2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

අලි කොටි වලස්සු මැද්දේ කාපු කට්ටක්!

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

මුල්ම ගොවිජනපද ව්‍යාපාරයේ ගොවි මහතකුගේ අත්දැකීම්

වියළි කලාපයේ ජන ශූන්‍ය ප්‍රදේශවල තිබූ අස්වැද්දිය හැකි ඉඩම්වල ජනතාව පදිංචි කිරීමේ ගොවිජනපද ව්‍යාපාර ක්‍රමය මෙරට තුළ ආරම්භ කොට දැනට දශක අටකට වඩා වැඩි කාලයක් ගතව තිබේ. මෙරට තුළ ආරම්භ කළ මුල්ම ගොවිජනපද ව්‍යාපාරය ලෙස සැලකෙන්නේ මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයයි. දිවංගත ඩී.එස් ෙස්නානායක අගමැතිතුමාෙග් අැරැයුෙමන් සර් ජෝන් කොතලාවල මහතා 1933 වර්ෂයේ මැයි පළමු වැනි දින මොරදමන ගසක් බිමහෙළා මින්නේරිය ජනපදයේ වැඩ ආරම්භ කළ බව ද ගස බිම දැමීමට පොරවෙන් හැත්තෑ දෙවරක් ගසට කෙටීමට සිදුවූ බවද පැවසේ.

මෙසේ ආරම්භ කළ ගොවිජනපද බොහෝමයක් පවතින අතර විවිධ ප්‍රදේශවලින් ගෙන්වා ගත් ජනතාව මේ ජනපදවල පදිංචි කරවනු ලැබූහ. එසේ පදිංචි කළ මුල් ජනපදිකයන් විශේෂයෙන් පැරැණිම ගොවිජනපදවල අද ජීවතුන් අතර නැත. පනහේ - හැටේ දශකවල ආරම්භ කළ ජනපදවල ද මුල් පදිංචිකරුවන් සොයාගැනීම ඉතාම දුෂ්කරය.

ගල්ගමුව, උස්ගලසියඹලන්ගමුව ගොවිජනපදය බිහිවන්නේ වර්ෂ 1955 – 60 අතර කාලයේය. මේ ජනපදයේ ද මුල් පදිංචිකරුවන් අද ජීවතුන් අතර සිටින්නේ අතක ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. ගොවි ජනපද ආරම්භ කළ වකවානුවේ හා ඉන් පසු කාලයේ මේ මුල් ජානපදිකයන් මුහුණ දුන් රස හා නීරස අත්දැකීම් පිළිබඳව හාරා ඇවිස්සීමේ ආශාවෙන් සිටියදී එවැනි මුල් ජානපදිකයකු පිළිබඳව තොරතුරු ගල්ගමුව, ජයලන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ඩී. තිලකරත්න මහතාගෙන් දැනගැනීමට ලැබිණ.

ඒ හෝඩුවාව ඔස්සේ අපි ගල්ගමුව, උස්ගලසියඹලන්ගමුව ගොවිජනපදයේ යාය හතර පදිංචි ඒ වියපත් මිනිසා සොයාගියෙමු. අසූ වැනි වියේ පසුවන ඔහු නමින් කේ.එම්. හීංබණ්ඩා මහතාය.

කොයි කාලේ කොහොමද මේ ජනපදයට ආවේ.යි මම මුලින්ම හීංබණ්ඩා මහතාගෙන් ඇසුවෙමි.

1960 අවුරුද්දේ මැයි මාසේ තිස් වැනිදා තමයි මම මෙහාට ආවේ. අපේ උපන් ගම මාවතගම, දොරටියාව. අපේ තාත්තා මම කුඩා කාලයේම මිය ගියා. මට බාල සහෝදර සහෝදරියන් හතර දෙනෙක් හිටියා. අපේ අම්මට තමයි මෙහෙන් ඉඩම් ලැබුණේ. ඉතිං අම්මත් එක්ක මාත් මෙහාට ආවා.

