2017 ජුලි 15 වන සෙනසුරාදා

මදුරු නිල ඇඳුම් සහ ඩෙංගු මාරයා

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

මේ දවස්වල එංගලන්තයට තදේට පෑවිල්ලය. ග්‍රීෂ්මය ඉසිළීමට බරි තරම්ය. සමහර සුද්දෝ, සුද්දියෝ පාර තොටේ යන්නේ ඇඳුම් කැඩුම් නැති ගාණටය. එහි එක්තරා පාසලක සිසුවෝ, ග්‍රීෂ්ම කාලයට ගැපෙන පරිදි දැනට අඳින දිග කලිසම් වෙනුවට කොට කලිසම් ඇඳීම සඳහා විදුහල්පතිනියගෙන් අවසර ඉල්ලා සිටියහ. ඇය ඊට අවඥාවෙන් යුතුව පිළිතුරු දුන්නේ “ඇයි, ඊට නරකද ගවුම් ඇඳගෙන ආව නම්?” යනුවෙනි.

මෙම ගවුම් කතාව දුරදිග ගියේය. ඊට දින කීපයකට පසු, සිසුන් පිරිසක් පාසල් ආවේ සිසුවියන්ගේ නිල ඇඳුම් (ගවුම්) ඇඳගෙනය. විදුහල්පතිනියට ද කටඋත්තර නැතිවිය. මාධ්‍ය මගින් ද මේ පුවතට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණි. දැනට ඇති ආරංචි අනුව විදුහල්පතිනිය නිල ඇඳුම් ගැටලුව, පාසල් විනය කමිටුව හා මව්පියන් වෙත පවරා ඇත.

ඉන්දියාවේ උසස් පාසලක, සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක, පාසල් සිසුන් නිල ඇඳුමකින් සැරසී සිටීමේ අර්ථය කුමක්දැයි විමසා තිබුණි. එක් සිසුවෙක් ඊට පිළිතුරු සපයා තිබුණේ මෙසේය. “පාසල් නිල ඇඳුමින් සිදුවන්නේ ළමුන්ගෙන් ගුරුවරුන් වෙන්කර හඳුනාගැනීමය.”

කලකට ඉහත නම් ඉහත පිළිතුර ලංකාවේ පාසල්වලට ද ගැලපෙනවාට සැක නැත. එකල අ.පො.ස. පංතිවල සිටි සමහර පිරිමි ළමයි, ගුරුතුමාටත් වඩා උස මහතය. ඇතැමුනට උඩු රැවුල් පවා තිබිණි.

රුපියල් සීයේ වැටුපට, ශිෂ්‍ය ගුරුන් බඳවා ගත් පසු ගුරු - සිසු පටලැවීම් තවත් වැඩිවිය.

ඒ කෙසේ වෙතත්, ගුරු ගෞරවය හා භක්තිය නම් එකල නොඅඩුවම දක්නට තිබුණි. මෙකල මෙන් මේජර්ලා සහ කර්නල්ලා නොසිටියද ගුරු - ගෝල දෙපාර්ශවයම බය පක්ෂපාතව හා විනයගරුකව හැසිරුණහ.

නිල ඇඳුම් නීති නොතිබූ හෙයින්, පරණ ඉස්කෝලවල සරම්කාර ගුරුන්නාන්සේලා මෙන්ම ගෝලයෝ ද සිටියහ. අමුත්තෙකු පාසලට පැමිණෙන විට, ඔහුට කුරුම්බයකින්, තැඹිලි ගෙඩියකින් සංග්‍රහ කිරීමට. සරමක් අමුඩයක් ගසා ගත් ගෝලයෙකු ගස් බඩගෑම අරුමයක් නොවීය.

අද ගුරුන් හෝ සිසුන් සරමට බසින්නේ පාසලේ කලා උළෙලකදී හෝ සංගීත ප්‍රසංගයකදී පමණය. 
සරම, ජාතික ඇඳුමේ කොටසක් වී දේශපාලනඥයින්ගේ නිල ඇඳුම වීමෙන් පසු එයට තිබූ ගරු බුහුමන හා ඇල්මද නැතිවී ගියේය.

