2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

මීගලෑව පන්සලේ වැරදුණු කුරුමානම

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

අයකු ජීවිතය ජීවත් කරවීම සඳහා නොවිදිනා දුක්විඳින කල්හි තවකෙක් වෑයමකින් තොරව සුවපහසුව ජීවත් වීමේ මං සොයති. විවිධ අපරාධ සැලසුම් කරමින් අනෙකාගේ දෑ සොරාගැනීමට වෑයම් කරනුයේ ද මේ පව්කාර අදහස මල්ඵල ගැන්වීමට බවට සැක නැත. මේ බවට දෙස්දෙමින් ඉකුත් දා ගල්ගමුව මීගලෑව ලස්සනගම ගම්මානයේ පිහිටි ශ‍්‍රී නිකේතනාරාම පිරිවෙන් විහාරස්ථානයේ ඇතැයි යන විශ්වාසයෙන් රන් පිළිමයක් හා පෞරාණික මැණික් ගල් සොරාගැනීමට පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනකු පොලිස් වෙඩි පහරට ලක්වීමේ පුවතින් ප‍්‍රදේශය සලිතව ගියේය. 

කොල්ලකරුවන් කොටුකර ගැනීමට මීගලෑව පොලිසිය කළ මෙහෙයුමකදී පොලිසිය හා සැකකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසුව පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියෙන් ප‍්‍රදේශය ඇවිලි ගියේ ඉකුත් 24 වැනිදාය.

පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල හිරියාල අඹගස්වැව ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති දිසානායක මුදියන්සේලාගේ මංජුල දිසානායක හෙවත්  එස්.එෆ්. මංජුල යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇති අයෙකි. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටිනුයේ කුරුණෑගල කොට වෙහෙර පොලිස් ප‍්‍රදේශයට අයත් පලුගොල්ල ගම්මානයේ පදිංචිව සිට ඇති වයි.බී.පී. සරත් කුමාර නැමැති පුද්ගලයෙකි. මෙම පුද්ගලයන් දෙදෙනාම වයස අවුරුදු 30ත් 35ත් අතරේ පසුවෙන්නන් විය හැකි බවට පොලිසිය අනුමාන කරති. මොවුන් දෙදෙනාම යුද හමුදා විශේෂ කාර්ය බලකා පුහුණුව ලබා හමුදාවෙන් පලා ගොස් සිට ඇති අය බවත් මීට මත්තෙන් සිදුව ඇති අපරාධ කිහිපයකට සම්බන්ධව ඇති බවත් පොලීසිය කියයි.

කොල්ලකරුවන් කොටුකිරීම සඳහා ලද ඔත්තුවක් අනුව මීගලෑව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.පී.බී. විජේසූරිය මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් 24 වැනි දින රාත‍්‍රීයේ විහාරස්ථානය ආසන්නයේ රැකවල් ලා සිට ඇත. වෙලාව රාත‍්‍රී 09.45 පමණ වී ඇත. ඒ වනවිටත් මීගලෑව ඇතුළු තදාසන්න ප‍්‍රදේශයට විදුලිය විසන්ධිව තිබිණි. අමාවක සඳ යන්තමින් වලා අතරින් මතුවී ඇත. එහෙත් කෑලි කැපිය හැකි අඳුර හැම පසුබා ආරා විත් තිබිණි. තවත් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම ශ‍්‍රී නිකේතනාරාමයට ප‍්‍රවේශ වන මාවත ඔස්සේ විත් අඳුර කපා දැල්වුණු තියුණු පහන් ආලෝකයෙන් යුතු යතුරු පැදියක් විහාර භූමියට ඇතුළු වූයේ පොලිස් නිලධාරින්ට ලද ඔත්තුව සඵල කරවමිනි. 

කළු පැහැති ඇඳුමින් සැරසී ඇති කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයකු විශේෂ කාර්ය බලකායට අයත් ඇඳුමින් හිඳ ඇති බවත් වෙඩි වැදීමට ලක්ව මියගිය එස්.එෆ්. මංජුල  නැමැත්තා ඔහු බවටත් පසුව පොලිසිය හඳුනාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා විහාරාධිපති මයිලෑවේ සුමනජීව හිමියන් සොයා විහාරස්ථානයට ඇතුළු වී ඇත. එහෙත් ඒ වනවිට විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ හිඳ නැති අතර පිරිවෙණෙහි අධ්‍යපනය ලබන සාමණේර හිමිවරුන් කිහිපදෙනකු පමණක් විහාරස්ථානයේ හිඳ ඇති බව සඳහන් වේ. විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ නොසිටි බැවින් උන්වහන්සේගේ ආවාස කුටියෙහි දොර විවෘත කිරීමට උත්සාහ දරත්ම සිදුව ඇත්තේ කොල්ලකරුවන් සිහිනෙන් හෝ නොසිතන ලද්දක් බවට සැක නැත. සිද්ධිය සිදුවන මොහොතේ විහාරස්ථානයේ වැඩ සිටි සරණසිද්ධි හිමියන් පැවසූයේ මෙ බන්දකි. 

