2017 ජුලි 29 වන සෙනසුරාදා

අලුත් නීති පැනවෙයි!

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

2017 ජූලි මස 26 වන දින සවස පහ පසුවී විනාඩි අටට සිකුරු ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ බුධට හිමි මිථුන රාශියට පිවිසේ. මිථුන රාශියෙහි අඟහරුට අයත් වූ මුවසිරස නැකතේ තුන්වන හතරවන පාදවලත් රාහුට අයත් වූ අද නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලින් ගමනින් 2017 අගෝස්තු මස 21 වන සඳුදින උදේ දහය පසුවී විනාඩි පනස් දෙක දක්වාම ගමන් කරනු ඇත. 

අප රට කෙරෙහි අවධානය යොමුකිරී‍මේදී දූ දරුවන් වෙනුවෙන් මෙන්ම කාන්තාවන්ගේ සුබ සිද්ධිය දියුණුව වෙනුවෙන් රජය විසින් යම්යම් ක්‍රියාමාර්ග ගනු ලබන කාල වකවානුවක් වනු ඇත. විශේෂයෙන් නව නීති පනත් ක්‍රියාවට නංවනු ඇත. අපරාධවලට හේතු වූ නඩු බහුල වන වකවානුවකි. රට තුළ වැඩි වශයෙන් මංගල කටයුතු යෙදෙන කාල වකවානුවක් වන අතර බිළිඳු උපත් ද වැඩි වශයෙන් සිදුවන්නාවූත් වකවානුවක් වේ. කාන්තා හිංසන ක්‍රියාවන් වාර්තා වේ. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයට මහජන අප්‍රසාදය ඇතිවන අතර පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මහජනයා කලකිරීමට පත්වනු ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී මහජනයා අතර අසත්‍ය පුවත් ප්‍රචලිත වීම හේතුවෙන් යම් යම් අර්බුද උද්ගතවේ. දුම්රිය අනතුරක් වාර්තාවනු ඇත. ප්‍රසිද්ධ කලා ශිල්පියෙකුගේ විශේෂයෙන් චිත්‍ර හෝ ගායන, රංගන කේෂත්‍රවල නියැලි අයකුට මාරක අපලයක් ඵලදෙනවා ඇත. ආගමික නායකයෙකුට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමක් ද වාර්තා වන වකවානුවක් වේ.

මේෂ - ආදර ගෞරව 

ඔබට යහපත් ඵල අත්වනු ඇත. අන් අයගේ ආදරයට ගෞරවයට ලක්වනු ඇත. යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වේ. අලුත් හිත මිතුරන් හඳුනාගැනීමට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයටද යහපත් ඵල ලැබෙන ආර්ථික වාසිද හිමිවනු ඇත. 

වෘෂභ - පැසසුමට ලක්වේ

ඔබටද යහපත් ඵල අත්වෙනු ඇත. ඔබ අන් අයගේ පැසසුමට ලක්වනු ඇත. ඉතිරිකර ගැනීමට බාධා මතු වේ. යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවන් ඇති කෙරේ. පවුල් සමගිය වර්ධනය වනු ඇත.

මිථුන - මංගල යෝජනා

කලා කටයුතුවල නිරතවී සිටින අයට යහපත් ඵල අත්වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඇතිවනු ඇත. හවුල් කටයුතු ආරම්භ කිරීමටත් නව ව්‍යාපාර ආරම්භ කිරීමටත් යහපත් කාල වකවානුවක් වේ.


කටක - ලැබීම්වලට අවහිර

ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා කිරීම් ඇතිවේ. ලැබීම් මාර්ගවලට අවහිරකම් ඇතිවනු ඇත. දුර ගමනක්, විදේශ ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉෂ්ඨකරගතහැකි වේ.


සිංහ - අලුත් මිතුරන්

නිරන්තරයෙන්ම සතුටින් සිටීමට උත්සහ දරන වකවානුවක් වේ. අලුත‍් හිතමිතුරන් තම ඇසුරට ලැබෙනු ඇත. විශාල අන්දමේ මුදල් යොදවා කටයුතු කිරීමට සුදුසු නැති වකවානුවකි. කලා ක්ෂේත්‍රයේ නියුතු අයට යහපත් වනු ඇත. 


කන්‍යා - දේපල හිමිවේ

තම මතයට අනුව කටයුතු කරන කාල වකවානුවක් වේ. අන් අයගේ ගෞරවයට පත්වනු ඇත. උරුම හිමිකම් ලබාගැනීමට හෝ නව දේපලක් මිලදී ගැනීමට හෝ යහපත් වන්නාවූත් කාලවකවානුවක් වේ.

තුලා - කෙටි ගමන්

ඔබගේ කටයුතුවලටද යහපත් ඵල අත්වන අතර තමන් අදහන ආගමට ලැදිව කටයුතු කරන්නාවූ කාලවකවානුවක් වේ. කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වේ.

වෘෂ්චික - තැන්පත් ධනය වැය

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවධ පාර්ශවවලින් බාධා කිරීම් ඇති කරනු ඇත. තැන්පත් ධනය වියදම් වියහැකි බැවින් කල්පනාකාරීව මුදල් සම්බන්ධ කටයුතු කරන්න. 

ධනු - නව ආයෝජන

ඔබට යහපත් ඵල අත්වනු ඇත. විශේෂයෙන් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින අයට ලාභ ලැබේ. අලුතෙන් ආයෝජන කටයුතු සිදුකිරීමට සහ ව්‍යාපාර ඇරඹීමට ශුභ වකවානුවක් වේ. ඔබගේ හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වන්නාවූත් අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත්වන්නාවූත් වකවානුවකි.

මකර - රැකියා වෙනසක්

රැකියාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේ. තමාගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවන් ඇතිකරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අය ඒවායින් බැහැර වනු ඇත.

කුම්භ - නව නිර්මාණ

ඔබට යහපත් ඵල ලැබේ. කලා කටයුතුවල නිරත වී සිටින අයට වඩාත් යහපත්ය. නව නිර්මාණ කිරීමට හැකියාව ලැබෙනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය ලැබෙන අතර අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමට අවකාශ ලැබෙනු ඇත.

මීන - ගැටලු නිමවේ

ඔබට යහපත් ඵල අත්වන අතර ඉඩකඩම් ආශ්‍රිත ප්‍රශ්න තිබුනේනම් ඒවා මගහැරී යන වකවානුවකි. නව දේපලක් මිලදී ගැනීමට ද යහපත්ය. සිතේ ගැටලු මගහැරී යන අතර යම් යම් අය විසින් තමාට එරෙහිව කටයුතු කිරීම්ද සිදුවනු ඇත. 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 

  

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00