2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

සෙම් - කෝලයට වේවැල් කසායක්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

මේ ඇසළ පෙරහැර සමයයි. මහනුවර නගරයට දස දෙසින් සෙනඟ ඇදෙයි. එහෙත් මහනුවර යනු තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත නගරයක් නම් නොවෙතැයි ඒ පිළිබඳව තතු දත්තෝ සැක පහළ කරති. එහි වායු දූෂණය කොළඹ නගරයට වඩා සියයට හතළිහකින් පමණ වැඩි බවද ඔව්හු පෙන්වා දෙති.

පෙරහැරේ යන්නට අලි හිඟයක් ඇති නිසා, සංවිධායකවරු අලි මාරුවක වැටී ඇති බවද පසුගියදා අසන්නට ලැබුණි.

වායු දූෂණය මිනිසුන්ට පමණක් නොව සතුන්ට හා ගහ කොළවලටද අගුණය.

මහනුවර වැසියනටද අනාගතයේදී පෙණහළු රෝග, සෙම්රෝග ආදියට ගොදුරු වියහැකිය. පෙරහැරේ යන අලින්ගේ ද, සෙම කිපෙන්නට ගතහොත්, එය මද කිපුණාට එහා සෙල්ලමක් වීමට ඉඩ ඇත.

මිනිසාගේ පමණක් නොව සතා සීපාවාගේද අනාගත පරම්පරාවේද යහපත උදෙසා මහනුවර නමැති ලෝක ප්‍රකට සුන්දර නගරයේ වායු දූෂණය අවම කිරීම සඳහා වහා පියවර ගතයුතු බව හෙණ්ඩුවෙන් ඇන පෙන්වා දෙන තුරු බලාසිටිය යුතුද?

බෙයිජිං, ටෝකියෝ, නවදිල්ලි නගරවලට මෙන් මහනුවර වායුවට කර්මාන්තශාලා දුමින් ප්‍රශ්නයක් නැත. ප්‍රධාන හේතුව වාහන තදබදයෙන් උපදින කළු දුමය. එය අවම කරගැනීමට නම් ගුවන් පාලම්, ගුවන් මාර්ග, කෙටිදුර දුම්රිය සේවා, රේල් බස් ඇති කළ යුතුය. නගරයට පිවිසෙන වාහන සංඛ්‍යාව සීමා කොට පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කළ යුතුය. මේ සියලු පහසු, ලාභදායි හා ඉක්මන් ක්‍රියාමාර්ග තිබියදී කෝටි ප්‍රකෝටි ගණන් වියදම් වෙන අවුරුදු ගණන් කල්යන උමං මාර්ග ඉදිකිරීමට මහනුවරද උමා ඔයක් කිරීමට සැලසුම් හදන්නේ කල්ල මරේ ලොක්කන්ය. ඔවුන්ගේ ද මොළේ සෙම දැයි පරීක්ෂා කළ යුතුය.

සෙම් ප්‍රශ්නය මහනුවර වැසියනට පමණක් නොව දියවන්නාවේ තරබාරු ප්‍රජාවටද බලපා ඇත. එම රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ සෙම් - කෝලය නමිනි.

සෙම් - කෝලය උත්සන්න වූ විට පිස්සන් සේ හැසිරෙන්නට වෙති. අනුන්ගේ පුටුවලට අයිතිවාසිකම් පාන්නට වෙති. ලෝකයා ඉදිරියේ විලිලැජ්ජා නැති සේ දඟලන්නට ගනිති. ඔවුන් සිටින තැනදී වගකිව යුතු ආයතන උන්මත්තකාගාර බවට පත්වෙති.

දැනට සොයාගෙන තිබෙන කරුණු අනුව නම් මෙකී සෙම් - කෝලයට හේතුව කාලගුණ විපර්යාසයක් හෝ වායු දූෂිත තත්ත්වයක් නොවේ. ඊට හේතුන් වී ඇත්තේ කුඩා මොළයේ (එය හෝ තිබෙනවා නම් පමණි.) හටගන්නා දදයකි. එම දදයට හේතුව මාන්නාධිකම හා නූගත්කමය. නූගතෙකුට සෙම් - කෝලය වැළඳීමත් වඳුරෙකුට දැලි පිහියක් ලැබීමත් අතර වැඩි වෙනසක් නැත. වඳුරා නම් කපාගන්නේ තමාව පමණි. අනෙකා තමන්වද, තමන්ගේ පැත්තද ඒ පැත්තේ සිටිනා හැත්තද කපා වනසා දමති. එහෙත් ඔවුන්ට එය පෙනෙන්නේ කැපී පෙනෙන වීරකමක් ලෙසිනි. මෝඩ තකතීරුකමක් ලෙස නොපෙනෙති. සෙම් - කෝලය ජල භීතිකාවටත් වඩා භයානක වන්නේ එය උත්සන්න වූ විට පවුලේ උදවිය පවා හපාකන්නට සිතෙන බැවිනි.

