එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වූ බන්දුල ගුණවර්ධන මහතා කලක් අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. කලක් ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයන් අතර බන්දුල ගුණවර්ධනයන්ට හිමිවූයේ සුවිශේෂි තැනකි. ලංකාවේ ඇමැතිවරුන්ගේ දරුවන් ගැන මිනිසුන් අතර ඇත්තේ එතරම් සුභදායි පැහැදීමක් නොවේ. ඇමැතිවරුන්ගේ දරුවන් බොහෝමයක් තම දෙමව්පියන්ගේ බලය තම ඔළුවට ගෙන කටයුතු කරති. මේවාට හොඳම උදාහරණ පසුගිය වකවානුවලදී අපට අසන්නට දකින්නට ලැබුණි.
නමුත් බන්දුල ගුණවර්ධනගේ වැඩිමහල් පුතු වූ චතුර සහන් ගුණවර්ධන තම පියාගේ බලපුළුවන්කාරකම, වෘත්තීය ආයුධයක් කර නොගත්තේය. ඔහු ඉඩකඩම් බිස්නස් කළේ නැත. ඔහු පියාගේ මන්ත්‍රීකම උගසට තබා ජාවාරම් නොකළේය. කොටින්ම ඔහු පිරිස පිරිවරාගෙන මැරකම් කළේද නැත. සහන් පසු අතිශයින්ම සරල මේ පොළොවේ පය ගසා ජීවත්වන හිටපු ඇමැති පුතෙක් ලෙස හැඳින්වීම සාධාරණයැයි සිතේ.
මහ පාරේ දිවෙන සාමාන්‍ය පොදු බස් රථයේ ගොඩවැදී හිස්ව ඇති අසුනක වාඩි වී යන්නටත්, වාඩිවන්නට අසුනක් හිස්ව නොමැතිනම් සාමාන්‍ය මිනිසෙකු ලෙස සිටගෙන යන්නටත් ඔහු මැලි නොවන්නේය. ඒ විතරක් නොවේ දුප්පතාගේ හිතවතා වූ ත්‍රිරෝද රථයකට ගොඩවැදී තම අවශ්‍යතා අනුව ගමන්කර යන්නටත් සහන් කිසිවිටකත් මැලි නොවෙයි. එමෙන්ම සහන් යනු අපූරු ගොවි මහතෙකි. ඔහු තම ජීවිකාව ලෙසින් ගොවිකමට ඇළුම් කරන්නේය. විශේෂත්වය වන්නේ ඔහු සාමාන්‍ය ගොවි මහතෙකුද නොවේ. ඔහු මේ ගහකොළට ආදරේ කරනා වස විසෙන් තොර එළවළු පලතුරු වෙළෙඳපොළට ලබාදෙන ගොවිපොළක හිමිකරුවෙකි.
සහන් ගුණවර්ධන කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 1989 වසරේදී බන්දුල ගුණවර්ධන මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසෙද්දී සහන්ට වයස අවුරුදු දෙකකි. පාර්ලිමේන්තුවට පිවිසීමට පළමුව බන්දුල දක්ෂ ටියුෂන් ගුරුවරයෙකි. පියාගේ ටියුෂන් කලාව පිළිබඳව සහන්ට ඇත්තේ පුංචි මතකයක් පමණි. පසුකාලයේදී සහන් ආර්ථික විද්‍යා උපාධියක් ගත්තත් ජීවිතේ කිසිම කිසිදාක ගෙදර සිටිනා ප්‍රවීණ ටියුෂන් ගුරැවරයාගෙන් එකඳු ආර්ථික විද්‍යා පාඩමක් හදාරා තිබුණේ නැත.
කොළඹ රාජකීයය සහන්ගේ ජීවිතය ආලෝකමත් කළ තෝතැන්නක් විය. පාසල් වේදිකාවේදී සහන් සංගීතයට මනා ඇල්මක් දැක්වූවේය. සංගීත විශාරදය දක්වා ඉගෙන ගත් සහන්ට ගීත ගායනයටත් වයලිනය වාදනයටත් මනා කැමැත්තක් හා හැකියාවක් තිබූ අතර රාජකීය “සාගා” ප්‍රසංගය ආරම්භ වන්නේද සහන් ඇතුළු මිතුරන්ගේ කැපවීමෙනි.
