2017 ජුලි 29 වන සෙනසුරාදා

දෙහි ජීවම්කර කොරෙක් ඇවිද්දපු හාමුදුරුවෝ

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 986

කොණ්ඩදෙණියේ හාමුරුවෝ මේ ගුප්ත විද්‍යාවට හරි ප්‍රසිද්ධ කෙනෙක් වෙලානේ හිටියේ. 1956 රටේ ආණ්ඩු පෙරළියක් වුණේ ඒ හාමුදුරුවන්ගේ ගුරුකමක් නිසා කියලා ජනමතයක් තියෙනවා. අලි පැටියෙක් පුච්චලා ඒ අළු ජීවම්කරලා රටේ හැම මැතිවරණ ආසනයකටම දැම්මා කියලා කියනවා. ඒකෙන් බලයේ හිටපු අය පැරදිලා අලුත් කට්ටියක් බලයට ආවා කියලා කියනවා. ඔය සමහර දේශපාලනඥයන් අමාත්‍යංශ ලේකම්ලා, ලොකු ලොකු උදවිය අපි ළඟටත් කටයුතු කරගන්න එනවා. මේ ගුරුකම් දවල්ට විවේචනය කරලා රූට රූට හොරෙන් හොරෙන් ඇවිත් අපෙන් යම් යම් කටයුතු කරගෙන යන අය අදත් ඉන්නවා.

ගුප්ත විද්‍යාවෙන් අනාවැකි කියන්නත් පුළුවන්. ඔය පසුගිය ජනාධිපතිවරණ කාලයේ දකුණු පළාතේ වැදගත් මහත්තයෙක් මගේ ළඟට ආවා කටයුත්තක් කරගන්න. එයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොඳ පාක්ෂිකයෙක්. මම එයාට කීවා මේ මැතිවරණයෙන් මහින්ද මහත්තයා පරාද වෙනවා කියලා. හැබැයි එයා හෝ වෙනකවුරුත් ඒක පිළිගත්තේ නෑ. හැබැයි ඡන්දය පවත්වපු දා රෑ දොළහට විතර අරයා මට කෝල් කරලා කියනවා. ඔබ වහන්සේ කියපු එක හරි කියලා.

ගුප්ත විද්‍යා ජනතාවගේ යහපත් පැත්තට යොදාගන්නේ කොහොමද? මම සිරිරතන හිමිගෙන් ඇසුවෙමි.

නරක පැත්තට වඩා මේ සාස්තරේ හොඳ පැත්ත වැඩියි. අණවින, කොඩිවින කරලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න පුළුවන්. භූමිපාළු කරලා තියෙනවා නම් දියුණුවට බාධා කරලා තියෙනවානම් ඒවා ඉවත් කරන්න පුළුවන්. ග්‍රහඅපල නැති කරන්නත්, රෝගාබාධා ඉවත් කරන්නත් මේ සාස්තරයෙන් පුළුවන්.

බඩදරු අම්මලාට බැරිවෙන්න ගුරුකම් කරනවා. අද නම් සීසර් කරලා බබා ගන්ඩ පුළුන්නේ. එදා එහෙම පහසුකම් නෑනේ. එහෙම අවස්ථාවක පොල් ගෙඩියක් ජීවම් කරලා උළුවස්ස උඩ තියලා පොලය බිඳිනවා. එතකොට බබා ලැබෙනවා. මේ ගමේ බඩදරු අම්මලා ගණනාවකට මම ඒ වින ඉවත් කරලා දීලා තියෙනවා.