සෙම් - කෝල රෝගීන් ප්‍රතිකාර සඳහා යන්නේ සිංගප්පූරුවටය. මේ නිසා එරට හෝටල් කීපයකම ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ කාමර සූදානම් කර ඇත.

සිංගප්පූරුවේ මනෝ වෛද්‍යවරයෙකු කළ පර්යේෂණයකට අනුව සේම් - කෝල රෝගීහු මිල අධික රථ වාහනවලට විශාල කැමැත්තක් දක්වති. ඊට අමතරව මිල මුදල්, රූමත් කතුන්, ඉඩ කඩම්, සුඛෝපභෝගී මහල් නිවාස, විදේශ සංචාර යනාදියට ද මහත් සේ ගිජු වෙති.

බටහිර වෙදකමට ගොස් සුවයක් නොලබන සමහර රෝගීන්, අවසානයේ සිංහල වෙදකම පසු පස යන බව නොරහසකි. සෙම් - කෝලය වැළඳී සිටින අයට ප්‍රතිකාර කළහැකි වෙද මහත්තයෙක් අපේ ගමේ සිටී. එතුමා පවසන අන්දමට ඒ සඳහා ඇත්තේ කෙම් ක්‍රම දෙකකි.

පළමුවැන්න පාර්ලිමේන්තුව පෙනෙන දුරක සිට තිපල් කසාය වස්තිකිරීමය. ඉන්පසු ඔවුන්ට දියවන්නාවට බසින්නට සිතෙයි. නැතහොත් සිදුවෙයි. නිට්ටාවට සුව නොවන නමුදු ඉන් රෝගය තරමක් නිවාරණය වෙයි.

දෙවැන්න උස් අසුනක සිටුවා තබා වේවැල් කසායක් ලබාදීමය. සතියක් දෙකක් මෙය සිද්ධ කිරීමෙන් පසු රෝගය සමනය වෙයි. පැරණි වෙදපොත්වල මෙම සෙම් - කෝල රෝගීන් හඳුන්වා ඇත්තේ තිත්තකඩයින් ලෙසය. රෝගය සුව නොවුණහොත් මිය පරලොව යන ඔවුන් උපදිනුයේ එකසිය විසි අටක් වූ උස්සද නිරයන්ගෙන් එකකය.

ඉංග්‍රීසියෙන් සෙම් කෝලනය යනු තිත් කොමාවය. සෙංකෝලය යන සිංහල වචනයට එහි ආභාෂයක් ලැබුණේදැයි නොදනිමු. එහෙත් සෙංකෝලය පාර්ලිමේන්තුවට ආවේ නම් මහා බ්‍රිතාන්‍යය හරහා බව දනිමු.

එක්තරා පාසල් ගුරැවරයෙක් තම දරුමල්ලන්ට පාර්ලිමේන්තුව හා එහි සම්ප්‍රදායන් උගැන්වීම සඳහා උපක්‍රමයක් වශයෙන් පවුලේ සාමාජිකයන් පාර්ලිමේන්තු තනතුරැත් ගෘහ භාණ්ඩ යනාදියට එහි සංකේත නමක් ලබාදුන්නේය.

එම පවුලේ බලයා පාසලේ සිංහල පාඩමේදී පාර්ලිමේන්තුව යනුවෙන් රචනාවක් ලියූ අතර එය අවසන් කර තිබුණේ මෙසේය.

එක් දිනක් විපක්ෂය ආණ්ඩු පක්ෂය පසුපස එළවමින් සෙංකෝලයෙන් පහර දෙන්නට විය. සෙංකෝලය දෙකඩ කැඩුණු අතර ආණ්ඩු පක්ෂය ළිඳට වැටුණි. අසල්වැසි රටවල් දෙකකින් නියෝජිතයින් පැමිණ ආණ්ඩු පක්ෂය ළිඳෙන් ගත්තේ අපොයි ප්‍රජාතන්ත්‍රවාදයට ගිය කලක් යැයි කියමිනි.

පසුදින උදෑසන විපක්ෂය මා කැඳවා හන්දියේ කොසු ඉදල් කඩයට ගොස් අලුත් සෙංකෝලයක් රැගෙන එන මෙන් නියෝග කළේය. එදෙස බලා සිටි මන්ත්‍රීවරයෙක් අන්න කතානායක කඩේ යනවා යැයි කෑ ගැසීය.

 කපිල කුමාර කාලිංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00