2017 ජුලි 29 වන සෙනසුරාදා

කොළඹ නිදහස් චතුරස්‍රයේ එළිවෙන යාමය

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 313

දවස තිස්සේම ඝොෂාකාරී වූ මුළු කොළඹ නගරයම තද නින්දේය. කොළඹ වීදි පුරා වෙනස්වන කොළ, රතු, කහ විදුලි ලාම්පු සැම එක දිගට කහ වර්ණයෙන් නිවි නිවී දැල්වෙයි. මෙවන් නිහඬ වූ පරිසරයක අපි කොළඹ නිදහස් චතුරස්‍රය කරා ළඟා වූයෙමු.  වේලාව පාන්දර පහයි විසිතුන බව අතේ බැඳි ඔර්ලෝසුවේ සටහන් වී තිබුණි. සැබැවින්ම එය වෙනමම ලොවකි. කොළඹ නගරයම තද නින්දේ පසු වූ වෙලාවක නිදහස් චතුරස්‍රය අවට බොහෝ පිරිසක් උදෑසන ව්‍යායාම් කටයුත්ත වෙනුවෙන් පැමිණ සිටියෝය. තවමත් මුළු පරිසරයම අඳුරේය. නමුත් අඳුරේම වුවද ඔවුහු ව්‍යායාම්වල නිරත වෙමින් සිටියෝය. නිදහස් චතුරස්‍රය අවට නතර කර තිබූ රථවාහන එයට සාක්ෂි දැරීය.

හෙමී හෙමීට අවට අඳුර පහව යමින් හිරුගේ ආලෝකය නිදහස් චතුරස්‍ර අවට වෙලා ගත්තේය. ඇතැමුන් කාණ්ඩ වශයෙන් නිදහස් චතුරස්‍රය අවට ඇවිද්දේය. ඇතැම්හු දිව්වෝය. ඒ අතර සමහරු මෙය විලාසිතාවක් කොට ගත්තෝය. උදෑසන ව්‍යායාම්වල නිරත වීම ධනවතුන්ගේ කටයුත්තක් සේ සැලකුවද ඇතැම් සාමාන්‍ය පිරිස වෛර්ණ බොටම් එකක්, ටී ෂර්ට් එකක්, ලුමිනස් පාට සපත්තු දෙකක් පැළඳ විලාසිතාවක් සේ නිදහස් චතුරස්‍රය අවට උජාරුවෙන් ගමන් කිරීමද අපිට දකින්නට ලැබුණි. 

ඇතැම්විට ඔබ නොදැන සිටින්නට ඇති. නිදහස් චතුරස්‍රය අසල උදෑසන ව්‍යායාම් පන්තිද පැවැත්වේ. එළිමහනේ පැවැත්වෙන මෙවැනි ව්‍යායාම් පන්ති කීපයක්ම තැනින් තැන අපේ නෙත ගැටුණි. තරිඳු රුක්ෂාන්ද මෙවැනි ව්‍යායාම් උගන්වන උපදේශකවරයෙකි.

අපි හැමදාම උදේ 6.00 මෙතන පුහුණුවීම් කරනවා. හයේ සිට හතයි හතළිස් පහ දක්වා කරනවා. සතියේ දවස් හතේම අපි පුහුණුවීම් කරනවා. බොහෝ දුරට අපි මේ පුහුණුවීම්වලින් මූලිකව එකිනෙකාට අවශ්‍ය දේ කරනවා. ඇතැම් අය කෙට්ටු වෙන්න උත්සාහ ගන්නවා. සමහරු ඇඟ ෆිට් කරගන්න උත්සාහ ගන්නවා. ඒ නිසා ඒ අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් අපි මේ හරහා ලබලා දෙනවා. එකිනෙකාගේ දරා ගැනීම වෙනස්. ඒ නිසා ඒ අනුව අප ලබලා දෙන ව්‍යායාම් වෙනස් වෙනවා.

මෙම උපදේශකවරුන් බොහෝ දෙනෙකු ව්‍යායාම් මධ්‍යස්ථානවල තිබෙන ඇතැම් ව්‍යායාම් කට්ටලද මෙම එළිමහන් කුඩා පන්තිවලට රැගෙන ඒමද විශේෂත්වයකි. 

රුක්ෂාන් සමඟ කතා කරමින් ඉන්න අපිට සුවිශේෂි චරිතයක් නිදහස් චතුරස්‍රයේදී නෙත ගැටුණි. ඒ ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඇමැතිවරයාය. ඔහු ව්‍යායාම්වල නිරත වෙමින් සිටියේය.

