අනූව දශකයේදී හුදෙක් ඇමතුම් ලබාගැනීමට පමණක් සීමාවූ ගඩොල් බාගයක් තරම් ජංගම දුරකතනය අදවන විට කලිසම් සාක්කුවේ දමාගෙන යන කුඩා පරිගණකයක් බවට පත්ව තිබේ. ස්මාට් ෆෝන් ලෙස හඳුන්වන මේ ජංගම දුරකතන වේගයෙන් ඉදිරියට යන ලෝකයේ වේගය තීරණය කරන ප්‍රධානම අයිතමයයැයි කීමෙහිද වරදක් නැත්තේ, පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතය හා එය බැඳී තිබෙන ආකාරය දෙස බැලීමේදීය.
ස්මාට් දුරකතන ගැන කතාකිරීමේදී එහි වැදගත්කම වැඩිවී ඇත්තේ සමාජ ජාල වෙත ප්රවේශවීමට ඉන් ලැබෙන සහාය නිසාවෙනි. ස්මාට් දුරකතන නිසාවෙන්ම ෆේස්බුක්, ට්විටර්, යූ ටියුබ්, ස්කයිප්, ඉන්ස්ටර්ග්‍රෑම් ආදී සමාජ ජාලාවන්හි භාවිතය වේගයෙන් ඉහළ ගොස් තිබේ. පරිගණකයක් ඉදිරියේ හිඳිමින් සමාජ ජාලා සැරිසැරුමකට වඩා යමින් එමින් ගමන් ස්මාට් ෆෝන් එකක් හරහා එම අවශ්‍යතා ඉටුකරගැනීමට බොහෝ දෙනා පෙළඹී සිටිති. එමෙන්ම විවිධ මොබයිල් යෙදවුම් එසේත් නැතිනම් ඇප්ස් නිසා ද ස්මාට් දුරකතන භාවිතය ජනප්‍රිය වී තිබේ.
කෙසේ නමුත් ඕනෑම දේක යහපත් මෙන්ම අයහපත් පැත්තක්ද ඇති බව මෙතැන්හිදී ද මතුවන්නකි. ස්මාට් දුරකතනය හරහා ස්මාට් ලෝකයකට මඟපෑදී තිබුණද ඒ හරහා සිදුවන අයහපත් දෑ ද නැතුවාම නොවේ.
මූලිකවම ස්මාට් ෆොන් භාවිතය යනු ඇබ්බැහියකි. පොත පතට ඇබ්බැහිවූවන් ට පොත් ගුල්ලන් කියන්නාක් මෙන් ස්මාට් දුරකතන නිසා ෆෝන් ගුල්ලන් බිහිව තිබේ. එය ඇබ්බැහියක් හා යම් අයුරින් හානි දායකවන්නේ, එය කෙරෙහි වුවමනාවට වඩා වැඩි ප්‍රමුඛතාවක් බිහිව තිබීමය.
මෑතකදී කෙරුණු සමීක්ෂණයකදී හෙළිව තිබුණේ, සෑම පස්දෙනකුගෙන් තිදෙනකුට මිනිත්තු 60ක් ඇතුළත එක්වරක් හෝ තම ස්මාට් දුරකතනය ඔබා බැලීමේ පුරුද්දක් ඇති බව ය. තවත් අපූරු විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළිව ඇති කරුණක් වන්නේ, ස්මාට් දුරකතනයක් භාවිත කරන්නකුගේ දුරකතනය නාදවීමකදී හෝ බීප් හඬ නැගීමේදී ඔවුන්ගේ මොළය තුළ සතුට උත්පාදනය කරන රසායනික විපර්යාසයක් සිදුවන බවය. මෙම විපර්යාසය මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට මත්වීම ලබාදෙන රසායනික විපර්යාසය ලෙස ද සැලකේ.
2011 වසරේදී රටවල් 10ක විශ්ව විද්‍යාල සිසුන් 1000කගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු සමීක්ෂණයකදී එම සිසුන්ට පැය විසි හතරක කාලයක් තම ස්මාට් දුරකතනය භාවිතයෙන් වැළකී සිටින ලෙස උපදෙස් දී තිබුණි. පැය විසි හතරක් අවසානයේදී ලැබුණු ප්‍රතිඵලය වූයේ බහුතරයක් සිසුන් දැඩි මානසික ආතතියට ලක්ව සිටීමය. එය ඔවුන්ට මානසික පමණක් නොව ශාරීරික පීඩාවක් ලෙසද දැනී තිබුණි.
මේ අතර බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයක් හඳුනාගෙන තිබුණේ, ස්මාට් දුරකතන භාවිතය නිසාවෙන් තරුණ තරුණියන්ට කොන්දේ ආබාධ වැළඳීමේ විශාල අවදානමක් ද පවතින බව ය. 2015 පැවැති සමීක්ෂණයකදී හෙළිව තිබුණේ වයස අවුරැදු 16ත් 24ත් අතර පිරිසගෙන් සියයට 40ක් (බ්‍රිතාන්‍යයේ) පමණ ස්මාට් දුරකතන භාවිතය නිසා කොන්දේ ආබාධයන්ට ලක්ව සිටි බවය. මේ තත්ත්වය බොහෝ දුරට සිදුවන්නේ ස්මාට් ෆෝනය දෙසට හිස නැඹුරු කරගෙන සිටීම නිසාය. දවසේ වැඩි වෙලාවක් පහතට හිස නමාගෙන ස්මාට් දුරකතනය දෙස බලා සිටීම නිසා හිසෙහි බර කශේරුකාවට දැරීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වේ. මෙය දිගුකාලීන කොන්දේ ආබාධයන්ට හේතුවන බව එහිදී හඳුනා ගෙන තිබුණි.
