2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

අංශභාගය සුව කරන්න පුළුවන්

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 3198

යම් පුද්ගලයකු අංශභාගය රෝගයට ගොදුරුවනවා යනු රෝගියා පමණක්ම නොව එය මුළු පවුලේම කඩාවැටීමකි. එයින්ම පවුලේ සියලු කටයුතු අඩාල වන අතර අඳුරෙන් අඳුරට යනවා මිස අඳුරෙන් එළියට යාමත් ඔවුන් දකින්නේ නැත. එපමණක්ද නොව රෝගියාගේ සිතෙහිද නිරතුරුවම පවතින්නේද කනස්සල්ලකි. ජීවිතය ගැන කලකිරීමකි. මෙවැනි රෝගීන් හට විශාල මානසික අස්වැසිල්ලක් අවැසි වන්නේ මේ හේතුව නිසාය. විශේෂයෙන්ම රෝගියාට මානසික සෞඛ්‍ය රැකගැනීම මෙහිදී අනිවාර්යයෙන්ම කළ යුත්තකි. මෙය සුවකරගත හැකි රෝගයක් බැවින් වඩාත් වැදගත් වන්නේ එවැනි රෝගයක් හටගැනීමට ඇති තත්ත්වයන් වළක්වා ගැනීමයි.

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පංචකර්ම අංශයේ විශේෂඥ වෛද්‍ය තිලකා මාලනී රූපසිංහ මහත්මිය පක්ෂගාත රෝගය හා එය ඇතිවීමට බලපාන හේතු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.

පක්ෂාඝාතය කියන්නේ ශරීරයේ  එක් පැත්තක සංවේදන හා ක්‍රියාවලි අකර්මන්‍ය වීමයි. මේ සඳහා හේතුවන කාරණා කීපයක්ම තියෙනවා. ආහාර විහරණ හේතු ඉන් එකක්. ධාතු ක්ෂය හේතු තවත් එකක්. ධාතු කියන්නේ අපේ ශරීරයේ පවතින රස, රක්ත, මාංශ, මේද, හස්ති, මජ්ජා, ශුක්‍ර යන ඒවා. සර්ව භෞතික හේතුන් පක්ෂාඝාතය සඳහා බලපානවා. ගර්භනී අවස්ථාව එනම් සූතිකා පත්ති අවස්ථාව, මදුමේහය, හෘදයාබාධ, වාත රක්ත රෝග, උදර රක්ත රෝග, මානසික රෝග ආදිය නිසාත් පක්ෂාඝාතය ඇතිවිය හැකියි. අනිත් හේතු තමයි අභිඝාත හේතු හා මර්මස්ථාන පීඩාවීම් පහරවැදීම්, තැලීම්, වාහනවලින් වැටීම් යන හේතු කාරණා උඩ මර්මස්ථාන පීඩාවීමෙන් පක්ෂාඝාතය ඇතිවෙන්න පුළුවන්.

පක්ෂ ඝාතයට බලපාන ආහාර හා විහරණ

වාතයේ ඇති ආවේණික ගුණවලට සමාන ගුණ ඇති ආහාර වැඩිපුර භාවිතය, පක්ෂාඝාතයට හේතුවකි. රූක්ෂ කියන ගුණය ඒ කියන්නේ රළු දේවල් අපි නිතර නිතර භාවිතය ඉතාම අහිතකරයි. ගොඩක් වෙලාවට නිතරම මස් මාලු වැනි දේ බැදලා කන්න පුරුදු වෙලා ඉන්නවා බොහෝ පිරිසක්. මේවා ඉඳ හිටලා භාවිතා කළාට කමක් නෑ. වැඩියෙන්ම ආහාරයට ගත්තම තමයි ගැටලු මතුවෙන්නේ.

ශීත ආහාර ගත්තොත් වාතයේ එක ගුණයක් තමයි ශීත. ඉතින් මේ ශීත ගුණය වැඩිවෙන දේවල් උදාහරණයක් විදියට මීකිරි ගත්තොත් මීකිරි කෑ පළියටම පක්ෂාඝාතය හැදෙන්නේ නෑ. නමුත් අපි හැමදාම හවස නාලා මීකිරි කෑවොත් ඊට වැඩියෙ තද සීතල අලවර්ගයක් කෑවොත්, රෑට පිපිඤ්ඤා, බණ්ඩක්කා වැනි ආහාර ගත්තොත් රෝගය ඇතිවෙන්න පුළුවන්.