කුඩාකල සිටම ඔහු පියාගේ ගුරු ජීවිතය අත්වින්දේය. පහුකාලයකදී ඔහු පියාගේ දේශපාලන ජීවිතයද හොඳාකාරවම දැන සිටියේය. නමුත් සහන්ගේ ජීවිතේ කොතනකවත් ගුරුවරයකු වන්නටවත් දේශපාලනවේදියෙකු වන්නටවත් හීන නොතිබිණි. ඔහු නිතර නිතර දේශපාලනඥයින් ඇසුරු කළද පෙළපාලි, රැස්වීම්වලට සහභාගි වුවද දේශපාලන මංමාවතේ කිසිදු දිනක පා නගන්නට නොසිතුවේය. කුඩා කල සිටම ඔහු සංගීතවේදියකු වන්නට හීන ඇහින්දේය.
පාසල් අධ්‍යාපනය හමාරකළ සහන් අමෙරිකාවට ගොස් ආර්ථික විද්‍යා උපාධියක් හැදෑරුවේය. නමුත් ඒ ඉගෙනගත්තු දෙයට හාත්පසින්ම වෙනස් වූ වෘත්තියක් සහන් පසුකාලීනව තෝරා ගත්තේය.
සහන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ වරක් තම පවුලේ අය සමඟ නිරත වු ඩුබායි සංචාරයයි. එහිදී ලංකාවේ සිට ආනයනය කරන ලද අන්නාසි, අඹ වැනි පළතුරු වලට ඩුබායි රටේ තියෙන ඉල්ලුම දැක සහන්ට පුදුම හිතුණි. ඔහුගේ මතකයේ එය තදින්ම කා වැඳුණි. ගොවිකම ගැන අපේකම ගැන සහන්ගේ හිතේ අලුත් අදහසක් දලුලා වැටුණේය. ඩුබායි රටේ සිට සහන් මෙරටට පැමිණියේ ගොවිකම ගැන තිබුණු අලුත් බලාපොරොත්තුවක් හිතේ ගොඩගසාගෙනය.
අද වෙද්දී සහන් වස විසෙන් තොර පළතුරු එළවළු වගාකරන ගොවි මහතෙකි. බණ්ඩාරවෙල, පොළොන්නරුව, නුවරඑළිය, පුත්තලම, අනුරාධපුරය, මොණරාගල, බිබිලේ වැනි ප්‍රදේශවල ගොවීන් හා එකතුව සහන් වස විසෙන් තොර එළවළු පළතුරු වගා කරයි. සහන්ටම අයත් වූ ගොවිපොළක් පොළොන්නරුවේ තිබේ. බණ්ඩාරවෙල, පුත්තලම, මොණරාගල, බිබිලේ, මාතලේ ප්‍රදේශවල සහන් විසින්ම තෝරාගත් ගොවිපොළවල්වල සහන්ගේ මූලිකත්වයෙන් ප්‍රමිතිය සොයාබලා ඒවායෙන් එන වස විසෙන් තොර ආහාරපාන ඔහුටම වෙන්වූ වෙළඳසැල් කරා ක්ෂණිකයෙන් යොමු කෙරේ. මේ නිසා පාරිභෝගිකයන් හට වස විසෙන් තොර පළතුරු, එළවළු ඇතුළු බෝගයන් පමණක් නොව නැවුම්භාවයෙන් යුත් හොඳ අස්වැන්නක්ද ලබාදීමට සහන් ඇතුළු පිරිසට හැකි වී ඇත.
මේ වෙනුවෙන් සහන්ගේ මවත් සහන්ගේ බිරිඳත් ඔහුට විශාල සහයෝගයක් ලබාදෙති. එමෙන්ම තම ගොවි පුතා ගැන බන්දුල ගුණවර්ධන පසුවන්නේද මහත් සතුටකි. එළවළු පළතුරු වලට අමතරව සහන් කිතුල්, මීපැණි, මීවද, ධාන්‍ය වර්ග, පහතරට බෝග, තල, හකුරු වැනිදේ වස විසෙන් තොරව පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරයි. මී පැණි සමඟ මී වද විකිණීමට තිබීඹට සුවිශේෂීත්වයකි. මුංඇට, කවුපි වැනි ධාන්‍ය වර්ග මොනරාගල බිබිලේ ගම් ප්‍රදේශවල වගා කරන අතර ඒවා සියල්ලම වසවිසෙන් තොරය. මාතලේ අනුරාධපුර, මොණරාගල, බිබිලේ ප්‍රදේශවලින් දේශීය සහල් වර්ග සහන් ඇතුළු කණ්ඩායම හරහා වෙළෙඳපොළට නිකුත් වේ. නාවලපිටියෙන් කිතුල් පැණිද, තෙලිජ්ජ වලපනේ, කොත්මලේ ප්‍රදේශවලින්ද එක්රැස් කරති.