අනෙක් අතට ස්මාට් ෆොන් භාවිතයේ ඇති තවත් අහිතකර තත්ත්වයක් වන්නේ තරුණ පරපුර ඩිජිටල් ලෝකය තුළ පමණක් එකිනෙකා හා සම්බන්ධතා පවත්වන මුහුණට මුහුණලා සුහදව කටයුතු කිරීමේ නොහැකියාවෙන් පෙළෙන පිරිසක් බවට පත්වීමය. සමවයස් මිතුරන් සමඟ ගැවසෙමින් කටයුතු කිරීමේ සමාජශීලී පැවැත්මක් ඔවුන්ට ලැබීම සීමා වන අතර එය පසුකාලීන රැකියා ලෝකයට එකතුවීමේදී විවිධ ප්‍රශ්න මතු කරන්නකි.
තරුණ පරම්පරාව වැඩි කාලයක් මෙසේ ඩිජිටල් ලෝකයක් තුළ ගතකිරීමට මිඩංගු කරන නිසාවෙන් පැහැදිලිවම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් මතුවේ. වත්තේ පිටියේ ඇවිදින්නට, ව්‍යායාමයක් කිරීමට මේ නිසා ඔවුන් පෙළෙඹෙන්නේ කලාතුරකිනි. ඔවුන්ගේ ලෝකය ඇත්තේ නිවසේ වත්ත පිටියේ පාසලේ, විශ්ව විද්‍යාලයේ හෝ රැකියා ස්ථානයේ නොව ස්මාට් දුරකතන තිරය තුළය.
ස්මාට් දුරකතන ඇබ්බැහිය නිසාවෙන් අද බොහෝ දෙනා හුරුව තිබෙන්නේ රැයෙහි නින්දට යනවිටත් ස්මාට් දුරකතනයක් තුරුලු කරගෙන නින්දට යෑමටය. මෙය ද අතිශය භයානක පුරුද්දක් වන්නේ එය දීර්ඝකාලීනව නින්දට බලපෑම් ඇති කරන බැවිනි. සාමාන්‍යයෙන් නින්ද මිනිසාට අවශ්‍ය වන්නේ දිවා කාලය තුළ වැඩ කිරීමෙන් වෙහෙසෙන ශරීරයට මෙන්ම මනසට ද විවේකයක් අවැසි නිසාය. එහෙත් ස්මාට් දුරකතනය ඇඳේ තබාගැනීමෙන් පූර්ණ නින්දක් ලබාගත නොහැකි වේ. මේ තත්ත්වය මානසික මෙන්ම ශාරීරිකව ද පීඩාකාරී වන්නකි.
එසේම ස්මාට් දුරකතනය ඇතැමුන්ගේ විවාහ ජීවිතවලටද දැඩි බලපෑම් එල්ල කරන අවදානම් සාධකයක් වී තිබේ. විශේෂයෙන් අලුත් යුගයේ සැමියන් බිරියන්ගෙන්ද බිරියන් සැමියන්ගෙන්ද ඈත් කිරීමට ස්මාට් දුරකතනවලට අධික ලෙස ඇබ්බැහිවීම හේතුවක් බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ. විවාහ දිවියක තිබිය යුතු අන්‍යෝන්‍ය බැඳීම, සමීප ඇසුර පමණක් නොව ආදරණීය කතාබහ පවා ස්මාට් දුරකතනය හේතුවෙන් සමහරු අහිමි කරගෙන සිටිති.
ස්මාට් දුරකතනයෙන් ඇතිවන නරක තත්ත්වයන් තවත් තිබේ. ඉන් ප්‍රධාන එකක් වන්නේ ඇස් පෙනීමට ඇති වන බලපෑමයි. අද බොහෝ තරුණ තරුණියන් රැකියා කරන්නේ පරිගණයක් ඉදිරියේ ය. එසේ රැකියාවේ නිරත ඔවුන් තමන්ට ලැබෙන විවේක කාලය වුවද ගත කරන්නේ ස්මාට් දුරකතනය ඉදිරියේ ය. මෙනිසා දිගින් දිගටම ඩිජිටල් තිරයක් දෙස බලාසිටීමෙන් ඇස් අධික වියළීමකට පත්ව පෙනීමට දැඩි හානි ඇතිවිය හැක.
ඇස් පෙනීමට සේම කන් ඇසීමටද ස්මාට් ෆොන් හානි ගෙනදේ. විශේෂයෙන් අධික ශබ්දයෙන් සංගීතය ශ්‍රවණය කිරීමෙන් කන් ඇසීමේ දුර්වලතා හටගන්නා බව පර්යේෂණ වලින් හෙළි ව තිබේ.
ස්මාට් ෆෝන් යනු බැහැර කළ යුතු දෙයකැයි කීම මේ ලිපියෙන් කිසි ලෙසකින්වත් අරමුණු නොවේ. මන්ද එසේ කිරීම ප්‍රායෝගික නොවන්නක් බව බැවිනි. එමෙන්ම ස්මාට් දුරකතන යනු යුගයේ අවශ්‍යතාවයකි. නමුත් එය භාවිතයේදී අප ප්‍රවේශම් විය යුත්තේ, ඉන් ලැබෙන දැනුමට හෝ තාවකාලික වින්දනයකට වඩා දීර්ඝකාලීන විපතක් ද එමගින් සිදුවීමට ඉඩ ඇති හෙයිනි.
♦ රජිත ජාගොඩ ආරච්චි