මේ දිනවල රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම් පිළිබඳ අසන්නට ලැබේ. මේවා බොහෝ විට පරිගණක මගින් මුද්‍රණය කරන අතර පරිගණක තාක්ෂණය සහ වර්ණ ගැන්වීම් පිළිබඳ පළපුරුදුකම් ඇති ප්‍රවීණ පුද්ගලයන් මෙම හොර නෝට්ටු මුද්‍රණය කරන බව දැනගන්නට ඇත. මෙම ජාවාරම මුලින් පැවතියේ කොළඹ පහ තදාසන්න නාගරික ප්‍රදේශවල පමණක් වන අතර අද වනවිට එය දුර ඈත ග්‍රාමීය පෙදෙස් කරාද ඇදී ගොස් තිබේ.
පසුගියදා නාත්තණ්ඩිය පෞද්ගලික බැංකුවකට ලැබුණු රුපියල් 5000 නෝට්ටුවක් ඔස්සේ විමර්ශන පැවැත්වූ මාරවිල පොලීසිය ව්‍යාජ 5000 නෝට්ටු 17 සමඟ සැකකරුවන් තිදෙනකු 3 වනදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පමුණුවා ඇති බව සැලයි. ගාල්ල ප්‍රදේශයේ හිතවතකුගෙන් ලැබුණු රුපියල් ලක්ෂයක 5000 නෝට්ටු 20ක් සමග පැමිණි තොටුවාවේ අයකු ඉන් එකක් මාරුකර ගැනීමට තරුණයකු යොදවා ඇති අතර ඔහු පෞද්ගලික බැංකුවෙන් නෝට්ටුව මාරුකර ගැනීමට පැමිණි අවස්ථාවේදී එය ව්‍යාජ නෝට්ටුවක් බව අනාවරණය කර ගැනීමට නිලධාරීන් සමත් වී ඇත. බොහෝ වාණිජ බැංකුවල මුදල් නෝට්ටු පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ඇති අතර ඒවාට නෝට්ටුව යොමුකිරීමෙන් ව්‍යාජ නෝට්ටුව අනාවරණය කරගත හැකිවේ.
නාත්තන්ඩියෙන් පන්දහසේ හොර නෝට්ටු 17 ක්
බැංකුවලින් මෙලෙස ව්‍යාජ නෝට්ටු සොයාගත හැකි නමුත් සාමාන්‍ය ගනුදෙනුකරුවකුට ව්‍යාජ නෝට්ටුව එකවර හඳුනාගත නොහැකිය. එයට හේතුව එය බොහෝදුරට එම වර්ගයේ සත්‍ය නෝට්ටුවකට සමාන වන අතර සාමාන්‍ය ඇසට දක්නට ඇත්තේ ඉතා සුළු වෙනසක් නිසාය. එසේම මෙම ව්‍යාජ නෝට්ටු සත්‍ය නෝට්ටුවක් උපයෝගී කරගෙන නිර්මාණය කරන නිසා ඒවායේ අංකය සත්‍ය නෝට්ටුවේ අංකයට සමාන වේ. මේ අනුව එක අංකයකින් නෝට්ටු විශාල ප්‍රමාණයක් තිබිය හැකිය. එසේ වුවද මාරු කිරීමට පැමිණෙන තැනැත්තා ඒ සියල්ල එකවර ගනුදෙනුකරුට ඉදිරිපත් නොකරන අතර සත්‍ය නෝට්ටු මිටි තුළ එක බැගින් සඟවා තිබෙන නිසා ව්‍යාජ නෝට්ටුව හඳුනා ගැනීම දුෂ්කර වේ.
