2017 ජුලි 29 වන සෙනසුරාදා

අපායට සංචාරයක්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

ජීවිතය පිළිබඳව කලකිරුණු රජ කෙනෙක්, වෙස් වලාගෙන මාළිගයෙන් පිටමං වුණේය. 

කඳුකර පෙදෙසක ඇවිද යන ඔහු, ගසක් මුල හිඳ වස්දඬුවක් වයමින් සිටිය ගොපලු තරුණයෙකු දැක ඔහු හා කතාවට වැටුණේය.

යාළුවා. ඔබ වස්දඬුව වාදනය කරන්නේ හරිම සතුටින්. හරියට ඔබට රාජධානියක්ම අයිතිවෙලා වගේ ආ...?

ඒ ඇසූ තරුණයා සිනාසුණේය.

හපොයි! මම මොන පවක් කරල තිබුණත් මට රාජධානියක් නම් බාරදෙන්න එපා කියල මම දෙවියන්ගෙන් ඉල්ලනවා.

ඇයි ඔබ රාජධානියක් අයිතිවෙනවට ඔය තරම්  අකමැති.

රාජධානියක් නැතිතාක් කල් මිනිහෙක් රජෙක් වගේ! රාජධානියක් අයිතිවුණු ගමන් ඔහු එහි වහලෙක් වෙනවා. තරුණයා හා වැඩිදුරටත් කතා කරනු රිසිවූ රජතුමා ඔහු අසලින් හිඳගත්තේය.

බැරිවෙලාවත්, ඔබට රජකම හිමිවෙලා හිසට ඔටුන්නක් පැළැන්දුවොත් ඔබ ඊට විරුද්ධ වෙනවද?

නැතුව! මේ නිදහසේ තියෙන මගේ හිසට අමුතු බරක් පටවගන්නෙ මොන පිස්සුවකටද මොන මිනිහද කැමති යන යන තැන හිස මත ගල් ටිකක් පටවන් යන්ඩ.

තරුණයා සිනාසී වස්දඬුව අතට ගත්තේය. 

ඉහත කතාව මට කියවන්නට ලැබුණේ රාජ්නිශ් හෙවත් ඕෂෝගේ කෘතියකිනි.

රජවරුන් පොඩි මිනිසුන්ගෙන් පාඩම් උගත් කතා ජනප්‍රවාදයෙහි බොහෝ ඇතත්, ඒවා ක්‍රියාත්මක කෙරුණු බවක් නම් පෙනෙන්නට නැත.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම පිහිටුවා ගත් පසු රජවරු අසුනින් විසිවුණි. එහෙත් අගමැති - ජනාධිපතිවරු පවා රජකමට පත්කරන්නට සාමාන්‍ය මිනිස්සු කැමතිය. ශ්‍රී ලංකාවේද ඒ සඳහා පහසු නිදර්ශන ඇත. සැබෑ රජවරු නොවන රජවරුද, රට වැසියන්ගේ ඒ අහිංසක කැමැත්ත ඉවසති. සමහර විට ඒ කැමැත්තෙන් වාසි ගෙන රජ පාට් දමති. පුත් කුමාරවරුන්ටත් රජකම දීමට සැරසෙති. ඇමැතිකම් ලබාදී උනට යුව රජ යැයි කියවති. ගෙල ගසාගැනීමට අකැමැති ඇමැත්තෝද රජුට මෙන්ම යුව රජුටද බියවෙති. හිස නමති.

පුත් කුමරුන් නැති රජවරු එයින් වාසිගෙන මට කිරුළු පළඳන්නට දරුමල්ලන් නැතැයි කියා සිටිති. එහෙත් ආර්යාව, සියතින්ම ඔටුණු පැළඳ ගනී.

ලංකාවේ සිටි එක් ජනාධිපතිවරයෙක් නිතරම ප්‍රජාතන්ත්‍රවාදයේ අගය ගැන කතා කළේය. එහෙත් ඔහු වටා සිටි ඇම්බැට්ටයෝ ඔහුටද රජෙකුට සේ අමතන්නටත්, සලකන්නටත් පටන් ගත්හ. ඒ අනුව ජනාධිපතිතුමා, ජනාධිපති උතුමාණන් විය. ටික කලක් යද්දී උතුමාණන් උතුමාණන්වහන්සේ බවට පත්විය. ජනමාධ්‍යයන්හි පවා එසේ ප්‍රචාරය වෙද්දී පොදු ජනයා බලාසිටියේ මේ මොන විගඩමක්දැයි සිතමිනි.

