරදි ආහාර රටාවක් මෙන්ම විහරණයද ඉතා වැදගත්ය. ආයුර්වේදයට අනුව නිවැරදි දින චර්යාවක් පවත්වාගැනීම අත්‍යවශ්‍යම වුවත් වූවක් වන අතර උදෑසන අවදි වීමේ සිට නින්දට යෑම දක්වා එය මනා පාලනයකින් සිද්ධ විය යුතුයි.

උදෑසන නැගිටීම, දත් මැදීම, මුත්‍රා පිට කිරීම, මළපහ කිරීම ස්නානය, ආහාර ගැනීම, ව්‍යායාම කිරීම ආදී සෑම දෙයක්ම පිළිවෙළට සිදුවිය යුතු අතර යම් පුද්ගලයෙක් තම දින චර්යාව ක්‍රමවත්ව පිළිවෙළට පවත්වාගෙන යන්නේ නම් එමගින් රෝගවලින් වැළකී ජීවිතය පවත්වාගෙන යාමේ හැකියාව ලැබේ. මෙය වයඃ කල්‍යාණය රැකගැනීම සඳහා මහෝපකාරීවේ. 

දරුවෙක් ලැබුණට පස්සෙ පෙනුම වෙනස්ද?

මව් පදවිය ලැබීමත් සමඟම ඇතැම් කාන්තාවන්ගේ රූප ස්වභාවය තමන් පෙර සිටි තත්ත්වයට වඩා බොහෝදුරට වෙනස්වන අතර තවත් කාන්තාවන් පෙර සිටියාටත් වඩා සුන්දර පෙනුමකට උරැමකම් කියයි. කෙසේ වෙතත් තම රූපය නොනැසී පවත්වා ගැනීමට ගර්භනී අවධියේදීද පිළිපැදිය යුතු කරුණු කාරණා බොහොමයක්ම වන අතර දරුවා ලැබීමෙන් පසුවත් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් ඇත. මෙවැනි කාරණා සම්බන්ධයෙන් හොඳින් අවධානය යොමුකොට ඒවා ක්‍රියාත්මක කරන්නේ නම් වයස පෙනුමක් ලැබීම බොහොදුරට මඟහැරේ.

හදවත හොඳ නම් වයසට යන්නෙ නෑ

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනූන පුද්ගලයකුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී පුද්ගලයන්ගේ මනසේ රජස්, තමස් හා සත්ව යන ගුණාංගයන් ඇති අතර මේ අතරින් වඩා වැදගත්වන්නේ සත්ව ගුණයයි. කේන්ති කම්මැලි ස්වභාවය තමස් ගුණයෙන්ද පිලිබිඹු වන අතර සත්ව ගුණය යන්නේ අදහස් වන්නේ අවිහිංසාවාදීව කාටත් උදව් කරමින් ජීවත් වීමයි. සත්ව ගුණය වැඩිපුරම පැවති මනුෂ්‍යයෙක් වේ නම් ඒ අන් කිසිවෙකුත් නොව බුදුරාජාණන් වහන්සේයි. උන්වහන්සේගේ සිරුරද පැහැපත් දිදුලන ස්වභාවයක් ගත්තේ උන්වහන්සේ තුළ වූ ඒ අප්‍රමාණ සත්ව ගුණය නිසාය.

මනසට හොඳම බෙහෙත යෝගා

නිතර යෝගා භාවනාවලට යොමුවෙනවා නම් එය ශාරීරිකව බෙන්ම මානසිකවද වැදගත් වේ. ශාරීරික හා මානසික සමතුලිතතාවය ඇති කරගෙන දින චර්යාවලට අනුව නියමිත ආකාරයට ජීවත් වන්නේ නම් තමන්ට තමන්ගේ සිරුරේ ඇති ඉන්ද්‍රිය ශක්තිය, ශාරීරික ශක්තිය යොදාගෙන කටයුතු කරන්න පුළුවන් නම්, ආහාර විහරණ ක්‍රමවත්ව පවත්වාගෙන යන්නේ නම් එවැනි පුද්ගලයන්හට පරමායුෂ විඳිය හැකි වන අතර එහිදී එම පුද්ගලයා විඳින ආයුෂ හිතායු, සුවායු හා දීඝායු වේ.

වයඃ කල්‍යාණය සේම වැදගත් වන අනෙක් කල්‍යාණය නම් දන්ත කල්‍යාණයයි. සෞඛ්‍ය සම්පන්න දත් දෙපළක් යන්න කෙනකුට අනිවාර්යයෙන්ම තිබිය යුත්තක් වන්නා සේම තවත් කෙනකු සතුටු කරන්නට හැකියාව ඇති ලාභදායිම ක්‍රමය වන සිනාව වඩාත් සුන්දර වීමට නම් ලස්සන දත් දෙපළක් තිබිය යුතුමය.

දන්ත කල්‍යාණය රැකගත යුත්තේ ඇයි?

