2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

සිරි දළදා පෙරහර අසිරිය

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 559

ඇසළ මාසය දෙවියන්ට අයත් මාසයක් ලෙස විශ්වාසයක් පවතී. ගෞතම බුදුන් වහන්සේ දම්සක් පැවතුම් සුතුර දේශනා කොට වදාළේද ඇසළ මාසයේම පුන් පොහෝ දිනකයදීය. බෞද්ධ දර්ශනයේ ගැඹුරු දහම් කොටස් අන්තර්ගත වූ දම්සක් පැවතුම් සූත්‍රය පස්වග තවුසන් ප්‍රමුඛ දේව සමුහයා වෙනුවෙන් දේශනා කොට වදාළ බවද අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. 

ලංකාවේ සුප්‍රසිද්ධ දේවාලයන්හි දෙවියන් කෙරෙහි පිදෙන පූජෝපහාරයක් ලෙස ඇසළ මාසයේ පෙරහරවල් ආරම්භ වීමට ඉහත සඳහන් කාරණය කිසියම් ප්‍රමාණයකින් බලපා ඇතැයි අපට අනුමාන කළ හැකිය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුයුක්ත සතර මහා දේවාලයන්හිද වෙනත් දේවාල වල මෙන්ම පුරාණයේ ඇසළ මාසයෙහි පෙරහර පැවති බවට සාධක ඇත. නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවු දේවාලයන් සඳහා සෙංකඩගල පුරය රාජධානිය කරගත් රජවරුන් වාර්ෂිකව පෙරහර පවත්වාන්නට ඇත්තේ ඔවුන් දැඩි දේව භක්තිකයන් වූ නිසා බව අපට සිතිය හැකිය. උපසම්පදා විනය කර්මය මෙහි ගෙන ආ ස්‍යාමවංශික උපාලි මහා තෙරුන්ගේ සහ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අදහසක් අනුව 1752 කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස පළමු වතාවට සිව් දේවාල පෙරහරට ඒකාබද්ධව මාලිගාවේ පෙරහර පවත්වන ලදී. මෙය මහනුවර පළමු දළදා පෙරහර ලෙස ඉතිහාසයට එක්වී ඇත. 

ඉංග්‍රීසි පාලකයන් ගත් තීරණයක් නිසා වසර 10ක් පමණ කාලයක් පෙරහර පැවැත්වීම නතරවී තිබූ අතර 1828දී යළිත් පෙරහර ආරම්භ විය. 1915 සිංහල, මුස්ලිම් අරගලය නිසාද වසර කීපයක් යනතුරු පෙරහර පැවැත්වීම අඩාලවී තිබූ බව පෙනේ. 

එදා සිට පැවත එන පෞරාණික සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් ඇතුළු සාම්ප්‍රදායික අංගයන් අංශු මාත්‍රයකිනිදු කඩ නොකර ඒ ආකාරයටම ඉටුකරමින් මේ උදාර කටයුත්ත සිදුකිරීම මහනුවර ඇසළ පෙරහර අනෙකුත් පෙරහරවල්වලින් වෙන්කරන ප්‍රධාන ලක්ෂණයක් ලෙස පෙනේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ඇසළ මහා පෙරහර මංගල්‍යය ත්‍රිසිංහලයේ අසිරිමත්ම බුද්ධාභිවන්දනය ලෙස සමස්ත බෞද්ධ ලෝකයාගේ හා සමස්ත විශ්ව ප්‍රජාවගේ ආකර්ෂණයට බඳුන් වී ඇත. මෙවර ඇසළ මහා පෙරහර මංගල්ලයේ සමාරම්භය සටහන් කරමින් සතර මහා දේවලයන් හි කප් සිටුවීම පසුගිය 24 වැනිදා සිදුවූ අතර එදින සිට 28 වන දින දක්වා දේවාල අභ්‍යන්තර පෙරහරවල් පැවැත්විණි. අනතුරුව ජූලි 29 සිට අගෝස්තු 02 දක්වා කුඹල් පෙරහර පැවැත්වීය. අගෝස්තු 08 වන දින දිවා පෙරහර පවත්වා ඉන් පසුව සවස් භාගයේ කෙටි පෙරහරකින් දියවඩන නිලමේතුමන් ඇතුළු සතර මහා දේවල හා පිටිසර දේවාල වල බස්නායක නිලමේතුමන්ලා ජනාධිපති මන්දිරයට ගොස් පෙරහර සංදේශය ජනාධිපතිතුමන් වෙත භාරදීමෙන් පසුව ඇසළ මහා පෙරහර මංගල්ලයේ සමාප්තිය සනිටුහන් වීමට නියමිතය. 

දළදා සමිඳුන් ජීවමාන බුදුන් ලෙස ජන විඥානය තුළ මුල් බැසගෙන ඇති අතර රාජ්‍යත්වයේ සංකේතය ලෙස ඉතිහාසයට ගොනු වී ඇත. එසේනම් දළදා සමිඳුන් වැඩවසන මාලිගා පරිශ්‍රය මෙන්ම ඒ අවට පරිසරයද පිවිතුරුව තබාගැනීම අප කාගේත් යුතුකමක් වන අතර වගකීමක්ද වනු ඇත. බුදුන්වහන්සේ තරමට පරිසරය අගය කළ කිසිම පරිසරවේදියෙක් මිහිපිට බිහි වී නැත. මේ පරිසරය පවිත්‍රව තබා ගැනීමට ඔබටද පිහිටවිය හැකිය. පොලිතින් මලු, හිස් වතුර බෝතල්, ප්ලාස්ටික් බඳුන් වැනි දෑ මේ පරිසරයට මුදා හැරීමෙන් ඔබට වැළකිය හැකි නම් එය උත්තම ගණයේ සුවිශේෂී වූ බුද්ධ පූජාවක් බව මාගේ විශ්වාසයි.

ඇසළ පෙරහර නරඹන ඔබ සැම වෙනුවෙන් වෙනත් වසරවල මෙන් සියලුම ආරක්ෂක කටයුතු සංවිධානය කෙරන අතර විවිධ මට්ටමේ ප්‍රජා සේවාවන්ද ක්‍රියාත්මක වේ. ඔබගේ කාරුණික හැසිරිම අප කාහටත් ඉතාමත්ම වැදගත් වනු ඇත. බීමතින් පැමිණීම හෝ පුදබිම අතුළු ඒ අවට මත්පැන් ගෙන ඒම සපුරා තහනම්ය. එය ඔබ විසින්ම ඔබගේ ආරක්ෂාව තහවුරු කරගැනීමක් වනු ඇත. පෙරහර නරඹන අතරතුර ඔබගේ හැසිරීම අසල සිටින කවරකුට හෝ හිරිහැරයක් නොවිය යුතු බවට කාරුණික වන්නේ නම් එය කොයිකාගේත් නිදහසට අතදීමක් වනු ඇත. විශේෂයෙන්ම කුඩා ළමයින් හා වයෝවෘද්ධ වැඩිහිටියන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටීම ඔබටම යහපතක් වනු නොඅනුමානය.

මෙත් සිත් පෙරටුව ඇසළ පෙරහර නරඹන ලෙසට ඔබ සැමට ඇරයුම් කරමු. 

 සාකච්ඡාකොට සකස් කළේ ජේ.ඒ.එල්. ජයසිංහ 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00