ජනපදයෙන් ඉඩම් ලැබුණු අයට එන්ඩ විශේෂ දුම්රියක් කුරුණෑගල ඉඳලා දාලා තිබුණා. අපි ඒකෙන් ගල්ගමුවට ආවා. ස්ටේෂන් එකේදීම දවල්ට ගෙනාපු බත්ගෙඩි ලෙහා ගෙන කාලා එතැන ඉඳලා අපිව ලොරිවලින් ජනපදයට අරන් ආවා. දැන් ඔය වැව තියෙන කිට්ටුව විශාල මඩු හදලා තිබුණා. පොල් අතු මඩු. ඒවා අඩි 100ක් විතර දිගයි. ඒ වාගේ මඩු තුනක් තිබුණා. අපට නතර වෙන්න දුන්නේ ඒ මඩු.

අපි එනකොට මේවා මහා කැලෑව. අලි, කොටි, වළස්සු, ගෝන්නු, මුවෝ වැහි වැහැලා. හැබැයි මිනිස්සුන්ට කරදරයක් කළේ නෑ. දැක්කාම මාරු වෙලා යනවා. සර්පයොත් ඒ වාගෙමයි. සර්පයින් දෂ්ට කරලා නම් කීපදෙනෙක්ම මළා. ඔක්කොටම හපන් මදුරුවෝ. රූට ඉන්ඩම බෑ. ගිනි ගොඩවල් ගහගෙන තමයි රෑට හිටියේ. ගෙවල් දොරවල්, පාරවල් මොකුත් නෑ.

ඊළඟට අපට කුඹුරු ඉඩම් පෙන්නුවා. එක්කෙනෙකුට අක්කර තුනයි. ඒ ඉඩම්වල වල් කොටලා තිබුණත් ආයි ලියලලා කැලෑව. දහදෙනා බැගින් කණ්ඩායම් කරලා තම තමන්ගේ කුඹුරු ඉඩම් ශුද්ධ කර ගන්ඩ කීවා. අපි වල් කොටන්න (කැත්තෙන් කැලෑව කැපීම) දන්නේ නෑ. පුළුවන් විදිහට කෙටුවා. හරියට වල් කෙටිලා නැති නිසා ගිනි තිබ්බත් පිච්චුණේ නෑ. කොහොම හරි ඔට්ටු වෙලා ඉඩම් එළිපෙහෙළි කරගත්තා.

ඉඩම් ශුද්ධ කරලා ඉවර වුණාට පස්සේ නියරවල් දාන්න කීවා. අපි ඉනිං කණුමදු ගලවමින් නියරවල් දැම්මා. ඒ වෙනුවෙන් අපට මාසයකට රුපියල් තිහක් රජයෙන් ගෙව්වා. ඒ රුපියල් තිහෙන් රුපියල් දහයක් අරන් ගල්ගමුව පොළට යනවා. රුපියලක් දුන්නාම පොල්ගෙඩි දහයක් ගන්ඩ පුළුවන්. කරල් මිරිස් රාත්තලක් ශත හැටයි. එළවළුයි, කරවල ටිකකුයි අරන් ශත පනහක් ඉතිරි කරගන්නවා. ඒ ගල්ගමුවේ ඉදලා වාඩියට කාර් එකක එන්න. අපි හතර දෙනෙක් එකතුවෙලා හයර් එක ගෙවනවා. ඔය වෙනකොටත් අපි ඉන්නේ අර පොල්අතු මඩුවල. ඇළවල් කපලා නෑ. ඔය මහ ඇළ කැපුවේ අපි. කට්ටි ක්‍රමයට තමයි ඇළවල් කැපුවේ. අපිත් කට්ටි කපන්න ගියා. අඩි 10x10 කට්ටියක් කැපුවාම රුපියල් දෙකක් දෙනවා. දවසට කට්ටියකට වඩා කපන්ඩ බෑ. පස් කපලා උඩට අදින්නත් ඕනනේ.

කොහොම හරි ඇළවල්වල වැඩ ඉවරවෙලා කුඹුරුවලට වතුර දුන්නේ 1963 අවුරුද්දේ. මුල් කන්නය වගාකරන්න රජයෙන් වී බුසල් හය බැගින් ගොවියකුට නොමිලයේ දුන්නා. තාම කුඹුරු ඉඩම් පිළිවෙළක් වෙලා නෑ. හුඹස්, කණුමදු එහෙම තියෙනවා. අපි කුරහන්, මුං වපුරනවා වාගේ වී ඉහලා උදැලුවලින් පස් අවුස්සලා වැපිරීම කළා. හැබැයි වැහිපල හොඳට තිබුණා. ගොයම් සරුවට හැදුණා. පොහොර, තෙල් මොකුත් නෑ. අක්කරයට වී බුසල් 80 – 100 පැහුණා. වී බුසලක් එදා රුපියල් දොළහයි. වී විකුණාගන්ඩ නම් කරත්තවල දාගෙන ගල්ගමුවට ගේන්ඩ ඕන.