ලස්සන නිරෝගී දත් දෙපළකින් මුහුණට අලංකාරයක් එක්කරන්නා සේම එමගින් මුහුණේ හැඩයක්ද ලබාදේ. විශේෂයෙන්ම තරුණ වයසේදී අපගේ හකු ප්‍රදේශවලින් දත් ගලවා ඉවත් කරන්නට සිදුවුවහොත් මුහුණ වලගැසී එමගින් වයසට වඩා මේරු ස්වභාවයක් අපේ රූපයේ දිස්වේ. එසේම මුඛය මගින් සිදුවන ආහාර ජීර්ණය සඳහා දත් මගින් ඉටුකරන්නේ විශාල කාර්ය භාරයකි. මේ අනුව රූපලාවණ්‍යය රැකගැනීමට උනන්දුවන සියලු දෙනා දන්ත රැකගැනීමට උනන්දුවන සියලු දෙනා දන්ත කල්‍යාණය රැකගැනීමටද අනිවාර්යයෙන් උනන්දු විය යුතු අතර එසේ නැතහොත් අවම වශයෙන් නිරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම සඳහාවත් දන්ත සෞඛ්‍ය රැකගත යුතුය.

දැහැටි කූරත් හොඳ දත් බුරුසුවක්

දන්ත සෞඛ්‍ය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මෙහිදී දත් පමණක් නොව තොල්, දිව, වීදුරුමස්, හනු, තලු ආදී මූ මුඛ්‍ය ආශ්‍රිත සියලු කොටස්හි සෞඛ්‍ය පිළිබඳව විස්තර දැක්වේ. උදෑසන අවදිවීමෙන් පසු දෙවැනි දින චර්යාව ලෙසින් දත් මැදීම දක්වා ඇති අතර මේ සඳහා සුළඟිල්ල ප්‍රමාණ මහත් වූ අඟල් 8-18 පමණ දිගැති ගැට රහිත පලුදු රහිත එකට නොගෙතුණ අලුත් වූ දැහැටි කූරක් ආයුර්වේදීය ක්‍රමයට අනුව නිර්දේශිතය. මේ සඳමහා කොහොඹ, රත්කිරිහිය, මී, කරඳ, බෝබු ආදී වූ ඖෂධීය ගුණ යුක්ත ශාක කොටසක් භාවිතා කළ හැක. දත් මැදීම සඳහා ඖෂධ චූර්ණයේ භාවිත කෙරෙන අතර දැහැට්ටෙහි අග කොටස මෘදු වූ බුරුසුවක් මෙන් සාදාගෙන දත් එකින් එක පිරිසිදුකළ යුතුය. මෙහිදී වීදුරුමසට තුවාල නොවීමටද වගබලාගත යුතුය.

ඔබේ දත් බුරුසුවේ පිරිසිදුකම ගැන සිතුවාද?

ඔබේ දත් බුරුසුව දැන් කොපමණ පරණද? ඔබ ඇතැම්විට මාස 3-4ක් වුවද එකම බුරුසුවක් භාවිතා කරනවා වන්නටද පුළුවන. එහෙත් දැහැටි කූරක් භාවිත කළ හැක්කේ එක් වතාවකි. ඔබේ දත් බුරුසුවේ කෙඳි අතර කුණු පිරී පවතිනවා වන්නට පුළුවන. එය තබන්නේ නාන කාමරයේ බුරුසු රඳවනය මත වන්නටද පුළුවන. වැසිකිලිය තිබෙන්නේ එහිමය. ඉතින් ඔබේ දත් බුරුදුව පිරිසිදුයි කියා ඔබට විශ්වාසද?

විද්‍යාත්මක ක්‍රමයට දත් මදින්න

සාමාන්‍යයෙන් විද්‍යාත්මක ක්‍රමයට අනුව දත් මැදීමේදී උඩු ඇන්දේ දත් යටි අතටත් යටි ඇන්දේ දත් උඩු අතටත් සිරස්ව ඇතිල්ලීම සිදුකළ යුතුය. එහෙත් බොහෝ දෙනකු අතින් නිවැරදිව දත් මැදීම සිදුනොවේ. බුරුසුව සැමවිටම තිරස් අතට ඇල්ලීම එයට හේතුවයි. නමුත් දැහැටි කූරකින් මදින විට අනිවාර්යයෙන්ම සිරස් අතට දත් මැදීම සිදුකරන නිසා එය විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමයට අනුව සිදුවේ. එසේම මෙහිදී දැහැටි කූර සඳහා භාවිතා කරන ඖෂධීය ශාකවල අඩංගු ඖෂධීය ගුණය විදුරුමසටත් දත්වලටත් ලැබේ.

දත් මැදීමට මේවාත් සුදුසුයි

♦ අරළු පිළිස්සු අළු
♦ අරළු, බුළු, නෙල්ලි චූර්ණය සිවිඳ ලුණු සමඟ මිශ්‍ර කර
♦ තල තෙල් හා මී පැණි යොදා සිහින්ව අඹරා ගත් අරළු, බුළු, නෙල්ලි, ඉඟුරු, ගම්මිරිස් හා තිත්පිලි

දත් නොමැදිය යුතු අවස්ථා

උගුර, තල්ල, තොල්, දිව ආශ්‍රිත රෝග (විශේෂයෙන්ම තුවාල සහිත) වලදිද හික්කාව, කැස්ස, ඇදුම, වමනය, හිස කැක්කුම, අපස්මාරය, අධික පිපාසය ඇති අවස්ථාවලදී තමාගත් ආහාරය දිරවීමට පෙරද දත් මැදීම නොකළ යුතු බව ආයුර්වේදයේ දක්වා ඇත. මෙයට අමතරව මුඛ සෞඛ්‍ය ආකරක්ෂා කිරීමෙහිලා බුලත් හැපීම, ඖෂධීය ධූමපාන ආදි කටයුතුද ආයුර්වේදයෙහි දක්වා ඇත.

♦ හේමමාලා කුමාරි රාජකරුණ

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00