ගුඩ් මෝනිං ඇමැතිතුමනි

ගුඩ් මෝනිං... ඔයාලත් ආවද එක්සසයිස් කරන්න... මම නම් හැමදාම වගේ උදේ හයට විතර එක්සසයිස් කරන්න එනවා. කොහොමත් පැය දෙකක් විතර මම මෙතන එක්සසයිස් කරනවා. ඇඟටත් ෆිට්. හිතටත් ෆිට්. වැඩ වලටත් ෆිට්. අන්න අතන ෆයිසර් ඇමැතිතුමාත් ඉන්නවා. 

මනෝ ගනේෂන් ඇමැතිතුමාගේ ව්‍යායාම් රටාවට බාධා නොවන පරිදි අපි ඔහු සමඟ වේගයෙන් ඇවිඳ යමින් කළ කතාබහ අවසන් වූයේ ඇමැතිවරයා පෙන්වූ ඉසව්වට යාමට අවශ්‍ය වූ නිසාවෙනි. ඒ වනවිටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාද උදෑසන ව්‍යායාමයේ නිරත වෙමින් සිටියහ.

ගුඩ් මෝනිං ඇමැතිතුමනි

ගුඩ් මෝනිං.... මං හැබැයි හැමදාම එක්සසයිස් කරන්නනම් එන්නේ නෑ. කොහොමටත් සතියකට දෙපාරක් විතර මම උදේට ඇවිත් මෙතන පොඩ්ඩක් ඇවිදිනවා. කොහොමත් උදේ හයයි කාලට විතර මම මෙතනට ඇවිත් පැයක් විතර මෙතන එක්සසයිස් කරනවා. සෙනසුරාදා ඉරිදා නම් මම එක්සසයිස් කරන්න එන්නේ නෑ. සතියේ දවස්වල විතරයි එන්නේ. මම හවසට එන්නේ නෑ. උදේට විතරයි එන්නේ. ඉතින් ඒ ඇවිත් පොඩ්ඩක් එක්සසයිස් කරලා වැඩ පටන් ගද්දී මාර ෆිට්

ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට සමුදෙන ගමන් අපි නැවතත් වෙනත් ඉසව්වකට ඇවිද ගියෙමු. ඒ වෙනවිටත් උදෑසනටත් වඩා බොහෝ පිරිසක් නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම්වල නිරත වෙමින් සිටියහ. ඇතැමුන්ට ව්‍යායාම් කරන්නට කිසිදු ඕනෑකමක් නැත. ඔවුහු හිතුමතේ අතේ ඇති ජංගම දුරකථනය ඔබමින් ඇවිද යති. ඇතැමුන් කන්වල ඉයර්ෆෝන් ගසාගෙන දුවයති. මේ අතර සමහර කාන්තාවෝ තවත් කෙනෙකු සමඟ හිනාවෙමින් අල්ලාප සල්ලාප යෙදෙමින් ඇවිද යති. මේ නිසා ඇතැමුන් මෙය හුදෙක්ම විලාසිතාවක් කර ගෙනදැයි සැකය මතු වෙයි. කරන්නාක් වාලේ කරමින් ඇවිදයන කාන්තාවන් ඕනෑතරම් එහිදී අපිට දකින්නට ලැබුණි. මේ අතර අවුරුදු හැත්තෑපහක් පමණ වයසැති වික්ටර් පීරිස් තනිවම තම ව්‍යායාම්වල නිරත වෙමින් සිටියේය. ඔහුගේ කටයුත්තට බාධා නොවන පරිදි අපි ඈතට වී ඔහු දෙස බලා සිටියෙමු. අවසානයේදි ලැබුණු පුංචිම පුංචි ඉඩකඩේදී අපි ඔහු හා දොඩමළු වූයෙමු. 