මෙම වස විසෙන් තොර ආහාර පාන නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී, අතුරුගිරිය නගරයේදීත් මිලදී ගත හැකි අතර දේශීය පළතුරු වලින් පමණක් සාදන බීමහලක්ද බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් සාප්පු සංකීර්ණයට යාබදව සහන් පවත්වාගෙන යයි. එම පළතුරු බීම හලේ ඇපල්, දොඩම් බීම වෙනුවට ලංකාවේ ජම නාරං, කටු අනෝදා, කාමරංකා, අලිගැටපේර, අඹ, පැණි දොඩම් වැනි පලතුරුවලින් නිෂ්පාදනය කරන පළතුරු බීම වලින් සමන්විතය. මීට අතරව ලංකාවේ ස්ථාන කිහිපයක්ම සහන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් නිෂ්පාදනය කරන වස විසෙන් තොර දේශීය පළතුරු සහ එළවළු ඇතුළු නිෂ්පාදන වර්ග මිලදී ගැනීමට පුළුවනි.
සහන්ට තම මවගේත් පියාගේත් සහයෝගය මෙන්ම ඔහුගේ බිරිඳගේ සහයෝගයද උපරිමයෙන් ලැබෙන්නේය. ලක්ෂි සහ සහන්ගේ මුණගැසීමද දෛවෝපගතය.
සහන්ට 2005 වසරේදී ලක්ෂිව මුණගැසුණේය. දෙදෙනාම උසස් පෙළ කිරීමට එකම අමතර පන්තියට පැමිණියහ. තම පියාණන් රටේ බොහෝ දරු දැරියන්ගේ ආර්ථික විද්‍යා ඇඳුරුතුමා වූවාට සහන් ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට වෙනත් ගුරුතුමකු වෙත යොමුවිය. ලක්ෂිද එම අමතර පන්තියටම සහභාගි විය. දෙදෙනා අතර ආදරයක් ඇතිවිය. ඔවුන් වසර දොළහක් පුරාවට ආදරේ කළහ. නමුත් ඔවුන්ගේ මුණගැසීම මුලින්ම සිදුවූයේ දෛවෝපගත ලෙසය.
සහන් සහ ලක්ෂි මෙලොවට බිහිවූයේ එකම අවුරුද්දේ එකම මාසයේ එකම දිනයේදීය. ඒ විතරක් නොවේ ඔවුන් දෙදෙනා බිහිව ඇත්තේද එකම රෝහලේදීය. එදින උදේ සහන් මොලොව එළිය දුටු අතර ලක්ෂි සවස් කාලයේදී මෙලොව එළිය දුටුවාය. මේ නිසාම මොවුන්ගේ මුණගැසීම අපූරුය. වසර දොළහක ප්‍රේමණීය ආදරයකට පසුව 2016 දෙසැම්බර් මස 26 වැනිදා සහනුත් ලක්ෂිත් යුග දිවියට එළඹුණහ.
2014 වසරේ තම උසස් අධ්‍යාපනය අවසන් කොට ලංකාවට ආ සහන් මස හයක් හතරක් ලංකාව පුරාම සංචාරය කළේය. ඔහු ගොවියන් සමඟ බොහෝ දේ කතා කළේය. ඔවුන් ඇසුරු කළේය. අවසානයේදී රටේ හිටපු ඇමැතිවරයකුගේ පුතකු වු සහන් ගුණවර්ධන වස විසෙන් තොර දේශීය ආහාරපාන වලට වැඩි කැමැත්තක් දක්වන ගොවි මහතෙක් බවට පත්විය. දේශපාලනයට යොමු වන්නට අකැමැති සහන්ගේත් ලක්ෂිගේත් පුංචි ලෝකයට ළඟදීම පුංචි අමුත්තෙක් එන්නටද බලාගෙන සිටී.
♦ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ | සුමුදු හේවාපතිරණ