අපි ගිලන්පස ගන්න ගමන් හිටියේ. එකපාරටම කළුම කළුපාට ඇඳුම් ඇඳගත්ත දෙන්නෙක් බයික් එකකින් ඇවිල්ලා පොඩි හාමුදුරුවනේ කියලා කතා කෙරුවා. මම තව පොඩි හාමුදුරු කෙනෙකුත් එක්ක ඉස්සරහට ගියා. අපෙන් ඇහුවා ලොකු හාමුදුරුවෝ කොයි කියලා. මම කිව්වා ලොකු හාමුදුරුවෝ ගමනක් ගිහිල්ලා කියලා. ආපු දෙන්න අතේ තුවක්කුවක් තිබුණා. එක්කෙනෙක් මුණ වැහෙන්න හෙල්මට් එකක් දාලා හිටියේ. පස්සේ මගේ අතේ තිබ්බ ටෝච්එක අරන් ආවාසගෙයි පිටිපස්සේ කාමරේකට ගියා. ඒකේ බලලා ඇවිත් ලොකු හාමුදුරුවන්ගේ කාමරේ දොරඅරින්න හැදුවා. ඒක ලොක්කරලා තිබ්බේ. ඒත් එක්කම වගේ පොලිස් ජීප් එක ආවේ. ජීප්එක එනවත් එක්කම ඒදෙන්නා බයික් එකේ නැගලා යන්න ගියා. පස්සේ රතිඤ්ඤා පුපුරනවා වගේ සද්දයක් ඇහුණා අපිට. 

සැලසුම් කළ අන්දමින් මීගලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් රැගත් ජීප් රථය විහාරස්ථානයට ඇතුළු‍වෙත්ම සැකකරුවන් දෙදෙනා සැනෙන් යතුරු පැදියේ නැගී පලායෑමට උත්සාහ දරා ඇති අතර පොලිස් නිලධාරින් වෙත වෙඩි ප‍්‍රහාරයක් ද එල්ල කොට ඇත. එහිදී පොලිස් නිලධාරින් හා සැකකරුවන් දෙදෙනා අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. අවසානයේ පොලිස් නිලධාරින් එල්ල කළ වෙඩි පහරට ලක්වූ සැකකරුවන් යතුරු පැදියෙන් ඇද වැටී ඇත.

එසැනින් ගලාආ රක්ත වර්ණ ලේ දහරා මැද වියරු සිහිනයක අපේක්ෂාවන් බොඳවී අයකුගේ ගමනක නිමාව තිත්ත කළුවර මත සටහන් වෙමින් තිබිණි. තුවාලකරුවන් මීගලෑව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් කටයුතු යෙදූ අතර එහිදී එක් පුද්ගලයකු රෝහලට ඇතුළත් කළ පසුව මිය ගොස් ඇත. අනෙක් පුද්ගලයා තඹුත්තේගම මුලික රෝහලට මාරැකර යැවීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. 

සැකකරුවන් යමහා වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති අතර ටී 56 වර්ගයේ ගිනි අවියක්, පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් රැගෙනවිත් තිබූ බව මීගලෑව පොලිසිය පැවසීය. ගල්ගමුව මහේස්ත‍්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා සහ ගල්ගමුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉලංගරත්න මහතාත් අදාළ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මීගලෑව පොලීසිය මගින් සිදුකරයි.

අවි ගත්තවුන්ට දිය යුතු ඉහළම දඬුවම සොබාදහම දෙනු ලදුව දැන් සියල්ල සන්සුන් වී ඇත. එහෙත් සිතන්නට බොහෝ දෑ ශේෂකොට ඇති බව පැහැදිලිය. සැකකරුවන් ගෙනආ ජීව අත්බෝම්බය යම් හෙයකින් පුපුරා ගියේ නම් සිදුවිය හැකිව තිබූ විනාශය කොතෙක්දැයි කිවනොහැකිය. ප‍්‍රදේශ දෙකක ජීවත වන පුද්ගලයන් දෙදෙනෙකු සැතපුම් ගණනාවක් දුර බැහැර ඈත ගම්මැද්දක පිහිටි පන්සලක රන් පිළිමයක් හෝ මැණික් ගල් පිළිබඳව අනුමාන කළේ කෙසේද යන්න ලස්සනගම ගම්මුන්ට තවමත් ගැටලුවකි. මක්නිසාදයත් එවැන්නක් ගැන මෙහි කිසිවෙකු හෝ කිසිවක් නොදන්නා බැවිනි. සත්‍ය ලෙසම විහාරස්ථානය තුළ රන් පිළිමයක් හෝ මැණික් තිබුණේද? තිබුණේ නම් සිවුපසයෙන් සංග්‍රහ සත්කාර කරන දායකයන් එය දැන නොසිටියේද, මන්ද යන්න ද ගැටලුවකි. අවසානව ඇසිය යුත්තේ දහම් නිකේතන ලෙස පැවතිය යුතු වෙහෙරවිහාර රන්, රිදී සුරකීමේ වගකීම කරට ගනුයේ කවර අර්ථයකින් ද යන්නය. 

 කතාව හා ෙස්යාරූ I තඹුත්තේගම ප්‍රදීප් රණතුංග