ඒ කාලේ සිටි කොන්ද පණ ඇති පුවත්පත් කතුවරයෙකුට මේ ආමන්ත්‍රණය රිස්සුවේ නැත. ඔහු තම පුවත්පතින් ජනාධිපතිට වහන්සේ යැයි අමතන්නට පටන් ගත්තේ උතුමාණන් කෑල්ලද හළමිනි. මේ සියුම් සරදම නිසා වහන්සේ යැයි කියමින් රාජපක්ෂික භාවය පෙන්වන්නට ගිය මෝල්වහන්සේලාද පසුබැස්සාහ.

රාජ ඌෂ්ණය යනු අපේ වහරේ එන හොඳ යෙදුමකි. රාජ ඌෂ්ණය වදින්නේ, රජුන්ගේ ළඟින් ආශ්‍රය කරන අයටය. එවැන්නෝ රජුටත් වඩා රජපාට් දමති. වැසියෝ පෙළති. රජුට කෙළවූ පසු රාජ ඌෂ්ණය වැදී සිටියවුන් ගිලෙන නැවෙන් පලා යන මීයන් මෙන් පණ බේරා ගන්නට තැත් කරති. බොහෝ විට සිදුවනුයේ අලුත පත්වන රජාටද ළංවීමය. රජවරුද එහෙයියන්ට හරි කැමතිය. එහෙයින් බොහෝ එහෙයියන්ට සීතල නොවී රාජ ඌෂ්ණය රැකගෙන දෙවෙනි ඉනිමක් ගැසීමට ඉඩ සැලසෙයි.

රජකම අහිමිවන හැම රජෙක්ම වාගේ උත්සාහ කරන්නේ අලුත් රජාට ගේමක් දී යළි සිහසුනේ හිඳගැනීමටය. ඉතිහාසය යනු නැවත නැවත එකම දෙය සිදුවන තැනකි. වනගතව සිටියත්, රටින් පැන සිටියත් අහිමිව ගිය රජකම දෙස ඇස ගසාගෙන සිටීම රජුන්ගේ සිරිතය.

ඉතිහාසය දෙස බලන විට පෙනීයන්නේ බොහෝ රජවරුනට මිනීමැරීමේ චෝදනාවට දඬුවම් කළ හැකි බවය. එහෙත් නීතියේ දෙවඟනද හැමවිටම ලොක්කන්ගේ පැත්තට බරවන නිසා එසේ සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

රජවරුන් අතරින් එපා කරපුම රජු යමරජුය. එහෙත් අපාගත වන මිනිස් රජවරු යම රජකමටද ට්‍රයි කරති. යමයාද මේ බව දන්නා නිසා මනුලොවින් එන රජවරුන් ළඟට ගන්නේ නැත.

එහෙත් මිනිසුන්ට පණ පිටින්ම අපායේ ගොස් එහි තතු නැරැඹීමට අවස්ථාවක් සැලසුණේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවලක් යටතේය.

මෑතකදී අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ද එහි ගියේ කෙටි සංචාරයකටය. ඔහු හමුවූ අවස්ථාවේ යමරජු මෙසේ ඇසුවේය.

ඔබ අපාය නැරඹීමට අදහස් කළේ ඇයි?

සාමාන්‍යයෙන් මම යාමට නියමිත හැම තැනැටම කළින් ගිහින් පෙරහුරඅවක් කරනවා. ඒක සී.අයි.ඒ. සැලැස්මක්. ට්‍රම්ප් කීවේය.

ඊට මොහොතකට පසු මිලැද්මීර් පුටින්ද අපායට පැමිණියේය.

ඔබතුමා පෙරහුරුවකටද?

නෑ. නෑ. අමෙරිකාවේ ජනාධිපති යන යන තැන මාත් යන්න එපැයි. ඒක රුසියාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක්. අපායට ගියත් අපි එක ළඟ.!

ඊළඟට පැමිණියේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙකි. ඔවුන් දුටු යම රජු මවිතයට පත්විය.

ඔයගොල්ලොත් මෙහෙ? පෙරහුරුවක්ද?

නෑ. නෑ. මේ දවස්වල අපිට එහේ ඉන්න හරි අමාරුයි. හැන්සි ක්‍රොන්ශේ මුණගැහිලා උපදෙස් ටිකක් අරන් යන්නයි ආවෙ.

 කපිල කුමාර කාලිංග