අද (හී සරය)ට නිල ඇඳුම තේමාව කරගන්නට සිතුණේ ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා පාසල් ළමුන්ට අත් - පා ආවරණය වන ආකාරයේ ඇඳුමක් නියම කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කල්පනා කර ඇති බැවිනි. කාටුන්කාරයින් නම් දැනටමත් එය “මදුරු දැල් නිල ඇඳුමක්” බවට පත්කොට හමාරය. ඉංග්‍රීසියෙන් නම් “මොස්කිටෝ යුනිෆෝම්”ය.
ඩෙංගු මදුරුවන්ගෙන් ගැලවීම සඳහා ඉහේ සිට පාදාන්තය දක්වා වසාගැනීම ඉතා කාලෝචිත බව සැබෑය. එහෙත් එකී අපූරු නිල ඇඳුම ක්‍රියාවට නැංවීමට පෙර දැනටමත් එබඳු ඇඳුමක් භාවිතා වන මුස්ලිම් බාලිකා පාසල්වල (ඩෙංගු ව්‍යාප්තිය)කෙසේදැයි සමීක්ෂණයක යෙදීම වැදගත්ය.

එසේම මුස්ලිම් බාලිකාවන්ගේ (සර්ව ආවරණීය නිල ඇඳුමට) සමාන ඇඳුමක් සිංහල බෞද්ධ බාලිකාවකට ද ඇන්දවීමෙන් අධ්‍යාපන ඇමැතිවරයාට ද ජාතිද්‍රෝහි චෝදනාවක් හෝ (අනාඥාවක්) එල්ලවීමට ඇති ඉඩකඩ ගැනද සොයා බැලිය යුතුය.

ජාති භේදයකින් තොරව විදීමෙහි යෙදෙන මදුරුවා ලොව පුරා විසිර සිටින අතර වර්ග 3,500කින් යුක්තය. මැලේරියා, චිකන්ගුන්යා, කහ උණ, ඩෙංගු සහ වෙනත් උණ වර්ග පැතිරවීමේ විශේෂඥයෙකු වන මදුරුවාගෙන්, දොස්තරවරුන්ට ද ගැලවීමක් නැත. කෙටි ජීවිත කාලයක් ගතකරන බැවින්දෝ මනුෂ්‍යයාගේ ද ජීවිතය කෙටි කිරීම (මදුරු ඩියුටිය) බවට පත්වී තිබේ.

මදුරුවා නිසා ජීවිතය ගොඩදාගන්නා මිනිසුන් ද නැතුවා නොවේ. මදුරු දැල්, මදුරු දඟර පමණක් නොව පැඟිරි තෙල් නිෂ්පාදකයෝ ද මදුරුවා “අදහති.” ගරු බුහුමන් කරති. අනාගතයේදී “මදුරු මිතුරු” හෝ මදුරු හිමිකම් සංවිධාන ද ඇතිවනු නැතැයි කාට කිව හැකිද? මදුරුවන් වටා ගෙතුණු සිනා කතාද බොහෝය. ඉන් ඉතා ජනප්‍රිය කතාවක් මෙසේය. මදුරුවෙක් උදෑසන ගෙදරින් පිටත්වීමට සැරසී “මැදිරියට” මෙසේ කීවේලු. “අත්පුඩි සද්දයක් ඇහුනොත් මට රෑ කෑම තියන්න එපා.”

මදුරුවා අකැමැතිම රට කියුබාවය. ඒ දේශපාලන හේතුවක් නිසා නොව, එරට මදුරු ව්‍යාප්තිය සමුලඝාතනය කොට වඳකර දැමීමය. මදුරුවෙකුට තවත් මදුරුවෙකු කුපිත කරවීමට අවශ්‍ය වූ විට මෙසේ අසයි. “යාළුවා කියුබාවට යන්ඩ ෆ්‍රී ටිකට් එකක් දෙන්ඩද?” එයින් කෝපවන මදුරුවා මැලේරියාව සෑදුනෙක් මෙන් වෙවුලන්නට වෙයි. එහෙයින් කියුබාව සම්බන්ධයෙන් අමෙරිකාවෙහිත් මදුරු ලොවෙහිත් විදේශ ප්‍රතිපත්තිය සමානය.

අමෙරිකාවේ ඉරිදා පාසලක පාඩමක් උගන්වමින් සිටි ගුරුවරයෙක් ලෝකයේ ඇති සියලුම දේ මිනිසාගේ ප්‍රයෝජනය පිණිස දෙවියන්වහන්සේ විසින් නිර්මාණය කළ බව කීය. ඒ ඇසූ යැංකි ඇම්ඩන් කෙනෙක් මෙසේ ප්‍රශ්න කළේය. “දෙවියන්වහන්සේ මදුරුවා නිර්මාණය කළේ මොකටද?”

♦ කපිල කුමාර කාලිංග