ඔය වෙනකොට අපි කුඹුරු ඉඩම්වල පොඩි ගෙවල් හදාගෙන ඒවායේ තමයි පදිංචිවෙලා හිටියේ. එළවළු මිරිස් හැමදෙයක්ම කුඹුරු ඉඩම්වල වගා කළා. 1963 අවුරුද්දේ අග භාගයේදී විතර අපට ගොඩ ඉඩම් ලබාදුන්නා. අක්කර දෙකක ගොඩ ඉඩමක්. ඒකේ ගෙයක් හා වැසිකිළියක් හදලා තිබ්බා. එක කොටසකට පොදු ළිං හත - අටක් හදලා තිබ්බා. අපට උදැල්ලක්, කැත්තක්, පොරවක්, කටුකම්බි ආදියත් දුන්නා. ගොඩ ඉඩම්වල පදිංචි වූ දා සිට ගෙදර ඉඳලා කුඹුරැවලට ගියා.

රටේ විවිධ ප්‍රදේශවලින් මිනිස්සු ගෙනත්නේ ජනපදයේ පදිංචි කළේ. ඉතිං මේ අය අතර ආරවුල් එහෙම ඇති වුණේ නැද්ද මම හීංබණ්ඩා මහතාගෙන් ඇසුවෙමි?

අපොයි නෑ. අපි මුලින්ම හිටියේ වාඩිවලනේ. ඔක්කොම එකට ජීවත් වුණේ. කිසිම අඩදබරයක් නෑ. ගොවිතැන් කටයුතු වුණත් කළේ සාමූහිකව. මුල්ම කන්න දෙකතුනේ කුඹුරු වපුරන්න මම කට්ටියට ආරධනා කළේ බුලත් දීලා. අහවල් දවසේ කුඹුර වපුරනවා. එන්න කියන්නයි ආවේ. කියලා බුලත් අත දුන්නාම පුළුවන් එක්කෙනා බුලත් කොළය ගන්නවා. එන්ඩ බැරිනම් එයා බුලත් කොළේ ගන්නේ නෑ. කොහොම හරි ඒ මුල්ම කන්නයේ මුළු අක්කර තුනම එක දවසින් වපුරා ගන්ඩ කට්ටිය ආවා. ඒ අයට කෑමට දුන්නේ පාන්. පාන් රාත්තල් විසිපහක් විතර ගෙනත් පරිප්පු හොදිත් එක්ක දුන්නා. ඔය අතර බොන අයත් ඉන්නවානේ. ඒ අයට දුන්නේ වයිං ස්පීත්තු. කොහොම හරි හවස තුන - හතර වෙනකොට වපුරලා ඉවර කළා. හොඳ සමගියක් එදා තිබුණා.

අපි මේ ජනපදයට ආපු දවසට පහුවදාම යූ.බී. වන්නිනායක හිටපු මුදල් ඇමැතිතුමා අපි නතරවෙලා හිටපු මඩුවලට ආවා. ඒ වෙනකොට ගල්ගමුව කියලා මැතිවරණ ආසනයක් තිබුණේ නෑ. නිකවැරටියට තමයි ගල්ගමුවත් අයත්ව තිබුණේ. වන්නිනායක මහත්තයා ඇවිත් ටික වේලාවක යනකොට අපේ මාවතගම ඩී.පී. වික්‍රමසිංහ ඇමැතිතුමාත් ආවා. දෙන්නා පක්ෂ දෙකකනේ හිටියේ. වික්‍රමසිංහ මහත්තයා වන්නිනායක මහත්තයාට අපි ඉස්සරහම කීවා මේ මගේ මිනිස්සු ඇහැ වගේ බලාගන්ඩ ඕන. කියලා අපව වන්නිනායක මහත්තයාට බාර දුන්නා. ඒ වගේම මේ දෙන්නම වරින්වර අපව බලන්ඩ ආවා. ගියා. එදා හිටපු දේශපාලනඥයින් එහෙමයි කටයුතු කළේ.

