රිදීගම හා දඹුල්ල අතර පිහිටා තිබෙන මහවෙල ප්‍රදේශය කියන්නේ සුන්දර වෙල්යාය රැසක් වගේම මාතලේ කඳු පන්තියේ දර්ශනීය බව ඇතුළු ගැමි ජීවිතයේ අපූර්වත්වය කැටිකරගත් ඉසව්වක්. මහවෙල පාරදෙක ගම්මානයේ පිහිටලා තිබෙන ඩයමන්ඩ් හිල්ස් විලා හෝටලය මේ සුන්දරත්වය විඳින්න තිබෙන හොඳම ස්ථානයක් කිව්වොත් නිවැරදියි.
ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන ශාර්මිනි දියමන්ති සෙනෙවිරත්නට අයිති මේ හෝටලය නම් කර තිබෙන්නේත් ඇගේ නමිනුයි. සොබාදහමට වඩාත් සමීප වුණු නිවාඩුවක් ගත කරන්න ඩයමන්ඩ් හිල්ස් විලා වඩාත් ගැලපෙනවා.
මේ හුරුබුහුටි හෝටලයේ ඇත්තේ කාමර තුනක් පමණයි. ඉන් දෙකක්ම මාතලේ කඳු පන්තිය දෙසටත් අනෙක් කාමරය හෝටල් ගෙවත්ත දෙසටත් මුහුණලා තිබෙනවා. ඒ අනුව හෝටලයේ උපරිම සංචාරක ධාරිතාව 12ක්. මේ කාමර සියල්ලක්ම හොඳින් ඉඩකඩ තිබෙන ආකාරයට අලංකාරයෙන් අනූනයි. මේ සියලු කාමර වායු සමනය කරන ලද ඒවා වන අතරම උණු සහ ශීතල ජලය, ටී.වී. වයිෆයි, තේ හා කෝපි පිළියෙල කිරීමේ පහසුකම් ආදියත් ඒවායේ දකින්න පුළුවන්.
ශාර්මිනි පවසන ආකාරයට ඩයමන්ඩ් හිල්ස් විලා හෝටලයේ පවතින රෝමාන්තික වටපිටාවට අමතරව එහි කෑම බීමත් බොහෝ දෙනකුගේ ඇගැයීමට ලක්වෙනවා. සියලු ඉවුම් පිහුම් කටයුතු කරන්නේ හෝටලය බලා කියා ගැනීමට එහි නැවතී සිටින කුමාර සහ ලලිතා යුවලයි. සැබෑම ශ්‍රී ලාංකික ආහාර රසයන් ඉස්මතුවන ආකාරයට අමුත්තන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීමට ඔවුන් නිතරම උනන්දු වෙනවා.
හෝටලය ප්‍රමාණයෙන් කුඩා වුණත් බොහෝ පහසුකම් එහි දකින්න පුළුවන්. කඳු පෙළ දෙසට වන්නට තැනුණු පිහිනුම් තටාකයත් කුළුබඩු උද්‍යානයත් ඒ අතුරින් විශේෂයි.
හෝටලය අවට ප්‍රදේශයේ ඇවිදින්න යන එක වගේම හෝටල් ගෙවත්තෙන් පළතුරු හා එළවළු නෙලා ගැනීමට යාම, දේශීය ආහාර පිළියෙල කිරීම ආදී ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් මෙහිදී පුළුවන්. කුරුලු වර්ග 50ක් විතර මේ අවටදී නිරීක්ෂණය කරන්නත් ලැබෙනවා.
මෙතැන ඉඳන් දඹුල්ල හා සීගිරිය කියන ලෝක උරැම ස්ථානයන් කරා පහසුවෙන් ළඟා වෙන්නත් කවටයාමුණ පන්සල, මාතලේ අළු විහාරය, මොනරවිල කැප්පෙටිපොළ මහ වලව්ව, වහකෝට්ටේ පල්ලිය හා පැරැණි රිදී විහාරය වැනි ස්ථාන කරා යන්නත් හැකියාව තිබෙනවා.
I සනත් වීරසූරිය