බොහෝ අවස්ථාවල මෙම නෝට්ටු මාරු කිරීමට යන්නේ රාත්‍රී කාලයේ හෝ එසේත් නැතිනම් ගනුදෙනු වේගයෙන් සිදුවන අවස්ථාවල නිසා එම නෝට්ටු පිළිබඳ සැක ඇතිවීමට ඇති ඉඩ ප්රස්ථා අවම වෙයි. එසේම නෝට්ටුවේ වටිනාකමට වඩා වැඩි මුදලකට භාණ්ඩ රැගෙන ඉතිරි මුදල් නියම නෝට්ටුවලින් ගෙවන නිසා මෙම සොරකම අල්ලා ගැනීමට තවත් අපහසුය. තවත් අවස්ථාවක නෝට්ටුව පිළිබඳ සැකකරන බව දැන ගතහොත් රැගෙන ගිය අයට එම නෝට්ටුව යළි ඉල්ලාගෙන හෝ නෝට්ටුව නැතුව හෝ එතැනින් වහා ඉවත්වීමට උපදෙස් දී ඇති නිසා ඇතැම්විට ව්‍යාජ නෝට්ටුවක් බව අනාවරණය වුවද විමර්ශන කටයුතු කළ නොහැකි වේ.
මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන ස්ථාන ඇතැම් අවස්ථාවල පොලිසිය මගින් වැටලුවද එහිදී එමගින් නිෂ්පාදනය කර බෙදාහැර ඇති නෝට්ටු සංඛ්‍යාව හරිහැටි සොයාගත නොහැකිය. ඒ වනවිට ඒවා සමාජයට ගොස් ඇති අතර නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් වන්නේ ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට හැකිවන නෝට්ටු කිහිපය පමණි. මෙම ජාවාරම ඉතාම රහසිගතව සිදුවන නිසාද මේ පසුපස ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන් සහ සමහර ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් සිටින නිසාද මර්දනය කිරීම දුෂ්කරය.
ව්‍යාජ නෝට්ටු නිසා රටේ ආර්ථිකයට සහ ජන සමාජයට සිදුවන හානිය අති විශාලය. සංසරණයට එකතුවන්නේ මෙවැනි නෝට්ටු සුළු ප්‍රමාණයක් නිසා එයින් ආර්ථිකයට සිදුවන හානිය එතරම් ප්‍රබල නැතැයි පැවසුවද සමස්තයක් වශයෙන් සමාජයට සිදුවන හානිය අති විශාලය.
ව්‍යාජ නෝට්ටු නිසා මුදල් පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වේ. තමා අතට පත්වන නෝට්ටුව සත්‍යයද ව්‍යාජද යන්න පිළිබඳ සැකයක් මතුවීම නිසා එය සංසරණය කිරීමට මැලිවේ. යම් ලෙසකින් ව්‍යාජ එකක් වුවහොත් නිරපරාදේ තමා වැරැදිකරුවකු වන්නේ යැයි ගනුදෙනුකරුවා සිතයි. ඒ නිසා ඔහු එය සඟවා තබා ගැනීමට පවා උනන්දු වෙනවා ඇත. එසේම සත්‍ය නෝට්ටු වුවද බාර ගැනීමට ගනුදෙනුකරු පසුබට වේ. එහිදී ගනු සහ දෙනු යන දෙදෙනාටම ගැටලුවලට මුහුණ පාන්නට සිදුවේ. විශ්වාසය පළුදුවීම නිසා එහි මුහුණත අගයටම පාවිච්චි කිරීමට අපහසු වන අවස්ථා ඇත. සත්‍ය නෝට්ටුවක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි තැනැත්තාට එය සත්‍ය නෝට්ටුවක්දැයි පරීක්ෂා කරනතුරු රැඳී සිටීමට සිදුවීමෙන් ගැටලුවකට මුහුණපාන්නට සිදුවේ. ඒ නිසා ව්‍යාජ නෝට්ටු ජාවාරම මර්දනය කිරීම නොව සදහටම ආර්ථික සමාජයෙන් තුරන් කිරීම ජාතික අවශ්‍යතාවයකි.
