2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

කෝප් කමිටුවෙන් එළියට පනින ජල්තර

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 116

 

රාජ්‍ය ව්‍යවසාය වේගවත් වර්ධනයක් වුණේ 1977න් පසුවය. මේ නිසාම ඒවාට වාර්ෂික අයවැයෙන් වෙන්කරන මහජන මුදලේ පංගුව ද විශාල විය. මෙසේ විශාල වෙමින් වෙන්වන මහජන මුදල් අදාළ ආයතන අපේක්ෂිත අරමුණු වෙනුවෙන් ඇත්තටම වැයකරනවාද නැද්ද සොයාබැලීම පාර්ලිමේන්තුව සතු අයිතියකි. ඊටත් වඩා වගකීමකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වගකීමෙන් බැඳේ.

කෙසේ වෙතත් මේ පරීක්ෂාව කිරීම සඳහා සමස්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ම සහභාගී වීම ප‍්‍රායෝගික නැත. 1979 ජුනි 21 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කවුරුත් හොඳින් දන්නා කෝප් කමිටුව බිහිවන්නේ ඒ අනුවය. එවක් පටන් මේ දක්වා මේ රටේ මහජනයාගේ මුදල් රාජ්‍ය ව්‍යවසායන්හි මහජන අර්ථසිද්ධිය පිණිසම භාවිත වීදැයි සෙවීම කෝප් කමිටුව පිට පැටවී තිබේ. අමාත්‍යංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැර ආයතන 244 ක් කෝප් කමිටුවේ විෂය පථයට අයත්ය. 

කෝප් කමිටුව පසුගිය කාලයේ වැඩි අවධානයට යොමුවුණේ මහ බැංකුවේ බැඳුම්කර ප‍්‍රශ්නය නිසාය. එහෙත් ඒ නිසාම කෝප් කමිටුව වෙහෙස මහන්සි වී සෙවූ තවත් රාජ්‍ය ආයතන රැසක අයථා ගනුදෙනු ද අක‍්‍රමිකතා ද වංචා ද රැසක් පොදුජන කතාබහෙන් ඈත් විය. මෙසේ පළවන්නේ එසේ යටපත් වූ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යවසාය කීපයක බරපතළ ගැටලුය.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම

ආයතනයේ අවිධිමත් කාර්ය සාධනය මූලිකම ප‍්‍රශ්නය විය. බාහිර පාර්ශ්ව සමඟ ඇතිකරගත් ගිවිසුම්වල නිත්‍යනුකූලභාවය. (ඇව්න්ට්ගාඩ් මැරිටයිම් සමාගම සමඟ ඇති මෙහෙයුම් ව්‍යාපෘති හයක්) කෝප් කමිටුවේ ප‍්‍රශ්න කිරීමට ලක්විය. 

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමට ඇවන්ට්ගාඩ් සමාගෙමන් අයවිය යුතු රුපියල් මිලියන 255ක් කපාහැරීමට තීරණය කිරීම හා 2014 වන විට රක්නා ආරක්ෂක ලංකා සමාගමට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමෙන් ලැබිය යුතු මුදල් රුපියල් මිලියන 843ක් අයකරගැනීමට ගත් ක‍්‍රියාමාර්ගවල ප‍්‍රශ්නකාරී බව අනාවරණය විය. අවාසිදායක කොන්දේසි මත ලාභාංශ තීරණය කිරීම ගැනද කමිටුව ප‍්‍රශ්න කළ අතර එහිදී රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ශඛ්‍යතා වාර්තාවක් සිදුකර නොමැති බව ද එහිදී අනාවරණය විය.

ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල් මණ්ඩලය

ආයතනයේ ප‍්‍රධාන තනතුරු රැසක පුරප්පාඩු නිසා පරිපාලන ප‍්‍රශ්න රැසක් ඉස්මතුව තිබූ අතර වෘත්තිය ගාස්තු අයකිරීමේ වැරැදි ක‍්‍රමවේද නිසා රෝහලට ලැබිය යුතු ආදායමෙන් විශාල පංගුවක් අහිමි වී තිබිණ. 

නිර්වින්දන යන්ත‍්‍ර තුනක් දෝෂ සහගතයැයි දක්වා අපහරණය කර ඔස්ට්‍රේලියාවෙන් පරිත්‍යාග කිරීමට එකඟ වූ එවැනි යන්ත‍්‍ර හතරක් තිබියදී වෙනත් යන්ත‍්‍ර හතරක් රුපියල් 29,900,000 ක් වැයකොට මිලදී ගැනීම නිසා ආයතනයේ මිලදී ගැනීමේ මෙන්ම ඉවත්කිරීමේ ක‍්‍රියාවලියේ ද ගැටලු පවතින බව කමිටුවට පැහැදිලි විය. තවද ස්නායු ශල්‍ය ඒකකය සඳහා මිලදී ගත් ඖෂධ හා වෙනත් භාණ්ඩවලින් 80% ක් පමණ කල් ඉකුත් ව තිබිණ. 