ඔය නව ග්‍රහයන්ගෙන් සිදුවන අපල උපද්‍රව තියෙනවා. ඒවාට කරන්න ශාන්තිකර්ම තියෙනවා. යන්තර මන්තර තියෙනවා. දවසක් මගේ ළඟට ආවා නර්ස් කෙනෙකුයි, එයාගේ මහත්තයයි. නර්ස්ට මාරාන්තික ඒරාෂ්ටකයක් තියෙන බව හඳහන බලපු අය කියලා තියෙනවා. ජීවත් වෙන්ඩ ඉඩ ලැබෙන්නේ නෑ. මාත් ඒ හඳහන බැලුවා කාරණය ඇත්ත බේරගන්ඩ හරිම අමාරුයි. මම ඒ ගැන මේ අයට කීවා. පුළුවන් දෙයක් කරලා දෙන්ඩ කියලා වැඳ වැටෙනවා. පස්සේ මම මේ අයට කටයුත්තක් කරලා දීලා කීවා ජීවිතය නම් බේරාදෙන්නම් හැබැයි අතපය නම් කැඩෙනවා කියලා. ඒ කීවා වගේම නෝනයි මහත්තයි බයිසිකලයේ යද්දී වැටිලා නෝනගේ කකුල කැඩුණා. ජීවිතයට අනතුරක් නෑ. කුරුණෑගල, සාරගම පැත්තේ තමයි ඒ අය පදිංචි. දැනටත් අපේ පන්සලට ඒ අය එනවා.

සමහරු ඉන්නවානේ කෙනෙකුගේ දියුණුව දකින්න බැරිව ඊර්ෂ්‍යාවට කොඩිවින අණවින කරවන අය. දවසක් ගල්නෑව පැත්තේ කෙනෙක් ඇවිත් මට කීවා එහෙම එකක්. මම ඒ ගෙදර ගිහින් බැලුවා. වින දෝෂයක් කරලා තියෙන බව මට තේරුණා. පස්සේ දවසක් ගිහින් මම ඒ වින දෝෂය කැපුවා. ආපස්සට වදින්න තමයි කළේ. මෙන්න පාන්දර එකට විතර කට්ටියක් මිනිහෙක් උස්සන් එනවා. ඒ මනුස්සයා තමයි කොඩිවිනය කරලා තියෙන්නේ. අර අයගේ ළඟම ඥාතියෙක්. පස්සේ ඉතිං ඒ මනුස්සයාටත් ගුරුකමක් කරලා ආපස්සට කපාපු එකක් ඉවත් කළා.

දවසක් මම සේනපුර පැත්තේ යනකොට දැක්කා පුද්ගලයෙක් කොරවෙලා ඉන්නවා. එයාගේ ඉරියව්වලින් මම තේරුම් ගත්තා මෙයාට වින දෝෂයක් කරලා තියෙන බව. මම ඒ ගෙදර අයට කරුණු පහදලා දීලා දෙහිගෙඩි ටිකක් අරන් ජීවම් කරලා කපලා දැම්මා. ඒ මොහොතේම මනුස්සයා කකුල අඩිය තියලා නැගිට්ටා. මේ සත්‍ය අත්දැකීමක්. 1983 අවුරැද්දේ විතර තමයි ඕක කළේ.

ඔබවහන්සේ වෙදකමටත් මේ ගුප්ත විද්‍යාව යොදා ගන්නවාද?

ඇදුම රෝගයට, පීනස් රෝගයට, මී මැස්මොරය රෝගයට, කිලිමාලය (ඔසප් වීම නතර නොවීම) වගේම ඔය දරුඵල නැති අයට දරුඵල ලැබෙන්නත් මම ප්‍රතිකාර කරනවා. බුදු ගුණ තියෙන ගාථා - සූත්‍ර වගේම මන්තර ඒවාට යොදාගන්නවා. තෙල් වර්ග පිරිත් කරලා හෝ ජීවම් කරලා සුරවලට දමා පළදා ගන්න තමයි දෙන්නේ. මේ ගමේ හිටියා පොඩි ළමයෙක් දවසකට හතරපස් වතාවක් මී මැස්මොරය හැදිලා බිමවැටිලා දඟලනවා. මම රන් තැඹිලි තෙල් පනස්දහස් වාරයක් පිරිත් කරලා සුරයකට දාලා දුන්නා. එතකොට ළමයට වයස අවුරුදු දහසක් - දොළහක් ඇති දැන් එයා රජයේ රැකියාවකුත් කරනවා. සුරය දැම්මාට පස්සේ රෝගය අද වනතුරු වැළඳුණේ නෑ. 

