2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

කොළඹ අනුන්ගේ ඉඩම් කුණු කොල්ලෙට විකුණන කටුගස්තොට අාමි කැප්ටන්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 211

බම්බලපිටිය ඩේසි විලා පාරේ මගේ ඉඩමක් තියෙනවා පර්චස් දාහත හමාරකට ටිකක් වැඩියි. කවුද කෙනෙක් ඒ ඉඩමට හොර ඔප්පුවක් හදලා විකුණන්න ලෑස්ති වෙනවා... වෙලාවට ඉඩම ගන්න ගිහින් තියෙන්නේ මගේ මිත්‍රයෙක්. ඔහු මගේ ඉඩම අඳුරන නිසා ගනුදෙනුවට දිනයක් දාගෙන තියෙනවා... මෙතන ලොකු ජාවාරමක් සිද්ධ වෙනවා...

 

කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණි ව්‍යාපාරිකයකු වන පුද්ගලයෙක් එම කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා ඉදිරියේ ඉහත කරුණ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළේ එසේය. දිනය ඉකුත් 22 වැනිදාය. 

මගේ මිත්‍රයා ඉඩමක් ගන්න හොයමින් ඉද්දී තැරුව්කරුවෙක් එක්ක ගිහින් තියෙනවා. ඔහු මිත්‍රයාට පෙන්නලා තියෙන ඉඩම මගේ කියලා එයා දන්නවා. සද්ද නැතුව මිත්‍රයා විස්තර අහගෙන තියෙනවා. පර්චස් 17.55ක ඉඩම රුපියල් දහතුන් කෝටි තිස්පන් ලක්ෂයකට දෙනවා කීවලු. ඒ ගාණට කැමති වෙලා මිත්‍රයා ව්‍යාපාරිකයා පොලිස් අධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා හමුවේ තවදුරටත් පැවසීය.

කොළඹ නගර සීමාවේ පිහිටා ඇති වටිනා ඉඩම්වලට ඒවායේ හිමිකරුවන්ට හොරෙන් ව්‍යාජ ඔප්පු සකසා රුපියල් කෝටි ගණන්වලට අලෙවි කිරීමේ නිරතව සිටි හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයකු ඇතුළු පිරිසක් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් කොටුකරගෙන තිබුණේ ප්‍රදේශ ගණනාවක සිදු කළ වැටලීම් වලිනි. අවස්ථා කීපයකදී අත්අඩංගුවට ගත් සැකකරැවන් අට දෙනකු සමඟ ව්‍යාජ ඔප්පු හා ලේඛන රාශියක් මෙන්ම ඒ සඳහා භාවිතා කළ පරිගණක යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර හා මුද්‍රණ යන්ත්‍ර කීපයක්ද අත්අඩංගුවට ගනු ලැබුවේ ඉහත පැමිණිල්ල අනුව සිදුකළ විමර්ශනය අතරතුරදීය.

පැමිණිල්ලේ බරපතළ බව වටහා ගත් පොලිස් අධිකාරීවරයා පැමිණිලිකරුට අවශ්‍ය උපදෙස් ලබාදී සිද්ධිය පිළිබඳව විමර්ශණනය සඳහා සිය නිලධාරීන් දැනුම්වත්කොට ඇත. ඒ අනුව කටයුතු කළ නිලධාරීහු සැකකාර තැරැව්කරු සමඟ ඉඩම් ගනුදෙනුව කතාකළ ව්‍යාපාරිකයාගේ මිතුරා සමඟ සාකච්ඡා කළහ. පොලිස් නිලධාරීන් ඔහුට උපදෙස් දුන්නේ තවදුරටත් ඉඩම මිලදී ගන්නා අයුරින් කතාබහ කරන ලෙසය.

ඒ අනුව කටයුතු කළ පුද්ගලයාට ඉඩම් අලෙවිකරුවන් විසින් දන්වා තිබුණේ ගනුදෙනුව රුපියල් දහතුන් කෝටි තිස්පන් ලක්ෂයකට නිම කරන බවත් අත්තිකාරම වශයෙන් රුපියල් දස ලක්ෂයක් ලබාදිය යුතු බවත්ය. ඊට එකඟ වූ අයට එම පාර්ශවය කියා ඇත්තේ රුපියල් ලක්ෂ දහය රැගෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ එක්තරා හෝටලයකදී හමුවන ලෙසය. එහිදී අත්තිකාරම ලබාගත් සැණින් ඊට අදාළ ලදුපතක් නිකුත් කරන බවද දන්වා ඇත. 

පොලීසියේ උපදෙස් මත අදාළ හෝටලයට ගිය පුද්ගලයා රුපියල් ලක්ෂ දහයක මුදල ලබා දී ලදුපත ලබා ගන්නවාත් සමඟ එතැනට ආ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ඉඩමට අදාළව ව්‍යාජ ඔප්පුව යාපනය සහ වවුනියාව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනකුගේ නමට නිර්මාණයකොට ඇති බව හෙළි විය. එයට අදාළ පත් ඉරු ලියාපදිංචි කොටගෙන ඇති බවත් දැනගන්නට ලැබිණි. වැඩි දුර ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. 