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය

තැනැත්තන් පිළිබඳව තොරතුරු සොයාබැලීමට අත්‍යවශ්‍ය වන තොරතුරු පද්ධතියක් ආයතනය මගින් පවත්වාගෙන නොයෑමේ අඩුපාඩුව ප‍්‍රධාන ගැටලුවක් විය. 

අවම තරමින් සමාජ සේවා නිලධාරින් හෝ වැඩිහිටි ප‍්‍රවර්ධන නිලධාරින් මගින්වත් තොරතුරු එකතු කිරීම නිවැරැදිව කෙරී තිබුණේ නැත. තවද අයවැය යෝජනාවක් අනුව වැඩිහිටියන් වෙත ගෙවන ලද රුපියල් 2000 ක් වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100 ක් මුදල් අමාත්‍යංශ අවසරයවත් නොගෙන කප්පාදු කර එය සුබසාධන අරමුදලක් ලෙස පවත්වාගෙන යෑමට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය ගෙන තිබූ පියවර කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ අරමුණු ඉටුකිරීමේ කාර්යභාරයේ අඩුපාඩු දකින්නට ලැබීම තවත් කරුණකි. 

සීමාසහිත ශ‍්‍රීලංකන් ගුවන් සේවා සමාගම

දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති සමාගමකි. එසේ වීත් නව අධ්‍යක්ෂ මණ්ඩලයවත් එම තත්ත්වයෙන් සමාගම ගොඩගැනීම සඳහා නිසි පියවර ගෙන නොමැති බව කමිටුවේ මතය විය. සමාගම රජයට පවරා ගත් 2008 වර්ෂයේ සිට මේ දක්වා අවම වශයෙන් මෙහෙයුම් වියදම්වත් ආවරණය කරගැනීමට අසමත්ව තිබූ අතර එතැන් පටන් මේ දක්වා සමස්ත පාඩුව රුපියල් මිලියන 102,816 ක් විය. මීට පෙර සමාගමේ කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් බිලියන 143ක බැඳීම් මත ඒ 330 ගුවන් යානා හතක් සහ ඒ 350 ගුවන් යානා අටක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පූර්ව පිරිවැය ප‍්‍රතිලාභ අධ්‍යයනයකින් සහ තාක්ෂණික ඇගයීමකින් තොරව කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. ඒ අනුව ආර්ථිකයට මහා බරක් වූ මේ ගනුදෙනුව තවදුරටත් පවත්වාගෙන යා යුතු නැති බවත් අමාත්‍යංශ මට්ටමින් ඒ ගැන තීරණයක් ගත යුතු බවත් කමිටුවේ තීරණය විය.  

තවද සමාගම වෙතින් සේවය ලබාගත් ආයතනවලින් ලැබිය යුතු රුපියල් 150,335877ක මුදලක් ද සමාගමට ඒ වනවිටත් ලැබී තිබුණේ නැත. මේ අතර සමගමේ ප‍්‍රතිව්‍යුහගත කිරීම් ආරම්භ කිරීමටත් පෙර අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟත්වයකින් තොරව රුපියල් මිලියන තුනකට ආසන්න වැටුප් හා වෙනත් දීමනා ලබා දෙමින් වයස අවුරුදු හැටද ඉක්මවූ සිවා රාමචන්ද්‍රන් නමැත්තෙකු ප‍්‍රධාන වාණිජ නිලධාරියකු හැටියට පත්කිරීම කමිටුවෙන් ප‍්‍රශ්න කෙරුණු අතර සමාගමේ සභාපතිවරයා හා ප‍්‍රධාන විධායක නිලධාරියා එහි වගකීම සම්පූර්ණයෙන් බාරගත්තේය. 

ලංකා බැංකුව

ගනුදෙනුකරුවන් දහ දෙනකුගෙන් ලැබිය යුතු රුපියල් මිලියන 322ක අක‍්‍රීය ණය අයකරගැනීමේ ප‍්‍රමාදයක් සහ ක‍්‍රමවේදයේ අඩුපාඩුවක් පැවැතීම කමිටුවේ මූලික නිරීක්ෂණයක් විය. 