පීනසට කරන වෙදකම අපේ පරම්පරාවේ වෙදකමක්. ඕනෑම දරුණු ලෙඩකු වුණත් සුවපත් කරන්න පුළුවන්. මෙහේ කාන්තාවක් හිටියා හවස් වෙනකොට නැගිටලා යන්න බෑ. බඩගාගෙන යන්නේ. මම මේකට වෙදකමක් පුස්කොළ පොත්වලින් හෙව්වා. වෙදකම හොයාගෙන මම කළා. දවස් තුනෙන් හොඳ වුණා. මේ පාරම්පරික වෙදකම හරි ප්‍රබලයි මහත්තයෝ.

ඒ වාගේම තමයි සමහර කටයුතු කරද්දී හරි හාස්කම් දකින්ඩ ලැබෙනවා. දවසක් මම දස දිසා පිරිතෙන් තෙල් වර්ගයක් පිරිත් කරමින් හිටියා. මේක එක් ලක්ෂ හැටදහස් වාරයක් පිරිත් කරන්න ඕන. පිරිත අවසන් කරන්න ආසන්න වෙනකොට ලොකු හුළඟක් වාගේ දෙයක් පූජා අස්න ළඟට ආවා. හුළඟේ ශබ්දයට මම ඇස් දෙක ඇරලා බැලුවා. මම දැක්කා දෙවිකෙනෙක් වාගේ අයෙක් දෑත හිස මත තබා ගෙන මම ඉදිරියේ ඉන්නවා. හිසේ ඔටුන්නක් වාගේ එකක් තිබුණා. ඇඳුම කෙසෙල් දල්ලේ පාටට තිබුණා. දෑතට වළලු දාලා. මේ මම සත්‍ය වශයෙන් මේ ඇස් දෙකෙන් දැක්ක දෙයක්. විනාඩි පහක් විතර එහෙම හිටියා. මම විශ්වාස කරන්නේ පිරිත කියපු වාර ගණන හරි කියන්න ඒ දෙවියා පෙනී සිටියා කියලයි. පින් බලාපොරොත්තු වන දෙවියන් දෙව්වරුන් එහෙම දේවල් කරනවා.

ආයි දවසක් මම කොඩිවිනයක් ඉවත් කරන්න ශාන්ති කර්මයක් කරමින් හිටියා. එකපාරටම මගේ මූණ ඉස්සරහින් දුමක් ආවා. ඒ දුමානය මකරෙකු කටේ හැඩයටයි පෙනුණේ. ඒත් සමඟම මාව වට්ටගන්ඩ තමයි නේද බලාගෙන ඉන්නේ කියලා කියන්ඩ ගත්තා. ඒ අයහපත් භූතයෙක්. මීට අවුරුදු දහයකට විතර උඩදී තමයි ඔය අත්දැකීම මම ලැබු‍වේ. සමහරු කියනවාගේ දෙවියෝ, භූතයෝ නෑ කියලා. ඒ කතාව මම පිළිගන්නේ නෑ. මන්තර බලයෙන් දෙවියන් ගෙන්නා ගන්ඩත් පුළුවන්. මන්තරයක් තියෙනවා ජීවම් කරලා පහන තියලා, පුද පූජා පවත්වන කොට විෂ්ණු දෙවියන් පවා විනාඩි දෙක තුනක් පෙනී සිටිනවා.

ඔබ වහන්සේ තෙල් වර්ගත් සිඳිනවා ද?

හෙණරාජ තෛලය, හිරු දපන තෛලය, මහායක්ෂභූත තෛලය, තෙයියෝරු තෛලය, සිද්ධාර්ථ තෛලය වගේ තෙල් වර්ග මුලින් සින්දා. දැන්නම් තෙල් සිඳින්නේ නෑ. ඒ තෙල් වර්ග සිඳීම වියදම් අධිකයි. 