මෙසේ අත්තිකාරම ලබාගැනීමට පැමිණ සිටි පුද්ගලයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුතුරාජවෙල අංගනයේ ඉන්ධන යන්ත්‍ර ක්‍රියාකරුවකු වශයෙන් සේවය කරන අයෙකි. ඔහු මෝටර් රථයක පැමිණ සිටි අතර එය පරික්ෂාවේදී කොළඹ නගරයේ ඉඩම්වලට අයත් ඔප්පු පිටපත් සිය ගණනක් හමුවී තිබිණ. ඒවාට අයත් ලිපින සියල්ල, බම්බලපිටිය, කොල්ලුපිටිය, කුරුඳුවත්ත, පිටකොටුව ආදී ප්‍රදේශවල බවට දකින්නට ලැබී ඇත. බම්බලපිටියේ පර්චස් 17.55ක ප්‍රමාණයේ ඉඩමේ සාමාන්‍ය වටිනාකම රුපියල් (255,0 00,000) විසිපන් කෝටි පනස් ලක්ෂයකට අධිකය. ජාවාරම්කරුවන් මෙය විකිණීමට උත්සාහගෙන ඇත්තේ සැබෑ වටිනාකමින් අඩකටත් අඩුවෙන් වූ රුපියල් (13,35 0000) දහතුන් කෝටි තිස්පන්ලක්ෂයකටය.

පසුගිය 29 වැනිදා බොරලැස්ගමුවේ පිහිටි හෝටලයකදී අත්තිකාරම් මුදල වශයෙන් රුපියල් දස ලක්ෂයක චෙක් පත ලබා දෙන අවස්ථාවේදී හා ඉන් අනතුරුව පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ එම චෙක්පත වෙනත් පුද්ගලයකු අතට ලබාදිය යුතුව තිබෙන බවය. නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියාකළ සැකකරුවන් කොළඹ කොස්ගස් හන්දියේ ස්ථානයකට ගමන්කොට පුද්ගලයකු හමු වූ අතර ඔහු එතැනදී අත්අඩංගුවට ගන්නට පොලිස් නිලධාරීහු සමත් වූහ. ඔහු පැමිණ සිටි මෝටර් රථයේ තිබී ව්‍යාජ ඔප්පු ගණනාවක් තිබී හමුවිය. ව්‍යාජ ලෙස ඔප්පු සැකසීම පිළිබඳව ප්‍රශ්න කිරීමේදී කටුගස්තොට පල්ලෙතලවින්න ප්‍රදේශයේ පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය විය.

ඒ මොහොතේම ක්‍රියාත්මක වූ නිලධාරීහු කටුගස්තොට ප්‍රදේශයට ගොස් සැකකරුගේ නිවස පරික්ෂාකොට ඔහුව අත්අඩංගුවට ගත්හ. ඔහු හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකි. මොහු සතුව පරිගණක යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් තිබී ඇති අතර ඒවා ජාවාරම සඳහා යොදාගත් ඒවාය. එම පුද්ගලයාට පෙර වැරදි කීපයක් සම්බන්ධයෙන් අධිකරණ කීපයක නඩු විභාග වෙමින් පවතී. ඒ සියල්ල ඉඩම් නඩු මූල්‍ය වංචා පිළිබඳවය.

පිරිසක් එක්ව සිදුකරන ඉඩම් ජාවාරමට තනි අයිතියක් නැත. කොටස් වශයෙන් මුදල් බෙදා ගැනීම සම්ප්‍රදායයි. ගැණුම්කරුට කතා කිරීමේ සිට ගනුදෙනුව අවසන්වන තෙක් පුද්ගලයන් කීපදෙනකු මාර්ගයෙන් ගනුදෙනුව අවසන් කිරීම ඔවුනගේ ක්‍රමවේදයයි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබේ. මහනුවර, වවුනියාව, යාපනය, දෙමටගොඩ, අංගොඩ, කැටවලමුල්ල හා මරදාන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 6 දෙනෙක් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. 

මේ සඳහා පොලීසිය මහජනතාව වෙත අවධාරණයෙන් කියා සිටින්නේ තමුන්ට අයත් නගරයේ හෝ වෙනත් ස්ථානවල ඇති හිස් ඉඩම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසය. ඉඩමක් මිලට ගන්නේ නම් තැරුව්කරැවන්ගෙන් තොරව හිමිකරු පමණක් මුණගැසී සාකච්ඡා කරන ලෙසද අසල්වාසීන්ගෙන් විමසා ඔප‍්පුව හා පත්ඉරු පරික්ෂා කර සාධාරණ මිලකට ලබාගන්නා ලෙසද දැනුම් දී තිබේ.

අධික වටිනාකමින් යුත් කොළඹ ඉඩම් අඩු මිලට අලෙවි කරන ජාවාරම පිළිබඳව කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඇන්ජලෝ ප්‍රනාන්දු, උප පොලිස් පරීක්ෂකවරුන් වන කස්තුරිසිංහ, චන්ද්‍රසිරි, නිශාන්ත සහ පොලිස් කොස්තාපල්වරුන් වන 79162 රුවන්, 88680 සිසිර, 30638 ප්‍රියදර්ශන යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

ස්තූතිය ෙපාලිස් මාධ්‍ය ෙකාට්ඨාසයේ උප ෙපාලිස් පරීක චාමර රාජප මහතාට

 කතාව - සේයාරූ / සමන්ත ප්‍රදීප් විල්තෙර