තවද දිගින් දිගටම පාඩු ලබමින් ලන්ඩන් නගරයේ සහ අවදානමක් සහිතව සීෂෙල්ස් නගරයේ විදෙස් ශාඛා පවත්වාගෙන යෑමත් බඳවාගැනීම පටිපාටි උල්ලංඝනය කරමින් කළමනාකරණ අභ්‍යාසලාභීන් 200 ක් බඳවාගැනීමත් කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. 

එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම

විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීමේ පද්ධතිය සඳහා ට‍්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය අරමුණු කරගනිමින් පිහිටු වූ ලංකා විදුලි බල මණ්ඩලයෙහි උප සමාගමකි. එල්.ටී.එල් සමාගම සහ එම සමාගම යටතේ ඇති උපසමාගම් පාර්ලිමේන්තුවට වගකීමට ඇති බලවත් නොකැමැත්ත. ලැබෙන ලාභාංශවලින් වැඩි ප‍්‍රමාණයක් උපසමාගම්වල රඳවාගැනීම හා ලංකා විදුලිබල මණ්ඩලයට නිෂ්පාදන වියදම තීරණය කිරීමට ඇති හැකියාව සීමිත වීම. 

විදුලිබල මණ්ඩලය යටතේ ඇති උපපාලිත සමාගම් පිහිටුවා ඇති පදනම ගැන කමිටුවේ දැඩි නොසතුට පළවිය. සමාගමේ උපසමාගම්වල ගිණුම් වාර්තාවල විනිවිදභාවය සම්බන්ධ ගැටලු කමිටුව පෙන්වා දුන් අතර විනිවිදභාවයකින් යුතුව ඉදිරියේදී කටයුතු කිරීමට සමාගම පාලනාධිකාරිය එකඟව තිබිණ. 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

සාම්පල් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් නොතිබීම නිසා ජනතාවට කල් ඉකුත් වූ සහ භාවිතයට නුසුදුසු ඖෂධ ලැබීමේ හැකියාව වැඩි බව කමිටුවේ මූලික නිරීක්ෂණයක් විය.

තවද තත්ත්වයෙන් අසමත් වීම හා කල් ඉකුත්වීම යන හේතු නිසා රුපියල් මිලියන 214ක් වටිනා ඖෂධ 2014 දී විනාශ කරන්නට සංස්ථාවට සිදුව තිබිණ. තවත් බරපතළ කරුණක් වූයේ 1996 සිට 2014 දක්වා කාලයේදී ඔසුසල් මඟින් අලෙවි කිරීම සඳහා මිලදීගෙන තිබුණු ඖෂධවලින් 2014 දෙසැම්බර් 31 වැනි දිනට අසමත් වී තිබුණු ඖෂධවල වටිනාකම රුපියල් 198999856ක් වුවද භෞතික තොග සත්‍යාපනය අනුව (ඇත්තටම ඇති ප‍්‍රමාණය) එහි වටිනාකම රුපියල් 134392373ක් බව හෙළිව තිබීමයි. එනම් රුපියල් 64607483ක වටිනාකම් ඇති ඖෂධ තොගයක් අතුරුදහන්ය. 

එහි සරල අර්ථය නම් භාවිතයට නුසුදුසු එවන් වටිනාකමින් යුතු ඖෂධ තොගය වෙළෙඳපොළට නිකුත්වීමය. මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් කර වැරුදිකරුවන්ට දඬුවම් දෙන බවට අමාත්‍යංශය සහතික වී තිබිණි. මේ අතර තත්ත්වයෙන් අසමත් වී තිබුණු ඖෂධ සඳහා රුපියල් මිලියන 240ක් සැපයුම්කරුවන්ගෙන් අයකර නොගැනීම නිසාද පාඩුවක් සිදුව තිබිණ. 

ලංකා විදුලිබල මණ්ඩලය

විදුලි ඒකකයට වැය වන මුදල රුපියල් 4ක්ව තිබියදී විදුලි ඒකකයක් සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවීම.
ඒකකයක් රුපියල් 35ත් 40 ත් අතර වැඩි මුදලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට යොමුවීම. පරිපාලන වියදම් අධික වීම. විදුලිබල මණ්ඩලය යටතේ ක‍්‍රියාත්මක වන පරිපාලිත හා උපපරිපාලිත සමාගම්වල අත්තනෝමතික ක‍්‍රියාකලාපය සහ එම සමාගම් විදුලිබල මණ්ඩලයට වග නොකියන තත්ත්වය. මෑතකදී මුළු දිවයිනටම බලපාන අයුරින් අවස්ථා තුනකදී විදුලිය බිඳවැටීම.

 

♦ පවන් දේවරාජ්

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00