කවුරු හරි තෙල් වර්ගයක් ගෙනත් දුන්නොත් ජීවම් කරලා දෙනවා. කුරුණෑගල වෙන්නප්පුව පැත්තෙ මේ තෙල් වර්ග සිඳිනවා. හෙණරාජ තෙල් අවුන්ස අටේ කුප්පියක් රුපියල් 96000ක් වෙනවා. ඉතිං අපි කොහොමද ඒවා සිඳින්නේ. මේවා මහා බලගතු තෙල් වර්ග.

දවසක් මම ජීවම් කරපු තෙල් වර්ගයක් අරන් යනකොට බස් එකක් ඇවිත් මගේ ඇඟේ හැපුණා. මම උඩින් ගිහින් බිම වැටුණා. මට සිරීමක්වත් නෑ. මේවා මම අත්හදා බලාතියෙනවා. එක දවසක් රෑ නමයට විතර කාන්තාවන් දෙන්නෙක් අරන් පන්සලට වාහනයක් ආවා. ඒ අයට සිහිනැති වෙන රෝගයක් හැදිලා. එක්කෙනෙකුට සිහිය එනකොට අනිත්කෙනා සිහිනැති වෙනවා. ඔය විදියට මාරුවෙන් මාරුවට සිහිනැති වෙනවා. මම කයියොරු තෛලයෙන් ටිකක් අරන් සුර දෙකකට දාලා බෙල්ලේ එල්ලුවා රෝගය සුවයි. අදටත් ඒ අය හොඳින් ඉන්නවා.

දැන් ඔය ගුරුකම්, වෙදකම් වාගේ දේවල් කරපුවාම ඔබ වහන්සේ කීයක් අයකරනවාද? මම ප්‍රශ්නයක් යොමු කළෙමි?

මම මුදල් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි මේ සාස්තරේ. කවදාවත් අච්චරයි මෙච්චරයි කියලා නෑ. යමෙක් මොනවා හරි දෙන්න ලෑස්ති වුණොත් මම කියන්නේ පන්සලේ අඩුපාඩුවක් පුළුවන් නම් කරලා දෙන්න කියලයි. ඔය තියෙන දාගැබ හදන්නේ එහෙම උදව්වක් වශයෙන්. මුදලට මේ සාත්තරේ කරන්න ගිහින් තමයි පිරිහිලා තියෙන්නේ. මේක විද්‍යාවක්. හරියට ඉගෙන ගෙන කරන්න ඕන. අද සමහරු ටික දවසක් ඉගෙන ගෙන එයා ලොකු මන්ත්‍රාචාර්යවරයෙක් ලෙස පෙනී සිටිමින් වැඩ කරනවා. මුදල් හම්බකරනවා. ඉතිං ප්‍රතිඵල නෑ. සාස්තරේ පිරිහෙනවා.

මේ සාස්තරේ කරන්න කළින් ප්‍රාණයාම භාවනාව කරන්න ඕන. (ආශ්වාස ප්‍රශ්වාස ගැනීම) සිත එකඟ කරගැනීමට මේ භාවනාව කරන්නේ. ඒ කරලා තමයි මන්තර කටයුතු කරන්න ඕන. මානසික ඒකග්‍රතාව මේකට අනිවාර්යයි.

මේවාගේ කටයුතු බුදු දහමට එකඟ නෑ නේද? මේවා බදුදහම මගින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා නේද?

ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමට අදෘශ්‍යමාන බලවේගවලින් උදව් ගත්තාට වරදක් නෑ කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා. ඒත් නිර්වාණ අවබෝධ කරගැනීමට මේවා උදව් වෙන්නේ නෑ. ලෞකික ජීවිතය ගොඩනඟාගන්න දෙවියන්ගේ උදව් ලබාගන්ට පුළුවන්. බුදුදහම මේවා ප්‍රතික්ෂේප කරලා නෑ.

(ලබන සතියට)
කතාව හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර