අප්‍රිකානු රටක සත්ත්ව උද්‍යානයෙහි සිංහ කූඩුව අසල මෙවැනි දැන්වීමක් දක්නට තිබුණි.
“මෙහි යකඩ බට මත නැගීමෙන් හෝ හිඳගැනීමෙන් වළකින මෙන් අවවාද කෙරේ. මිනීමස් කෑමෙන් සිංහයන් රෝගීවීමට ඉඩ තිබෙන බව කරුණාවෙන් සලකන්න.”
එම සත්ත්ව උද්‍යානයෙහිම, මාංශ භක්ෂික කුරුලු කූඩුවක් අසල මෙබඳු පුවරුවක් විය.
“මෙම පක්ෂීන්ට ඔබේ ඇඟිලි ආහාරයට දීමෙන් වළකින්න.”
එහි, කොටි ගුහාව අසල වූයේ මෙම දැන්වීමය.
“කොටි කුඩා දරුවන්ට ප්‍රිය කරති එහෙත් දිරවීමට අපහසුය. එහෙයින්, දැල අසලට යාමෙන් වළකින්න.”
ඉන්දියාවේ සත්ත්ව උද්‍යානයක, ව්‍යාඝ්‍ර කූඩුව අසල තිබූ පුවරුවකි මේ.
“ඔබ පුනරුත්පත්තිය දැඩිව විශ්වාස කරන්නකු නම් පමණක්, මේ කූඩුව අසලට ළංවන්න.”
සත්ත්ව උද්‍යානයන්හි දක්නට ලැබෙන මෙබඳු “උපහාසාත්මක පුවරු” පිළිබඳව මතකයට නැගුණේ, මෑතකදී පුවත්පත්හි පළ වූ පුවතක් නිසාය. ඒ දෙහිවල සත්ත්ව උද්‍යානය රාත්‍රියටද විවෘත කර තැබීමට යාම පිළිබඳවය.
මෙය මෙතෙක් අතපසු වූ, ඉතාම කාලෝචිත යෝජනාවකැයි සිතමි. වර්තමාන ශ්‍රී ලංකාවේ ජනතාවට හිරිහැරයක්ව තිබෙන මෙබඳු අඩුපාඩු සොයා බලා සම්පූර්ණ කිරීමට යාම ගැන, අදාළ අමාත්‍යවරයාට හා අනෙකුත් නිලධාරීන්ට, සත්ත්වලෝලී අප කෘතඥ විය යුතුය.
සතුන්ගේ රාත්‍රී ජීවිතය දැකගැනීමට නොහැකිව තිබීම ගැන ශ්‍රී ලාංකිකයා පසුවූයේ මහත් කනස්සල්ලෙනි. රටේ අනෙක් ප්‍රශ්න මෙන්ම, ඒ ප්‍රශ්නයද කීමට කෙනෙක් සිටියේ නැත. සයිටම්, උමා ඔය සහ ඩෙංගු යන තුන් බියෙන් පෙළෙමින්, පක්ෂය රැකගැනීමේ වගකීමද හිස මත තබාගෙන සිටින අතිගරු ජනාධිපතිතුමාට දෙහිවල ගැන සොයා බැලීමට වෙලාවක් නැත. කෙසේ හෝ මෙම “නයිට් සූ” තුළින් එම ප්‍රශ්නයට විසඳුමක් ලැබීම ඉතා ප්‍රීතියට කාරණයකි.
නයිට් සූ (Night Zoo) තුළින්. අතුරු ප්‍රයෝජන කීපයක්ද සැලසෙතැයි හැඟේ.
පළමුවැන්න, අන්තිම බසය හෝ දුම්රිය වරදින මගීන්ට අඩු වියදමකින් රාත්‍රිය ගත කිරීමට තැනක් ලැබීමය. එසේම, ගෙස්ට් හවුස්, රෙස්ට් හවුස්, හෝටල් ගාණේ ගොස් අමාරුවේ වැටෙන පෙම්වතුනටද, නිත්‍යනුකූල ලෙස රාත්‍රියක් ගත කිරීමට ස්ථානයක් ලැබෙයි. (අහිංසක සතුන්ට නරක ආදර්ශයක් නොවන ලෙස හැසිරීමට ඔවුන් වග බලාගත යුතුය. ඇතැම් සතුන් මිනිසුන් අනුකරණයට හපන්නුය.)
අගනුවර බෝඩිං සොයා ගැනීමට දුක් විඳින, පිට පළාත්වල වැසියනටද, ඒ සඳහා සත්ත්ව උද්‍යානය යොදාගැනීම වාසිදායකදැයි සොයා බැලීම වැදගත්ය. හිස්වන කූඩු, කුලියට දීමෙන් සත්ත්ව උද්‍යානයටද අමතර ආදායමක් ලබාගත හැකිය. “සිංහ කූඩුවක් අසල ඇනෙක්සියක්” වැනි පුවත්පත් දැන්වීම් පළකිරීමෙන්ද හොඳ ප්‍රතිචාර ලැබෙනවාට සැක නැත.