ඒ කාලේ මේ අවට ප්‍රදේශවල පරණ ගම්මාන එහෙම තිබුණේ නැද්ද? යි මම හීංබණ්ඩා මහතාගේ අවධානය වෙනත් ඉසව්වකට යොමු කෙළෙමි?

ගම් දෙක තුනක් තිබුණා. හරීම නොදියුණුයි. ශිෂ්ටාචාරයක් නෑ. පරණ ගමක් තියෙනවා. යමු බලන්න. කියලා දවසක් අපි ඒ ගමකට ගියා. ඒ ගෑනු ළමයින්ගේ කොණ්ඩා හැඩපලු ගෙතිලා. කවදාවත් තෙල් ටිකක් ගාලා හිස පීරල නෑ. ගෑනු උදවිය හැට්ට අදින්නේ නෑ. රෙදි කෑල්ලක් කරේ දාගෙන ඉන්නවා. වැල් ඔහොරිය කියන්නේ ඒකට. පිරිමි අය අමුඩ කොටේ ගහගෙන උදේ ඉඳලා රෑවෙන තුරු හේන්වලමයි ඉන්නේ. ගෙවල් ඔක්කොම එක මණ්ඩියට හදාගෙනයි හිටියේ. කථාවත් අමුතුයි. වචන ඇදලා කියන්නේ. සමහර වෙලාවට අපට හිනාත් යනවා. මේ ගමට අපි ගිය වෙලාවෙ ගෑනු උදවිය, කෙල්ලො ටික රස් ගාලා (ඉක්මනට) ගෙවල්වලට රිංගා ගත්තා. ආයි නෙවේ එළියට ආවේ. මේ පරණ ගම් දෙක තුනේ අය ළඟ අවි ආයුධ තිබුණා. ඒ නිසා ජනපදයේ අය ඒ අයට බයයි. කවුරුවත් අයුතුවැඩවලට ගියේ නෑ. කොහොම නමුත් ජනපදය ආරම්භ කරලා ටික කාලයක් යනකොට ඒ ගම්වල අයත් ටිකෙන් ටික වෙනස් වුණා.

ජනපදයේ පදිංචි වූ මුල්කාලයේ අමතක නොවන සිදුවීම්වලටත් මුහුණ දෙන්න ඇති නේද?

ඔව් ඉතිං ඒ වාගේ සිද්ධිත් තියෙනවා ඒ කාලේ අපි තරුණයෝනෙ. දවසක් හවස අපි හයදෙනෙක් බයිස්කෝප් (චිත්‍රපට) බලන්න යමු කියලා කථාවෙලා බයිසිකල්වලින් ගල්ගමුවට ගියා. පතිවත කියන බයිස්කෝප් එක තමයි බැලුවේ. ගැලරියේ ටිකට් එකක් ශත පනස් පහයි. බයිස්කෝප් බලලා රෑ ආපහු එන්ඩ ආවා. බයිසිකලේ ඩයිනමෝව දාගෙන දැන් හය දෙනාම පේළියට එනවා. අමුණුකොළේ හන්දියෙන් හරවලා ජනපදයට එන පාර දිගේ එද්දී අලියෙක් පාර දිගේ අපි යන පැත්තටම යනවා. අලියෙක්... අලියෙක්... කියලා කෑ ගසන විටම බ්‍රේක් ගැහුවා. අපි එකාපිට එකා වැටුණා. දණිපනි ගාලා නැඟිටලා බයිසිකල් කෙළින් කරගෙන ආපහු හැරිලා අරමුණකොළේ පැත්තට පැදගෙන ආවා. ටික දුරක් ඇවිද නතර වුණා. මේන් ටික වේලාවක් යනකොට ජනපදය පැත්තේ ඉඳලා ලෑන්ඩ් එකේ (ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව) ලොරියක් එනවා.

ලබන සතියට
කතාව හා ෙස්යාරූ I ගල්ගමුවේ - නිහාල් ජයවීර