හොර නෝට්ටුවක් ලැබුණොත් පොලීසියට දෙන්න
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 49 වගන්තිය අනුව ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ අධිකාරියමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. මහ බැංකුවට පරිබාහිරව වෙනත් කිසියම් කෙනෙකුට මුදල් නිකුත් කිරීමේ බලය මුදල් නීති පනතේ අංක 50 වගන්තිය අනුව නීතියෙන් තහනම් වේ. මෙම නීතිය පිළි නොපදින අයකු ව්‍යාජ මුදල්කරැවකු ලෙස සලකනු ලබන අතර මුදල් නීති පනතට අනුව වරදකරුවකු ලෙස සැලකේ. මෙයට අතිරේක වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ අංක 478 ඒ සහ ඩී යන වගන්ති ප්‍රකාරව සිරගත කිරීමකට හෝ දඩයකට ලක්කළ හැකි වරදකි.
සත්‍ය මුදල් නෝට්ටු හඳුනා ගැනීම සඳහා ඒවායේ ඇති පහත දැක්වෙන ආරක්ෂණ සලකුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
ආරක්ෂණ නූල
රිදී පැහැති කඩඉරක ආකාරයෙන් නෝට්ටුව ඇතුළතටම කා වැදෙන සේ ආරක්ෂණ නූල යොදා ඇත. නෝට්ටුව ආලෝකයට හොඳින් නිරාවරණය කර ආරක්ෂණ නූල දෙස බැලූ විට එය අඛණ්ඩ සිරස් රේඛාවක් ලෙස දිස්වේ. මෙම නූල “ස්ටාර් ක්‍රෝම්” නමින් හැඳින්වෙන අතර 2006 වසරෙන් පසු මුද්‍රිත සියලු නෝට්ටුවල අඩංගුය. නූල ඉහළ පහළ කරමින් ආරක්ෂණ නූල ලෙස බැලූ විට වරෙක රතු පාටින්ද තවත් විටෙක කොළ පාටින්ද වර්ණය වෙනස් වෙමින් දිස්වේ.
හොර නෝට්ටු මාරු කරන්නෙ රෑටයි
රුපියල් 10,20,50 සහ 100 මුහුණත වටිනාකම දැක්වෙන නෝට්ටුවල “Central Bank of Sri Lanka” යන පාඨය සහ නෝට්ටුවේ අදාළ වටිනාකම ක්ෂුද්‍ර ආකාරයෙන් නූල දිගේ මුද්‍රණය කරන ලද සිහින් පොලියෙස්ටර් පටියක් සේ ආරක්ෂණ නූල යොදා තිබේ.
දිය සලකුණ
නෝට්ටු ආලෝකයට නිරාවරණය කොට දිය සලකුණ බැලීමේදී සිංහ රූපයක් නෝට්ටුව දෙපැත්තෙන්ම ඉතා පැහැදිලිව දැකගත හැකිය. 1995 පසු නිකුත් කළ නෝට්ටුවල ජාතික කොඩියේ ඇති සිංහ රූපය යොදා ඇති අතර, කඩුව විශේෂයෙන් කැපී පෙනේ. 1987න් පසුව නිකුත් කළ ඒවායේ ජාතික කොඩියේ සිංහ රූපය යොදා ඇත. 1987ට පෙර නිකුත් කළ නෝට්ටුවල රත්නපුර දිසාවේ කොඩියේ සිංහරුව යොදා තිබේ.
විනිවිද පෙනෙන සලකුණ
ඕනෑම නෝට්ටුවක් ආලෝකයට නිරාවරණය කර බැලූවිට එහි ඉදිරිපස හා පිටුපස එක තැනක මුද්‍රණය කර ඇති හැඩතලයන් එකිනෙකට සමපාතීව පෙනේ.
උස් වූ මුද්‍රිත
නෝට්ටුව ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කළ විට “ශ්‍රී ලංකා මහ බැංකුව” නමැති අක්ෂර සහිත ඒ ආසන්නයේ ඇති උස්ව මුද්‍රණය කර ඇති කොටස අතට දැනේ. එසේම නෝට්ටුව මුළුමනින්ම කපුවලින් නිෂ්පාදිත නිසා එහි ඇති රළු ගතිය පහසුවෙන් ඇඟිලිවලට දැනේ.