සතරවැනි පරම්පරාවේ සත්ත්ව උද්‍යාන (4th Generation Zoo) යනු ඇතැම් රටවල ක්‍රියාත්මක කෙරෙන නව සංකල්පයකි. වන සතුන් ඉතා අඩුවෙන් දක්නට ලැබෙන වාසිබෝලන්තය වැනි රටවල මෙය ඉතා ජනප්‍රියය.
මෑතකදී එරට විවෘත කිරීමට නියමිතව තිබූ, එබඳු සත්ත්ව උද්‍යානයක ඇබෑර්තු පුරවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කෙරුණි. රැකියා විරහිත තරුණයෙක් ඒ සඳහා ඉල්ලුම් කොට, සම්මුඛ පරීක්ෂණයට ගියේය.
තරුණයාගේ සහතික පත් පරීක්ෂා කොට සෑහීමකට පත්, පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා මෙසේ ඇසීය.
“ඔබ කැමති මොන ඇබෑර්තුවටද?”
“මගේ සුදුසුකම්වලට ගැලපෙන ඕනම එකකට මම කැමතියි.”
“දැනට ඉතිරිවෙලා තියෙන්නෙ ඔරං ඔටං, ජිරාෆ්, හිම වළහා වගේ වේකන්සි විතරයි.”
“ඒ කිව්වෙ? ඒගොල්ලො බලාකියා ගන්ඩද?”
“නෑ නෑ. ඒගොල්ලන්ට අඳින්ඩ. අපි කොස්ටියුම් දෙනවා.”
“ඒ මොන විකාරයක්ද? මම ඉල්ලුම් කෙරුවෙ සත්ත්ව උද්‍යානෙ සේවක පුරප්පාඩුවලටනෙ.”
“ඔව්, ඔව්. සේවකයො තමයි මේකේ සත්තුන්ටත් ඉන්නෙ. ෆොත් ජෙනරේෂන් සූ සංකල්පය ඒකනෙ. අනාගත ලෝකේ, ප්‍රදර්ශනය කරන්න සත්තු ඉතිරිවෙන එකක් නෑ.”
තරුණයා හිස කසමින් මඳක් කල්පනා කළේය. අවසානයේදි, පිහිනුමට දක්ෂයකු නිසා ඔහුට මින් මැඳුරේ මෝරෙකුගේ රැකියාව ලැබුණි.
වාසිබෝලන්තයේම එක් ප්‍රදේශයක පිහිටා තිබූ සත්ත්ව උද්‍යානයක සංචාරක ආකර්ශනය වූයේ දුර්ලභ පක්ෂි විශේෂයකි. ප්‍රමාණයෙන් උකුස්සන් තරම් විශාල, අලංකාර වර්ණ සහිත එම පක්ෂීන් අහසේ සරනු දැකීමට බොහෝ දෙනා එහි පැමිණියහ. විදෙස් රටක සිට පැමිණි යුවළක් ඔවුන්ගේ දුරදක්නා තුළින් එම පක්ෂියකු පියාසලන අන්දම නිරීක්ෂණය කරමින් සිටියහ. එකවරම. පක්ෂියෙක් බිම ඇද වැටුණි.
විදේශික යුවළ කම්පාවට පත්ව, පක්ෂියා වැටුණු තැනට දිව ගියහ. ඒ සමඟම එතැනට දිව ආ සේවකයෙක්, පක්ෂියා අතට ගත්තේය.
විදේශිකයා ඔහු දෙස බලා, කනගාටුවෙන් මෙසේ ඇසීය.
“මැරිලද?”
“නෑ, බැට්රි බැහැලා.”
දුර්ලභ පක්ෂීන්ගේ “ක්‍රියාකාරීත්වය” ගැන විදේශික යුවළට අවබෝධ වූයේ එවිටය.
සත්ත්ව උද්‍යානය නැතහොත් සත්තු වත්ත යන ජනප්‍රිය පොදු වහර, සතුන් වත්ත යැයි වෙනස් වූයේ මෑතකදීය. එය සත්ත්ව විද්‍යාඥයන්ගේ නොව භාෂා විශාරදයන්ගේ පණ්ඩිතකමට සිදුවූවකි. එහෙත් මිනිස්සු තාමත් කියන්නේ සත්තු වත්තය. සත්තු හිනස්සන වැඩ කරන්නේ “මෙරට්ටු”ය. “රෑ සත්තු වත්ත” එවන් වැඩක් නොවේවා!
♦ කපිල කුමාර කාලිංග