ලඝු ආහාර අනුභාවයත් පක්ෂාඝාත රෝගය සඳහා ප්‍රබල සාධකයක්. ලඝු ආහාර ඝනයට අයත් වන්නේ බොහෝම සැහැල්ලු ආහාර. අපේ ප්‍රධාන ආහාර නොගෙන දිගින් දිගටම මෙම ආහාර ගැනීම තමයි අයහපත් ප්‍රතිඵල ඇති කරන්නේ. ඊට අමතරව කිසිදු ආහාරයක් නොගෙන සිටීමත් මේ රෝගයට හේතු සාධකයක්.

විහරණ යටතේ ගත්තම සාමාන්‍යයෙන් අපි කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ රාත්‍රී ආහාර අරගෙන පැයක් දෙකක් ඉඳලා නිදා ගැනීමටයි. නමුත් වර්තමාන තත්ත්වය මේ වෙද්දී වෙනස් වෙලා තියෙන්නේ. ගොඩක් අය රූපවාහිනිය නැරඹීම ඇතුළු තවත් දේ නිසා ගොඩක් නිදි මරනවා. මෙය සිරුරට ඉතාම අහිතකරයි.

වේගධාරා පාලනය කිරීමත් පක්ෂඝාතයට ඍජුවම බලපානවා. මළවේග, මුත්‍ර වේග ආදිය මේ යටතට ඇතුළත් වෙනවා. දැන් අපි පරිගණකය ළඟ වාඩිවුණාම ඒ වැඩ ටික කරලා ඉවරවෙලා මිසක් ගොඩක් අය තමන්ගේ ශරීර කෘත්‍ය කරගන්න යන්නේ නෑ. මේ සම්බන්ධයෙන් වැඩිදෙනා අවධානය යොමුකළ යුතුයි.

අධික ව්‍යායාමත් පක්ෂාඝාත රෝගය ඇතිවීම සඳහා බලපානවා. ඒ වගේම සිරුරට අනවශ්‍ය ආකාරයෙන් ලිංගික ක්‍රියාවල යෙදීම මගින්ද මෙවැනි රෝග වැළඳෙනවා. මේ ආකාරයට ඉහත සඳහන් කුමන හෝ හේතූන්ගේ බලපෑමකින් පක්ෂඝාත රෝගියකු බවට පත්වන පුද්ගලයකු ඉන් අනතුරුව යොමුවන්නේ ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමටය. දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන ආකාරයට රෝගයේ බරපතළ තත්ත්වයට යාමට පෙර රෝගියා විසින් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර හිස කැරකිල්ල, හිසෙහි බරගතිය, ඇසක් කුඩාවීම හෝ පෙනීමේ දුබලතාව, ඇස් රතුවීම, කන්වල ශබ්ද ඇතිවීම, ශරීරයේ තැන් තැන්වල මස් නැටීම, අවිවේකී බව, ශරීර වර්ණය වෙනස්වීම, වමනය, ඇසෙහි ගිනි පුපුරු පිටවෙන්නාක් මෙන් දැනීම මෙලෙස පෙන්වන රෝග ලක්ෂණයන්ය. කෙසේ වෙතත් මෙවැනි රෝග ලක්ෂණ පිළිබඳ නොසැලකිලිමත් වීමෙන් අවසන රෝගය හටගන්නා අතර ආයුර්වේද රෝහලට පැමිණෙන රෝගීන්ගේ තත්ත්වය පිළිබඳව වෛද්‍යතුමිය පැවසූයේ මෙසේය.

අපේ සායනවලට බොහෝ වෙලාවට එන්නේ නාසයෙන් බට දැමූ, හරියට සිහිය නැති, අතපය සොලවන්නේ නැති, ආහාර ගත නොහැකි අවස්ථාවට පවා පත්වූ රෝගීන්. මෙහෙම රෝගියෙක් අපි ළඟට පැමිණියාම අපි රෝගියාව පරීක්ෂා කිරීමට අමතරව ඔහුගේ හෝ ඇයගේ ඥාතීන්ගෙන් විමසීමක් කරනවා කොහොමද මේ ලෙඩේ හැදුණේ සහ මෙයට පෙර ඔහු වෙනත් රෝගයකින් පෙළුණාද කියලා. මොකද වෙනත් රෝගයක උපද්‍රවයක් නිසා රෝගියා අංශභාගය නැත්නම් පක්ෂඝාත රෝගයට ගොදුරු වෙන්ට පුළුවන්. ඒ නිසා අපි මුලින්ම රෝගියාගේ ඉතිහාසය අරගන්නවා.
ඊටපස්සෙ රෝගියාගේ මොන අංශයද අකර්මණ්‍ය වෙලා තියෙන්නේ, ගිලීමට අපහසුද, මළමුත්‍ර පිට කරන්නට සංවේදන දනෙන්නේ නැද්ද යන්න ගෙදර අයගෙන් අසා දැනගෙන රෝගියත් එක්කත් කතා කළ හැකි නම් කතා කරනවා. අනතුරුව මොහුට රෝගය හටගෙන ඇත්තේ කුමන දෝෂයක් නිසාද යන්න සොයාගෙන ඒ අනුව කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත්තාට පසුව රෝගියාට චිකිත්සාවට යොමුකරනවා.

මෙවැනි රෝගියකු රෝහලට ගෙනයන අවස්ථාවේදී ඔහුට සිහියක් නොමැති නම් බොන බෙහෙත් දීමේ හැකියාවක් නැත. එවැනි අවස්ථාවකදී සිදුකරන්නේ රෝගියාගේ හිසට තෙල් දැමීම, නාසයට ආඝ්‍රාණය වන්නට සැලසීම ආදී ප්‍රතිකාර විධියි. එසේම දිවෙහි හා උගුරෙහි ක්‍රියාකාරීත්වය නොමැති විට එම ස්ථානවලටත් යම් යම් ඖෂධීය ද්‍රව්‍ය ආලේපයෙන් පේෂි ක්‍රියාකරවීමේ හැකියාව ඇත.

පක්ෂඝාත රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම ඇත. මූලික වශයෙන් කසාය යොදාගත්තද ලබාදෙන ඖෂධය තීරණය කරන්නේ හඳුනාගන්නා දෝෂය අනුවයි. මෙහිදීද දළු අනුපානය නම් ප්‍රතිකාර ක්‍රමයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

දලු අනුපානය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතා වැදගත් ප්‍රතිකාර ක්‍රමයකි. මෙය බොහෝවිට එන්නතක් ලබාදීම හා සමාන වන අතර පක්ෂඝාත රෝගයෙන් පෙළෙන්නකු හට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාරය ලබාදීමෙන් වඩාත් ක්ෂණික ප්‍රතිඵල අත්විඳිය හැක. ඒ ඒතරම්ම ඉක්මනින් එය ඇඟට උරාගෙන ක්‍රියාත්මක වන නිසාය. දළු අනුපානය මගින් සිදුවන්නේ ශ්‍රෝත ශෝධනයකි. එනම් ගලායාමට සැලැස්වීමකි. රුධිර නාළ අවහිරවීම් නිසා අංශභාගය වැනි රෝග හටගන්නා අතර මෙහිදී කළ යුත්තේ ශෝධනයයි. ඉතින් දළු අනුපාන වැනි ප්‍රතිකාර ක්‍රමයකදී අවහිර වී තිබූ නාලවල එම අවහිරතාවය නැතිවී යන හෙයින් රෝගියාගේ සුවපත්භාවය කෙරෙහි එය බෙහෙවින්ම බලපායි. මෙම දළු අනුපාන ප්‍රතිකාරය ලබාදෙන ප්‍රමාණය සේම කාලයද රෝගියාගෙන් රෝගියාට වෙනස්ය.

තෛල අභ්‍යංගය

තෛල අභ්‍යංගයද අංශභාගය සඳහා ඇති තවත් ප්‍රතිකාර ක්‍රමයකි. තෛල අභ්‍යංගය බොහෝවිට සිදුකරන්නේ මූලික ප්‍රතිකාර ක්‍රමවලින් අනතුරුවය. මේ සඳහා යාමට පෙර අඩුම තරමේ රෝගියා සති දෙකක්වත් මූලික ප්‍රතිකාරයන්හි රඳවාගත යුතුයි. සමහරවිට හිස සම්භාහනය කිරීම සිදුකරන්නේ මාසයකට පමණ පසුවය. ශ්‍රෝත ශෝධනයෙන් රෝගියාගේ අවරෝධනය වූ තැන් සුවපත් කර රතු රුධිරය හොඳින් ගමන් කිරීමට සැලැස්වීමෙන් අනතුරුව මෙම ප්‍රතිකාරය සඳහා යොමුවිය හැක.

ඇත්තටම අංශභාග රෝගියකු සඳහා චිකිත්සාව කරගෙන යන්නේ එක්තරා ක්‍රමවේදයකට අනුවයි. රෝගියාට දෙන කසාය ගත්තත් මුල් අවස්ථාවේ දෙන එක නෙමෙයි ඊළඟ සතියේ දෙන්නේ. පසුව සිදු කරන්නේ තෙල් අභ්‍යංගයද, සිරෝධාරාදා, සිරෝ වස්තිද යන්න තීරණය කරන්නේ ඉන් අනතුරුවයි. ගෙදර අයට තමයි මෙතනදි විශාල කැප කිරීමක් කරන්නට සිදුවන්නේ. මොකද පක්ෂඝාත රෝගියෙක් වුණා කියන්නේ රෝහලකට සීමාකරලා දාන්න පුළුවන් රෝගියෙක් නෙමෙයි. ඔහුට මානසික සහනය ඕනෙ. එයා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ. රෝගියා ප්‍රකෘති තත්ත්වයට හැරෙන්නේ වෙදකම වගේම හෙදකමත් හරියට සිදුවුණොතින් විතරයි.

පක්ෂඝාත රෝග සම්පූර්ණයෙන්ම සුවවන්නක් වුවත් යම් යම් සුළු රෝගී තත්ත්වයන් ඉතිරිවන අවස්ථාද තිබේ. රෝගය සුව වූ පසු බැලූ බැල්මට රෝගී තත්ත්වයක් නොපෙනුණත් ඇතැම් අය පවසන්නේ එක අතක හෝ ශක්තිමත්භාවයක් අඩුවක් ඇති බවයි. එසේම මෙවැනි රෝගයක් සඳහා ප්‍රතිකාර නොගැනීමෙන් සිදුවන්නේ එක්තැන්වීමටයි. එය නිසැකවම තමන්ට සේම අන් අයටද බලපෑම් ඇති කරවන්නකි.

පක්ෂඝාතය නැතිනම් අංශභාගය වැළඳී ඇති බොහෝ පිරිස් ගැන අපට අසන්නට ලැබෙන්නේ අනුවේදනීය කතාය. තමන්ගේ සැඳෑ සමය නිස්කලංකව ගත කරන්නට පෙරුම් පුරණ අපේ වැඩිහිටි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මෙවැනි රෝගයන්ට ගොදුරු වනවා යනු සැබවින්ම කනගාටුවට කරුණකි. යම් රෝගයකින් පීඩාවට පත්වනවාට වඩා එවැනි රෝග තත්ත්වයකින් වැළකී සිටිය හැකි නම් කොතරම් අගනේද යන්න අපට හැඟෙන්නේ එවැනි රෝගීන් විඳින වේදනාවන් දැකීමෙනි. අනෙකුත් රෝගයන් සේම පක්ෂඝාත රෝගයටද අපගේ ජීවිතවල අපිළිවෙළ වැඩිපුරම බලපාන හෙයින් මෙවැනි රෝග වළක්වා ගැනීමේ හැකියාවද බොහෝදුරට ඇත්තේ අපටමය.

ලෙඩේ හැදෙන හැටි

අපගේ මස්තිෂ්කය හෙවත් මොළය අර්ධගෝල දෙකකින් සමන්විත වන අතර වම සහ දකුණ වශයෙන් වන කොටස් මගින් ශරීරයේ ප්‍රතිවිරුද්ධ කොටස්වල ක්‍රියාකාරීත්වය පාලනය කෙරේ. මේ අවස්ථාවේ කිසියම් හේතුවකින් මොළයට රුධිරය සපයන රුධිර නාලවල රුධිර කැටියක් හිරවීමෙන් එම රුධිර නාලය මගින් රුධිරය සැපයීම අඩාල වී එම කොටසේ ක්‍රියාවට යටත්වන අදාළ පාර්ශ්ව අප්‍රාණික වීම සිදුවේ. මෙහිදී නිසැකවම සිදුවන්නේ අංශභාගයට මග පෑදීමයි. එසේම මොළයට ලේ සපයන රුධිර නාළයක් පිපිරී යෑමෙන්ද පක්ෂඝාතය ඇතිවිය හැක.

හෘද රෝග, අර්ශස්, මොළයේ ගෙඩි වැනි රෝගී තත්ත්වයන්ද පක්ෂඝාතය ඇතිවීම කෙරෙහි ඍජුවම බලපායි. විශේෂයෙන්ම හෘද රෝගයකදී හෘදයේ කපාට හරිහැටි ක්‍රියාත්මක  නොවීම සිදුවිය හැකි අතර මෙවැනි අවස්ථාවකදී මොළයට ගමන් කරන රුධිර වාහිනියක් සිරවීමෙන් රුධිරය සැපයීම අක්‍රිය වී ඉහත අවස්ථාවට පත්විය හැකිය. එබැවින් මෙවැනි රෝගීන් තම රෝග සම්බන්ධයෙන් නිරතුරුවම අවධානයෙන් සිටිය යුතුය. පක්ෂඝාතය වැළඳුණ රෝගීන් සඳහා හෘදය හා මොළය සම්බන්ධයෙන් වූ පර්ෙය්ෂණ කිහිපයක්ම සිදුකෙරෙන අතර මෙම පරීක්ෂණ හරහා ඔවුන්ගේ රෝගය කෙරෙහි තවත් රෝගයක් උපද්‍රවයක් ලෙසින් බලපා ඇද්දැයි හඳුනාගත හැකිය.

♦ හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ | සමන්ත විල්තෙර