නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී
සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ
මැණික් කරඬු දෙතනේ රන් කිරි පිරුණේ
අඳුන් තෙලින් නෑවෙන වද මල් යහනේ
ඔවුන් අතින් මෝරන දරු ගැබ බිඳුණේ
රිදී කඳුළුමයි රන් කොතලෙට පිරුණේ
මහමායාවරුන් ඇයි මහ මඟ පිපුණේ
වදා පලක් නැත බෝසත්වරු සොහොනේ
අපාගත නොවව් තනිවම මවුවරුනේ
♦ කුමාර හෙට්ටිආරච්චි
රුවන් සක්මන (1988) පද්‍ය සංගහයෙනි.