මං දැන් මෙතනට අවුරුදු ගාණක් තිස්සේ එනවා. මුල් දවස්වල මෙහෙම බිල්ඩින් තිබුණේ නෑ. මම ඉන්නේ බොරැල්ලේ. මම ඉස්සර රැකියාවක් කළා. දැන් විශ්‍රාමිකයි. මගේ නෝනාත් නැතිවුණා. දරුවෝ දෙන්නා ඉන්නේ අමෙරිකාවේ. ඒ නිසා දැන් මම ඉන්නේ තනියම. හැමදාම උදේ පාන්දර නැගිටලා බොරැල්ලේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගිහින් පැය එකහමාරක් භාවනා කරලා පයින්ම මෙතනට ඇවිත් මේ ව්‍යායාම් ටික කරනවා. ඒ ඇවිත් හෙමීට ගෙදර ගිහින් ඉන්නවා. ලෙඩ රෝගයක් කියලා නෑ, භාවනාවයි මේ ව්‍යායාම ටිකයි මට හොඳටම ඇති. හොඳ නිරෝගි සුවෙන් මම ඉන්නවා. වික්ටර් මහතා පැවසීය.

අජිත් වික්‍රමසිංහද නිදහස් චතුරස්‍රය අසල ව්‍යායාම් කරන උපදේශකවරයෙකි. ඒ වනවිටත් ඔවුගේ ව්‍යයාම් ඉගෙන ගැනීමට බොහෝ පිරිසක් රැඳී සිටියහ.

මෙතන පෞද්ගලික පන්ති පටන් අරගෙන දැන් අවුරුදු හතක් විතර වෙනවා. මම මලල ක්‍රීඩකයෙක්. උස පැනීම මම නියෝජනය කළා. ඊට අමතරව ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල්වලින් මම මේ පිළිබඳව ඉගෙන ගෙන තියෙනවා. මේ වනවිට මම ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. ඊට අමතරව තමයි මම හැම උදෑසනකම පාන්දර පහමාර සිට උදේ හත වෙනතුරු මෙහි පුහුණුවීම් කරන්නේ. ඊට අමතරව රාත්‍රි කාලයේදීත් පුහුණුවීම් මෙතන කරනවා

ඒ අතරතුරේ ඔබ අප දන්න කියන මුහුණක්ද අපේ නෙත ගැටුණි. එනම් හිටපු හමුදාපති දයා රත්නායකය. අපි අජිත්ට සමුදෙමින් හිටපු හමුදාපති ඉදිරියට අපි ගියෙමු. ඔහුගේ ව්‍යායාම් රටාවට බාධා නොවෙන පරිදි අපි ඔහු සමඟ යමින්ම ඔහු හා කතාබහ කළෙමු.

අපි හැමදාම උදේ පාන්දර ඇවිත් මෙතන පැයක් ඇවිදිනවා. ඊට පස්සේ ගිහින් තව පැයක් හොඳට ව්‍යායාම් කරනවා. මිනිසුන්ගේ වැරදි අදහසක් තමයි ඕනෑ වෙලාවට එක්සසයිස් කළාට කමක් නැහැ කියලා. ඒත්... ස්වභාවධර්මයෙන් දිලා එක්සසයිස් කරන්න දීලා තියෙන හොඳම වෙලාව තමයි මේ. උදේ නැගිට්ට ගමන් එක්සසයිස් කරලා දවස ආරම්භ කරන්න. ඒ ව්‍යායාමෙන් ලැබෙන ෆිට් එක දවසටම හොඳයි. ඒ නිසා එන්න අපිත් එක්ක මේ උදේ පාන්දර ව්‍යායාම් කරමු.

හිටපු හමුදාපතිවරයා අපිට ඒ ආරාධනාව කරද්දී අපි ඒ ආරාධනාව ඔබටද බාර දෙන්නෙමු. නිදහස් චතුරස්‍රය අවට ව්‍යායාම්වල නිරත වන්නට රටේ විවිධ ක්ෂේත්‍රවල නිලතල දරන බොහෝ පිරිසක් උදෑසන පැමිණෙති. ඒ අතර ජනාධිපතිවරයාත් ක්‍රීඩා ඇමැතිවරයාත් සුවිශේෂි චරිතය. එමෙන්ම තවත් මැති ඇමැතිවරු හා තානාපතිවරුන් තම දින චර්යාව ආරම්භ කරනුයේ ව්‍යායාම් කිරීමෙන් අනතුරුවය. 

වේලාව උදෑසන අට පසු වී තිබුණි. නිදහස් චතුරස්‍රය අවට ව්‍යායාම්වල නිරත වූවෝ ටිකින් ටික අඩු වෙමින් සිටිති. පැය කීපයක් පුරාවට අපි ලත් අත්දැකීම් ගොනුකර අපිද නිදහස් චතුරස්‍රෙයන් පිටව ආවෙමු.

 දිශානි ජයමාලි කරුණාරත්න
ෙස්යාරූ - සුමුදු හේවාපතිරණ 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00