1818 කැරැල්ල ආරම්භ කරන්නේ දොරේසාමි නම් පුද්ගලයෙකි. එහෙත් දොරේසාමී විරයෙක් නොවී කැප්පෙටිපොළ වීරයෙක් වන්නේ ඉංග්‍රීසි උවමනාව මතය. කැරැල්ල ආරම්භයේදීම සැලසුම් රහිත අරමුණක් රහිත සංවිධානයක් රහිත එකකි. මෙය සියදිවි නසා ගැනීමේ අරගලයක් වනවාසේම ඉංග්‍රීසීන්ට අත්‍යවශ්‍යය මොහොතක ඇති වූවකි. මක්නිසාද යත් 1815 ගිවිසුම අනුව උඩරට රදළයන්ට වැඩි බලයක් තිබුණු අතර ඉංග්‍රීසීන්ට ලංකාව කොලනියක් ලෙස සංවර්ධනය කිරීම සදහා මෙම රදල බලය අඩු කිරීම අවශ්‍ය විය. මේ සඳහා උපක්‍රමයක් වූයේ කැරුල්ලක් ඇති කිරීමයි. ඒ තුළින් 1815 ගිවිසුම අහෝසි කරන අතර රටට හිතැති ආදරය කරන මිනිසුන් ඝාතනය කර දීර්ඝකාලීනව තම බලය ස්ථාවර කර ගැනීම අවශ්‍ය විය. මේ සඳහා කැරැල්ලක් අත්‍යවශ්‍ය විය.
රේසාමි සහ කැප්පෙටිපොළ ලබාදුන්නේ. ඒම අවස්ථාවයි. ඉංග්‍රීසි පාලනයේ නිලධාරියකුව සිටි කැප්පෙටිපොළට දොරේසාමි කියනකම් සිංහලකම පිළිබඳව මතක් නොවූයේ ඇයි? යුද්ධයේදී තිබිය යුතු අත්‍යවශ්‍යම ගුණාංගයක් වන උපායශීලීත්වය නොතිබූ දැක්මක් නැති අරමුණක් නැති සංවිධානයක් නැති කැරුල්ලක් මගින් ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඉඩ සැලැස්වූයේ ඇයි? යුද්ධයකදී අත්‍යවශ්‍යම වන වෙඩි බලය ආපසු හරවා යැවුයේ යුද්ධය ධාර්මිකව සිදු කිරීමට යන්න ගැටලුවකි. නවගුණවැල අරගෙන යුද්ධයට යන්නේ නම් සිදුවන්නේ අනිවාර්යයෙන් වෙඩිකන්නය. සිංහල නායකයෝ එම අවස්ථාව හොඳින් ලබාදුන්හ. වෙඩි උණ්ඩ ජාතික ආඩම්බරය හෝ විනය හැදියාව හඳුනන්නේ නැති බව ආපිට පත්තු වූ වෙඩි උණ්ඩවලින් සිංහල නායකයන්ට තේරුම් යන්නට ඇත. ජීවිත දහස් ගණනක් අමු අමුවේ ඝාතනය වන අතර ඌව වෙල්ලස්ස ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වන්නේ කැප්පෙටිපොළ වැනි නායකයන්ගේ හුරතල් අරගලය නිසාවෙනි.
යුද්ධයකට නායකත්වය දෙනවිට තිබිය යුතු උපාය උපක්‍රම නොදත් නායකයන් වීරයන් වන්නේ කෙසේද? වීරයකු බිහිවන්නේ අවසන් ප්‍රතිඵලය තුළ මිස ගමන් මාර්ගයේදී නොවේ. 1818 අරගලය තුළින් සිදුවූයේ තවදුරටත් ඉංග්‍රීසි බලය තහවුරු වීම පමණකි. 1818 උඩරට ප්‍රකාශනය මගින් රට පාලනය කරන අතර උඩරට සිංහලයන්ට පාලනයට තිබූ බලය මෙම ප්‍රකාශය තුළ අහෝසි කර දමනු ලැබීය.
ජාතියේ උපන්ගෙයි දෝෂයන් වන පුහු ආඩම්බරයත් එකමුතුකමක් නොමැතිවීමත් සියල්ල දන්නවා යැයි සිතා තීරණ ගැනීමත් සැලසුමක් හෝ ඉලක්කයක් නොමැතිවීමත් යන කරැණු 1818 අරගලයේ පරාජයට පාර පෙන්වා ඇත. ලංකාවේ ඉතිහාසය පුරාම අපි සිදු කරමින් සිටින්නේ මෙම වැරුදිය. සද්දය ඇතත් වැඩ නැති මිනිසුන් බිහිවන්නේ මේ පරිසරය තුළිනි.
ඉංග්‍රීසින්ගේ ම්ලේච්ඡත්වයට වඩා කැප්පෙටිපොළගේ වීරත්වය ඉතිහාසයේ ලියවෙන්නේ ඇයිදැයි කිසිවෙක් ප්‍රශ්න කර නැත. කැරැල්ලෙන් පසු ඌව වෙල්ලස්සේ ජනයාගෙන් 4/5ක් කුඩා ළමුන් සහ කාන්තාවන් වන හැටිත් අක්කර ලක්ෂයක පමණ විනාශ කරන ලද ආකාරයත් සිංහලයන්ගේ මළ සිරුරු ජල මාර්ගවලට දමා මිනිසුන්ට රෝග බෝ කළ ආකාරයත් කාන්තාවන් දූෂණය කර මරා දමපු ආකාරයත් ඉතිහාසයේ අඩුවෙන් ලියැවී 1818 කැරුල්ල නිත්‍යනුකූල ආණ්ඩුවකට එරෙහිව කරනු ලැබූ කැරැල්ලක් ලෙස ලියනු ලබන්නේ කවර උරුමයක් මතදැයි කිසිවෙක් විස්තර කර නැත. මද්දුම බණ්ඩාර වීරයකු වී ශ්‍රී වික්‍රම රාජසිංහ දුෂ්ඨයකු වන තැන ගැන අපිට තවමත් නිශ්චිත උත්තරයක් නැත. 1815 උඩරට ආක්‍රමණයට කිසිවෙක් විරුද්ධ නොවන්නේ ඇයිදැයි නොදන්නා ජාතියක් 1818 කැරුල්ලට විරුද්ධ වන්නේ ඇයිදැයි අවශය තරම් විස්තරකර ඇත්දැයි යන සැකය ඇත. ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා විනාඩි කීපයකින් උඩරට ගිවිසුම අත්සන් කර සුද්දන්ට රට භාරදුන් රදළයන් ගැන විස්තර කරනු වෙනුවට කොඩිය බිම දැමූ හිමිපාණන් වීරයෙක් කරනු ලැබුයේ ඇයි? ඉතිහාසය විසින් දේශපාලනය කරනු ලබන්නේ මේ නිසාවෙනි. දෘෂ්ඨිවාදයක් විසින් ඉතිහාසය ගිලගෙන ඇත. අප ඉතිහාසය ලෙස විස්තර කරනු ලබන්නේ දෘෂ්ඨිවාදයකි. එය ඉංග්‍රීසි දෘෂ්ඨිකෝණයෙන් නිර්මාණය කළ ඉතිහාසයකි. ඒ තුළ වීරයන් තනා ඇත්තේ ඉංග්‍රීසින් විසිනි. ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන්නේ ආර්.සී.පී. බෙල්ය. ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි. තමන් විසින් යටත් කර ගත් ජාතියක අභිමානය සකස් කිරීමට අධිරාජ්‍යවාදියකුට කොතරම් දුරට අවශ්‍යදැයි නොදනිමු.
ඉන්දියාව තුළ 1857 දී සිපොයි භටයන් විසින් ඇති කළ කැරැල්ල තුළ මංගල් පාන්ඩේ ලබාදුන් ආදර්ශය විසින් ඉන්දියාව තුළ නිදහසේ ගිනි පුපුරු අවුළුවා තැබූ අතර ජාතීන් අතර එකමුතු බව උදෙසා සිපොයි කැරැල්ල හේතුවිය.
කැප්පෙටිපොළ මරා දමන විට තමා සතුව තිබු ධම්මපදය පොත ඉංග්‍රීසි ජාතිකයකුට දෙමින් ලබාදුන් ආදර්ශය අනාගත ලංකාවේ ඉංග්‍රීසින් සමඟ සමගියෙන් ජීවත්වෙන්න යන පාඩමදැයි සැක සිතේ. මක්නිසාදයත් පසුකාලීනව බිහිවූ නායකයන් ඉංග්‍රීසීන්ටත් වඩා ඉංග්‍රීසීන් වූ බැවිනි. අශ්වයින් පැදීමට ගිය ඩී.එස්. සේනානායක නිදහස් අධ්‍යපනයටත් සර්වජන ඡන්ද බලයටත් විරැද්ධ විය. මැකෙල් සාමිගේ සිහිනය වූ ගතින් කළු වූ සිතින් සුදුවූ නායකයන් තනා තබා සුද්දන් රටින් ගියේ සුදු ආධිපත්‍යයේ කළු සලකුණු නායකත්වයට ඒමට අවශ්‍ය මග සකස් කර තබාය. එහෙයින් අද දවසේත් නිදහස් උත්සවයට අශ්වයන් පිටින් එන බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සිහිගන්වන රථ පෙළපාලිවලින් අඩුවක් වී නොමැත. කේන්ද්‍රයට අවශ්‍ය පරිදි සූරාකෑම සඳහා පරිදියේ රටවල් සකස් කිරීම තවමත් හොඳින් සිදුවන අතරට සූරාකෑමට විවිධ සළු පොරවගෙන එන විවිධ ජාතීන් ඉඹලා පිළිගන්නේ ඒ නිසාවෙනි. ඇමෙරිකාවෙන් එනවිට අධිරාජ්‍යවාදියා චීනයෙන් එනවිට ආදරවන්තයෙක් වන්නේ අපිට තවමත් සූරාකන්නා පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙනි. කූඩුවේ ජීවත්වූ කුරුල්ලකුට ඉගිල යන කුරැල්ලා රෝගියකු ලෙස පෙනීයන අතර සියවස් ගණනක් විවිධාකාරයෙන් සූරාකෑමට ලක්වූ අපට සූරාකෑම සාමාන්‍ය ජීවිතයකි. ඒ හෙයින් සූරා නොකන දේශපාලනයක් යනු මාරාන්තික රෝගයකි.
1818 සිදුවූ රදළ නිදහස් අරගලය වෙනුවෙන් දිවි දුන් ප්‍රවේණිදාසයන් මෙන්ම චීනයට සූරාකෑමට වරාය පවරා එයට විරුද්ධවූවන්ට ප්‍රවේණිදාස හමුදාව ලවා පහර දෙමින් කියා සිටින්නේ ලංකාවේ වැඩවසම් යුගය තවමත් නිමා නොවූ බවයි.
• වජිර කාන්ත උබේසිංහ
බෙලිඅත්ත