2017 ජුලි 08 වන සෙනසුරාදා

ගුණ කෑමක් මාර සැපක් Amuna Ayurveda Retreat

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

ආයුර්වේදය කියන්නේ ලෝකයේ තිබුණු පැරණි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් විදිහට ප්‍රසිද්ධයි. එය ඇත්තෙන්ම ප්‍රතිකාර ක්‍රමයකට වඩා එහා ගිය ජීවන රටාවක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි. ඉතින් මේ ආයුර්වේද ජීවන රටාව අපට සමීප කරවන අලුත්ම නවාතැනක් අමායා රෙසෝට්ස් ඇන්ඩ් ස්පා වෙතින් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි අමුණ ආයුර්වේද රිට්‍රීට් (Amuna Ayurveda Retreat) හෝටලය. 

අමුණ ආයුර්වේද රිට්‍රීට් හෝටලයේදී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ලබාගන්නා අතරේදීම ගතටත් මනසටත් ඉතාම විවේකී කාලයක් ගත කිරීමේ අවස්ථාව එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට හිමිවෙනවා. හෝටලය පිහිටා තිබෙන්නේ දඹුල්ල, කුඹුක්කන්දන්වැව ප්‍රදේශයේයි. ඒ කියන්නේ, අමායා ලේක් හෝටලයේ සිට කිලෝ මීටර 02ක දුරින්. එහිදී යෝගා, භාවනා ක්‍රම වගේම කාබනික, ඒ කියන්නෙ වස විස නැති එලවළු පලතුරු භුක්ති විඳින්නත් පුළුවන්. 
හෝටලය පිහිටලා තිබෙන්නෙ, විශාල වෙල් යායක්, වෙනත් වගා බිම් හා ශාක ගහණයක් අතරේයි. ඒ නිසාම ඉතාම සුන්දර දර්ශන තලයකටත් හෝටලය හිමිකම් කියනවා. 

පරිසර හිතකාමී විදිහට ඉදිකළ කාමර 13ක් මේ හෝටලය සතුයි. ඒ අතර dwellings, Villa සහ Tree houses  මාදිලියේ කාමර තිබෙනවා. කාමර වගේම අවන්හල, ලොබි ප්‍රදේශය, වෛද්‍ය පරීක්ෂා කාමරය, ප්‍රතිකාර කාමරය වගේම සම්බාහන මධ්‍යස්ථානය ඇතුළු සියල්ල ඉදිකරලා තියෙන්නේ ප්‍රතිචක්‍රීයකරණය කළ දේවල් යොදාගනිමිනුයි. මේ පරිසර හිතදායී බව ආරක්ෂාවන අයුරින් නවීන හෝටලයක තිබෙන අංගෝපාංග සියල්ලමත් ඊට කදිමට මුහු කර තිබීම විශේෂත්වයක්. හුමාල ස්නානය, ඖෂධීය ස්නානය ඇතුළු ප්‍රතිකාර රුසක් මෙහිදී ලබාගන්න පුළුවන්. 
ප්‍රතිකාර ගැන අවධානය යොමුකරන විට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමවේද තුනක් හෝටලය පිරිනමනවා. ඒ සුවශාන්ති, නිරෝගා සහ ස්වස්ථා යනුවෙන්. සුවශාන්ති ප්‍රතිකාර ක්‍රමය දින 7, 14 සහ 21 බැගින් කාණ්ඩ තුනක් යටතේ කරන පූර්ණ ප්‍රතිකාරයක් සංචාරකයින්ට ලබාදෙනවා. කායික සුවය ගැන වැඩි අවධානයක් යොමුකරන නිරෝගා සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කේන්ද්‍ර කරගත් ස්වස්ථා ප්‍රතිකාර රටාවන් දින 7, 10, 14, 21 හා 30 වශයෙන් කාණ්ඩ වෙනවා.

ඊට අමතරව සංචාරකයින්ගේ කාලය, සෞඛ්‍ය අවශ්‍යතා සහ පසුබිම්යට ගැලපෙන ලෙස යෝගා සහ භාවනා පහසුකම් ලබාගැනීමේ හැකියාවත් පවතිනවා. මේ සියලු ක්‍රියාකාරකම් අතරේ ඉහළ ගුණාත්මක බවකින් යුත් ආහාර වේලක් හිමිවීමත් විශේෂත්වයක්. ප්‍රතිකාර සැලසුම් කෙරෙන අවස්ථාවේදීම ඔහුගේ හෝ ඇයගේ ආහාරවේල පිළිබඳවත් වෛද්‍ය උපදෙස් හිමිවෙනවා. මේ අවන්හලේ තවත් විශේෂත්වයක් තමයි කිසිදු මාංශ වර්ගයක් හෝ මධ්‍යසාර වර්ගයක් එහිදී පිළිනොගැන්වීම.

♦ සනත් වීරසූරිය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00