සැඟවුණු සලකුණ
නෝට්ටුවේ මුහුණත පැත්තේ මෝස්තරයක් තුළ සැඟවී ඇති එහි වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුව ඇස් මට්ටමින් තිරස් ලෙස ඉහළ - පහළ කර බැලීමේදී දැකගත හැකිය.
ක්ෂුද්‍ර අක්ෂර
විශාල කාචයක් තුළින් නෝට්ටුවේ ඉදිරිපස උඩ කොටස බැලූ විට ඉතා කුඩා ලෙස මුද්‍රිත “Central Bank of Sri Lanka” යන අකුරු පැහැදිලිව පෙනේ.
වැර ගැන් වූ කොන්
නෝට්ටුව ආලෝකයට යොමුකර එහි කොන් හතර නිරීක්ෂණය කළවිට 2005 වර්ෂයෙන් පසුව නිකුත් කළ රුපියල් 500 සිට ඉහළ වටිනාකමින් යුතු නෝට්ටුවල කොන් හතරේ විකර්ණ ලෙස ගමන් කරන ඉරි කිහිපයක් දැකගත හැක. මෙය දිය සලකුණකි.
නෝට්ටුවක් පිළිබඳ යම් සැකයක් ඇතිවූ විට ඉහත දැක්වූ දේවල් පිළිබඳ පරීක්ෂාවෙන් බලා මෙය සත්‍ය නෝට්ටුවක්ද, ව්‍යාජ එකක්ද යන්න සනාථ කරගත හැකිවේ.
ව්‍යාජ නෝට්ටුවක් පිළිබඳ සැකයක් ඇතිවුවහොත්:-
1. සැක සහිත නෝට්ටුව අව්‍යාජ නෝට්ටුවක් සමග සසඳා ආරක්ෂණ සළකුණු පරීක්ෂා කර බලා තීරණයක් ගත හැකිය. සැකසහිත නෝට්ටුව තමා වෙත රඳවා ගෙන තබාගැනීම වැදගත් වේ.
2. ව්‍යාජ නෝට්ටුව ඔබට ලැබුණු ආකාරය, එහි අනුක්‍රමික අංකය සහ වටිනාකම සටහන් කර තබාගත යුතුවේ.
3. නෝට්ටුව ඔබට ලබාදුන් පුද්ගලයාගේ හැඩරුව, ඔහු වාහනයකින් පැමිණියේ නම් එහි අංකය, අවසන්වරට එම පුද්ගලයා දුටු ස්ථානය සටහන් කර ගැනීම වැදගත් වේ.
4. එසේම එය ව්‍යාජ නෝට්ටුවක් යැයි සනාථ වෙන්නේ නම් වැඩිපුර ස්පර්ෂ වීම වළක්වාලීම සඳහා ලියුම් කවරයක බහා තැබිය යුතුවේ.
5. ව්‍යාජ නෝට්ටුව පිළිබඳ සොයාගත් තොරතුරු ගැන ළඟම ඇති පොලිසියට පැමිණිලිකර නෝට්ටුව පොලිසියට බාරදෙන්න.
අලුතින් මුද්‍රණය කර ඇති රුපියල් 5000 නෝට්ටුවලට සමාන ව්‍යාජ නෝට්ටු මුද්‍රණය ඉහළ ගොස් ඇති බව පෙනෙන නිසා ඒවායේ ආරක්ෂාව සඳහා වෙනත් ක්‍රමයක් යොදන්නේදැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධිකාරි එස්.එම්. ප්‍රේමදාසගෙන් විමසූවිට ඔහු පැවසුවේ දැනට මුද්‍රණය කර ඇති නෝට්ටුවල වෙනසක් නොකළ හැකි අතර නැවතත් අලුතින් රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන විට පවතින තත්ත්වය සලකා බලා වෙනත් ආරක්ෂණ වැඩපිළිවෙළක් යෙදීම පිළිබඳ බැංකු කළමනාකාරීත්වය තීරණයක් ගනු ඇති බවය.
♦ යසවර්ධන රුද්‍රිගු